Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොර‍ටු මහා රන් සටන ඇරඹේ

ප්‍රහාරාත්මක පිතිකරුවන් රැසක් ජාතික තලයට හඳුන්වාදුන් පාසල් දෙකක් ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය හැඳින්විය හැකි ය. “මොරටු මහා රන් සටන” ලෙස හැඳින්වෙන, මේ පාසල් අතර පැවැත්වෙන වාර්ෂික දෙදින තරඟය මුල් වරට ආරම්භ වන්නේ 1933 වසරේ දී යි. ජය පරාජයකින් තොරව අවසන් වූ ප්‍රථම තරඟයේ නායකයින් ලෙස ඩන්කන් ප්‍රනාන්දු (වේල්ස් කුමර) සහ ඉයුජින් ද සිල්වා (සාන්ත සෙබස්තියන්) කටයුතු කරන ලදී. කෙසේ වෙතත් 1938 සිට 1953 දක්වාත් 1969 සහ 1970 වසර තුල දී ත් මොරටු රන් සටන පැවැත්වී නැත. 1935 වසරේ දී වේල්ස් කුමර විද්‍යාලය තම ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළ අතර 1961 වසර වන තෙක් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජයග්‍රහණයේ පහස විඳ ගැනීමට නොහැකි විය​. නමුත් 1962 වසරේ දී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5ක ජයක් අත්කරගන්නා ලදී.

Prince of Wales Media Unit

දෙපිලම තරඟ 67 කට මුහුණ දී ඇති අතර එයින් තරඟ 6ක් වේල්ස් කුමර විද්‍යාලය ද තරඟ 3ක් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද ජයග්‍රහණය කර ඇත.සෙබස්තියන් විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය 2011 වසරේ දී වාර්තා වී ඇත. එම කණ්ඩායමේ නායක සනිත ද මෙල් 2012 වසරේ දී ශ්‍රී ලංකා 19න් පහල ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයට ද පත්විය. වේල්ස් කුමර විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය වාර්තා වන්නේ 1977 වසරේ දී යි.

ඉනිමක වැඩිම ලකුණු

වේල්ස් කුමර විද්‍යාලය – නිලන්ත බෝපගේ 179 නොදැවී – 1991 වසරේ දී

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – ජෙරාල්ඩ් මෙන්ඩිස් 148 – 1966 වසරේ දී

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් අවසන් වරට ශතක රැස්කළේ හසිත ලංකා සහ ජයංග පිරිස් වන අතර ඒ 2015 වසරේ දී යි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අවසන් වරට ශතකයක් රැස්කළේ ඕෂධ ප්‍රනාන්දු (129 නොදැවී) යි. ඒ 2011 වසරේ දී යි.

ඉනිමක හොඳම පන්දු යැවීම

වේල්ස් කුමර විද්‍යාලය – සුරංග විජේනායක 7/33 – 1995 වසරේ දී

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – අනුක් ද අල්විස් 8/53 – 2009 වසරේ දී

කඩුලු 5ක් දවාලු පන්දු යවන්නන් සැලකීමේ දී වේල්ස් කුමර විද්‍යාලයේ කෞමාල් නානායක්කාර (5/46) සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ප්‍රවීන් ජයවික්‍රම (5/62) එවැනි දස්කමක් අවසන් වරට වාර්තා කිරීමට සමත්කම් දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අතර, මේ අවස්ථාවන් දෙකම වාර්තා වූයේ පසුගිය වසරේ දී යි.

මොරටු මහා රන් සටන නියෝජනය කර පසු කලෙක ජාතික කණ්ඩායමේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වෙති.

ලසන්ත රොද්‍රිගෝ

වේල්ස් කුමර විද්‍යාලීය​ ක්‍රීඩකයෙක් වූ ලසන්ත ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම නිල නොවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙකු විය. ලසන්ත ඉතාමත් දක්ෂ දකුණත් පිතිකරුවෙක් වූ අතර පන්දු රැකීමේ දී ද ඔහු සුවිශේෂී ක්‍රීඩකයෙක් විය. වේල්ස් කුමර විද්‍යාලයේ නායකත්වය පවා හෙබ වූ ඔහුගේ පියා වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ද 1930 දශකයේ දී කටයුතු කර ඇති බවට වාර්තා ඇත.

හේමාල් මෙන්ඩිස්

1974 මොරටු රන් සටනේ ශතකයක් පවා රැස්කළ හේමාල් මෙන්ඩිස් අපූරු වාර්තාවක් ද පිහිටුවා ඇත. 1973/74 ක්‍රිකට් සමයේ වේල්ස් කුමර විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කළ හේමාල් ඔවුන් ක්‍රීඩා කළ තරඟ 16ම කාසිය වාසිය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම එම ක්‍රිකට් සමයේ දී හේමාල් A සහ B ක්‍රිකට් අංශයට අදාළ පාසල් සියල්ලන්ටම එරෙහිව ලකුණු 1688කට අධික ප්‍රමාණයක් රැස්කර ගැනීමට සමත්කම් දැක්විය.

D.S. ද සිල්වා

පා දඟ පන්දුවෙන් පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්කළ සෝමචන්ද්‍ර ද සිල්වා ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන විට 39 වන වියේ විය. ශ්‍රී ලංකාවේ නායකත්වයට ද පත්වූ ඔහු පසු කලෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ද හෙබවිය.

D.S. ද සිල්වා – Credit – Getty Images

රොමේෂ් කළුවිතාරණ

කලක් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙක් ලෙස විශිෂ්ට සේවයක් කළ රොමේෂ් කළුවිතාරණ ඕස්ට්‍රේලියාවට එරෙහිව 1992 වසරේ දී මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කිරීමට සමත් විය. සාන්ත සෙබස්තියන් විද්‍යාලිය ක්‍රීඩකයෙක් වූ “කළු” එක්දින පිටියේ නොමැකෙන නාමයකි.

රොමේෂ් කළුවිතාරණ – Credit – Twitter

ලන්ත්‍රා ප්‍රනාන්දු

වේග පන්දු යවන්නෙකු වූ ලන්ත්‍රා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමට පෙර පැවති එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩා කල ක්‍රීඩකයෙක් විය. වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ලන්ත්‍රා ප්‍රනාන්දු පසු කලෙක පුහුණුකරුවෙක් ලෙස පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් ඉටු කළේ ය​.

ලහිරු තිරිමාන්න

2014 වසරේ දී ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා පිත්තෙන් දස්කම් දැක්වූ ලහිරු තිරිමාන්න මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ සිට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

කුසල් මෙන්ඩිස්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් රැස්කරමින් කුසල් මෙන්ඩිස් මේ වන විට ටෙස්ට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරයි. ඕනෑම අවස්තාවක දී විශාල ඉනිමක් කරා යා හැකි පිතිකරුවෙකු ලෙස ඔහු සැලකිය හැකි යි.

අමිල අපොන්සු, ශෙහාන් ජයසූරිය, සහ අවිශ්ක ප්‍රනාන්දු

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ කිහිපයකට පමණක් ක්‍රීඩා කළ ද මොරටුව රන් සටනේ ක්‍රීඩා කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් ලෙස මොවුන් සැලකිය හැකි යි.

පපරේ සංගීතයෙන් මිශ්‍රිත වූ මොරටු රන් සටනේ තීව්‍රකාරී බව, දෙපිලේම උපායශීලි සැලසුම් ක්‍රියාත්මක වන අයුරු සියල්ලම දැකිය හැකි තරඟයක් බවට මෙය පත්වනු බව නොඅනුමාන යි. ඒ අනුව සවිඳු පීරිස්ගේ නායකත්වයෙන් වේල්ස් කුමර විද්‍යාලය ද තරුෂ ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද 68 වන මොරටු මහා රන් සටන ජයග්‍රහණය කිරීමට මාර්තු මස 9 සහ 10 දෙදින තුල මොරටුව ටිරෝන් ප්‍රනාන්දු (වර්තමානයේ – ද සොයිසා) ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කිරීමට නියමිත යි.

Cover credit – Youtube

මුලාශ්‍ර –

  1. The Janashakthi Book of Sri Lanka Cricket by S.S. Perera
  2. The Nation

විශේෂ ස්තූතිය – අකිල සිරිවර්ධන – වේල්ස් කුමර විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සහ වේල්ස් කුමර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ MILO අනුග්‍රහයෙනි.

Related Articles