ඔබේ ඡන්ද අයිතිය බුද්ධිමත්ව භාවිතා කරන්න​

ඉන්දියාවේ ප්‍රබලම ආයතනයක් වන එරට මැතිවරණ කොමිසමේ ආදර්ශ පාඨය වන්නේ “Greater Participation for a Stronger Democracy” (වඩා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වැඩි දෙනාගේ සහභාගීත්වය) යන්නයි. වැඩිපුර ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීම මගින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට දායක කරගැනීම එම ආයතනයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ ද මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වන්නේ එවන් වූ අදහසක් මත රැඳී සිටිමින්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ තරුණ ජනතාව අතර මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ පවතින උනන්දුවෙහි යම් අඩු වීමක් පෙන්නුම් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අප සමඟ සඳහන් කළා. දේශපාලනය කෙරෙහි තරුණ කොටස් තුළ ඇති කළකිරීම මෙයට හේතුවක් විය හැකි යයි ඔහු කියා සිටිනවා.

මෙම කළකිරීම පිළිබඳ තරුණ කොටස් මෙන්ම පොදුවේ සාමාන්‍ය ජනතාව අතරින් ද නිතර අදහස් පළ වනවා. එමෙන්ම දේශපාලකයන් කෙරෙහි වන කළකිරීම දිවයිනෙහි විවිධ පළාත්වල ජනතාව අතර දකින්නට ලැබෙන දෙයක් වන බව කිව හැකියි.

මඩකලපු දිස්ත්‍රික්කයේ සිත්‍රන්කුඩි ප්‍රදේශයේ උපන් ඇඳුම් මසන්නකු සිය අදහස් දක්වා සිටියේ මේ අයුරින්.

“අපේ ජනතාව අපි හැමෝම එකතුවෙලා ජාතී ආගම් භේදයකින් තොරව එකට ජීවත්වීමේ කාලයක් උදාවෙන්න ඕන. ඒකට ඇතැම් දේශපාලඥයින් කරන කථා නවත්වන්න ඕන. ඔවුන්ගේ ලාභ ප‍්‍රයෝජන සඳහා කරන කථාවත්, ඔවුන්ගේ ක්‍රියාවන් නිසා තමයි ජාතික සමගිය නැති වී යන්නේ. මම අහන්නෙ අපේ ජනතාව, සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න”

දේශපාලකයන් තම තමන් ගේ ආරවුල් විසඳාගැනීමට අවශ්‍ය ආයුධ හැටියට ජනතාව භාවිතා කරන බවයි ඔහු සඳහන් කරන්නේ. එවන් ක්‍රමයක් යටතේ ජනතාව බලාපොරොත්තු කඩ වීමට භාජනය වන බව ඔහු ප්‍රකාශ කරනවා.

සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න (memorymap.lk)

සාමාන්‍ය ජනතාව අතරින් මතුවන මෙවැනි විවේචන හුදෙකලා ඒවා නොවෙයි. විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය සහ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයත්, ඒ තුළින් ජාතීන් අතර සාමය වර්ධනය කරගැනීමත් පිළිබඳ යනාදී වශයෙන් විවිධ අදහස් මතුවනු දැකිය හැකියි.

සහභාගීත්වය

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස​, විල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජිනදාස විවිධ හැලහැප්පීම් මැද ජීවත් වූ අයෙක්. කලින් විප්ලවකාරී දේශපාලනයේ නිරත වූ ජනතා විමුක්ති පෙරමුණ 1977 න් පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට යොමු වූ ආකාරයත්, එමගින් ඔහුද ඔවුන් කෙරෙහි පැහැදුණ ආකාරයත් ඔහු සඳහන් කරනවා. නමුත් 1983 කලු ජූලියෙන් පසු, එක අතකින් ජාතිවාදය අවුස්සන අතරම​, අනෙක් අතින් විරුද්ධවාදී දේශපාලන පක්ෂ තහනම් කිරීමෙන් ද රජය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තර්ජනය කළ ආකාරය පිළිබඳ ඔහු සඳහන් කරනවා. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව කැරලි ගැසීමට පෙළඹුණ බවත් තමන් එම ව්‍යාපාරයෙන් ඉවත් වූ බවත් ඔහු සඳහන් කරනවා.

ඔහුගේ කතාවෙන් ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම තුළින් සමාජය තුළ සහභාගීත්වය වැඩි කිරීමේ වැදගත්කමයි. එමගින් ප්‍රචණ්ඩත්වය කරා සමාජයේ විවිධ කොටස් යොමු වීම වැළැක්විය හැකියි.

මෙය හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි දුටුවේ මීට දශක පහකටත් පෙරයි. ඔහු වරෙක සඳහන් කළේ “Those who make peaceful revolution impossible will make violent revolution inevitable” (සාමකාමී විප්ලවයට වැට බඳින්නා ප්‍රචණ්ඩ විප්ලවය අනිවාර්යයක් බවට පත් කරවයි) යනුවෙන්.

ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ 70 ක් තිබෙනවා. ඇතැම්විට කුඩා රටකට මෙය ඉතා විශාල ප්‍රමාණයකැයි අදහස් පළ වුනත්, මෙවන් ප්‍රමාණයක් පක්ෂ පැවතීමෙන් විවිධ පිරිස්වලට තම මතය පළ කිරීමට මෙන්ම දේශපාලන කටයුතුවල නිරත වීමට හැකි වීමත් ඉතා වැදගත් බව කිව හැකියි.

කාන්තා සහභාගීත්වය​

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් අතුරින් සියයට 52 ක් කාන්තාවන් වනවා. නමුත් ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය ඉතා අවම තත්ත්වයක පවතින බව පැහැදිලි කරුණක්. අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය සඳහන් කරන පරිදි, මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට​, පාර්ලිමේන්තු නියෝජනය සැළකූ විට කාන්තා මන්ත්‍රීවරියන් ප්‍රතිශතය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 189 කින් 180 වන ස්ථානයේයි (මෙම ලින්කුවේ දත්ත නිතර යාවත්කාලීන වනවා). පළාත් පාලන ආයතනවල මෙම ප්‍රතිශතය ඊටත් වඩා අඩුයි.

මෙම තත්ත්වයට එක් විසඳුමක් ලෙස පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනයක් අනිවාර්යය කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබුණා. එය සාධනීය ලක්ෂණයක් ලෙස දකින්න පුලුවන්. නමුත් මෙම ක්‍රමවේදය පිළිබඳව තවමත් ජනතාව තුළ පැහැදිලි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් තම අවශ්‍යතා සහ ඉල්ලීම් වෙනුවෙන් බිම් මට්ටමෙන් සංවිධානය වනු දැකිය හැකියි. සලම්පාන් ගම්මානයේ කාන්තාවක් දේශපාලකයින් කෙරේ කළකිරීම ඇතිවීම හේතුවෙන් තමන් සංවිධානය වී දේශපාලනයට පැමිණීමත්, සංවිධානය වීම තුළින් සිය ශක්තිය පෙන්වා දීමේ හැකියාව ගැනත් මෙසේ කියා සිටිනවා.

ඔයගොල්ලන්ට ඒක කරන්නම්, මේක කරන්නම් කියනවා. දොරකඩ පසු කරගෙන ගියාට පස්සෙ දකින්න හම්බවෙන්නෙත් නැහැ (memorymap.lk)

“දේශපාලඥයින් ඔක්කෝම දොරකඩට ඇවිල්ලා ඉන්නවා. ඔයගොල්ලන්ට ඒක කරන්නම්, මේක කරන්නම් කියනවා. දොරකඩ පසු කරගෙන ගියාට පස්සෙ දකින්න හම්බවෙන්නෙත් නැහැ. ඡන්දෙ ගත්තට පස්සේ අපිව අමතකයි. මෙහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ. යහ පාලනය කියලා සංවිධානයක් පිහිටුවාගෙන තියෙනවා. මාත් එක්ක කාන්තාවො 10 දෙනෙකු ඡන්දෙ ඉල්ලනව. මුලදි දෙන්නෙ නැහැ කිව්වා. පසුව සංවිධානය මගින් ඉල්ලූවාට පස්සෙ දුන්නා. ඡන්ද 1000ක් තිබෙනවා. පූජකතුමා අපිට උදව් කරනවා කියලා තියෙනවා. මම දිනලා මොනාම හරි දෙයක් කරනවාමයි.”

මේ ආකාරයෙන් පොදුවේ ජනතාවත්, විශේෂයෙන්ම කාන්තාවනුත්, සිය අයිතීන් වෙනුවෙන් සංවිධානය වීම තුළින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය වනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන්ම තමන්ට හිමි අයිතියක් වන ඡන්ද බලය භාවිතයෙන් තම ජනතාව වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම මෙහිදී වැදගත් ලක්ෂණයක් වනවා. එමෙන්ම​, සාමකාමී ක්‍රමවලින් සිය අදහස් දැක්වීමට ජනතාවට අයිතිය ලැබෙන විට ඔවුන් ප්‍රචණ්ඩ මාවතක් තෝරාගැනීමට ඇති ඉඩකඩ ඇහිරෙන බවත් කිව යුතුයි.

පුරවැසියන් වශයෙන්

ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රටවල් අතරින් එකක් වනවා. එවන් පසුබිමක මෙරට ජනතාව දේශපාලනික වශයෙන් අවදියෙන් සිටීමේ වැදගත්කම පැහැදිලියි. තනි පුද්ගලයින් වශයෙන් වුවද, ප්‍රජාතන්ත්‍රවාදය​, සහභාගීත්වය සහ තම අයිතීන් පිළිබඳ අවබෝධ කරගැනීම මෙහිදී වැදගත් වනු ඇති. ඉන්පසු එම දැනුම අන් අයට බෙදා දිය හැකියි.

දේශපාලනඥයින් කෙරේ කළකිරී මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව සිටීම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා හොඳ ප්‍රවණතාවක් නොවන බවයි විශ්ලේෂකයන්ගේ පොදු අදහස වන්නේ. මේ පිළිබඳ වටිනා උපදෙසක් 2017 සැප්තැම්බර් 24 වනදා පැවති ජර්මන් මහ මැතිවරණයට දිනකට පෙර එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර්-ස්ටයින්මෙයර් සිය ජනතාවට ලබා දුන්නා.

“ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කරන්න​,” ඔහු පැවසුවා. “ඔබ ඡන්දය පාවිච්චි නොකළොත්, එයින් අදහස් වන්නේ ඔබේ අනාගතය ගැන වෙනත් අයට තීරණ ගන්නට ඔබ ඉඩ දෙන බවයි”

මැතිවරණ පිළිබඳ උනන්දුව අඩු වීමේ ප්‍රවණතාවයක් මතුවෙමින් පවතින අවස්ථාවේ සහභාගීත්වය සහ සර්වජන ඡන්ද බලයෙහි වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

මැතිවරණයකදී සාමාන්‍ය ජනතාව ගත යුතු පියවර පිළිබඳ විල්පිට ග්‍රාමයේ ජිනදාස පවසන්නේ ඉදිරිපත් වන පුද්ගලයාගේ ජාතිය​, ආගම ගැන නොව ඉදිරිපත් වන වැඩපිළිවෙල පිළිබඳ විමසා බලා ඡන්දය භාවිතා කළ යුතු බවයි.

රටක ජනතාව ලෙස ජනතාව සතු සිවිල් බලය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත්, එක් එක් මිනුම් දඬුවලින් නොබෙදී, වඩා සුදුසු වැඩපිළිවෙලක් වෙනුවෙන් සහය දැක්වීමත් වැදගත්. අනෙක් අතට දේශපාලකයන්ට බැණ වැදීම නොව තමන්ගෙන් රටට සිදු විය යුත්තේ කුමක්දැයි සිතිය යුතු වනවා.

* ඔබගේ නම ඡන්ද හිමි නාම ලැයිස්තුවේ තිබේ දැයි මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම ලින්කුවෙන් සොයාගත හැකියි.

* ඡන්ද හිමිකම හෝ වෙනත් ඒ ආශ්‍රිත කරුණක් සම්බන්ධව මැතිවරණ කොමිසම වෙත ලිවීමට හැකියාව තිබෙනවා. මෙම ලින්කුවෙහි අදාළ ලිපිනයන්, දුරකථන අංක​, ඊ මේල් ලිපින ආදිය දැක්වෙනවා.

Cover Image: Groundviews.org

මෙම ලිපියට අනුග්‍රහය දක්වන්නේ: The Community Memorialization Project

Related Articles

Exit mobile version