කුඩා දරුවෙකු ඉපදුණු දා සිට අවුරුදු 5 ක් වන තුරු කාලය ඒ දරුවාගේ අනාගත වර්ධනයට වඩාත්ම වැදගත් අවධිය ලෙස සැළකෙනවා. මේ අවධියේදී තමයි දරුවාගේ මොළයේ ඇති නියුරෝනික සම්බන්ධතා (neural connections) බාහිර පරිසරය සහ අත්දැකීම්වලට අනුව හැඩගැසෙන්නේ. මේ නියුරෝනික සම්බන්ධතා ඉන් පසුව දරුවාගේ බුද්ධි වර්ධනය, ඉගෙනීම සහ වැඩිහිටියෙක් බවට පත් වීම මොන තරම් සාර්ථකව සිදු වෙනවාද කියන එක තීරණය කරන පදනම ලෙස සලකන්න පුළුවන්.
මොළයේ නියුරෝනික සම්බන්ධතා දරුවාගේ පෙනීම, ඇසීම සහ භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට හරිම වැදගත්. මේ නිසා දරුවාගේ වර්ධනයත් එක්කම ඉගෙනීම, යම් කාර්යයක් සිදු කිරීම, පරිසරයේ විවිධ වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම, අභියෝගවලට මුහුණ දීම, දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම ආදියට මුල් අවධියේ නියුරෝනික සම්බන්ධතා ඍජුවම බලපානවා.
මොළයේ වර්ධනයත් එක්කම මේ නියුරෝනික සම්බන්ධතා දරුවා ලබන ධනාත්මක සහ ඍණාත්මක අත්දැකීම් එක්ක යළි යළිත් හැඩ ගැසෙනවා. ධනාත්මක අත්දැකීම් විදිහට හොඳ පෝෂණය, සංවේදක සහ දරුවාට චලනය වෙන්න දායක වෙන අවයව නිසි ලෙස භාවිතයට ගැනීම වගේ දේවල්, ආදරය හා කරුණාව වැනි සුභදායක හැඟීම් අත්විඳීම, දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ආරක්ෂාව, සැළකිල්ල ලැබෙන බව දැනීම වගේ කාරණා හඳුන්වන්න පුළුවන්.
අනෙක් අතට ඍණාත්මක අත්දැකීම් විදිහට සැළකිල්ලක් නොලැබීම, ප්‍රචණ්ඩත්වය අත්විඳීම, දූෂිත පරිසරයන්හි වාසය කිරීම ආදිය නිසා කෝටිසෝල් (cortisol) කියන හෝර්මෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වීමේ ඉඩකඩක් තියෙනවා. මේ හෝර්මෝනය දරුවාගේ මොළය තුළ වෙහෙසකාරී බවක් ඇති කරමින් ඒ තුළ නියුරෝනික සම්බන්ධතා ඇති වීමට බාධා ඇති කරන්න සමත්. මේ නිසා ඒ හරහා මුල් ළමා විය සංවර්ධනය දුර්වල වෙලා දරුවාගේ වර්ධනයට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
වර්ධනයට අවශ්‍ය පෝෂණය නොලැබෙන දරුවන්ගේ මානසික සහ කායික වර්ධනය නිසි පරිදි සිදු නොවීමේ බරපතල අවදානමක් තිබෙනවා. ලොව පුරා මිලියන 155 කට අධික දරුවන් ප්‍රමාණයක් මේ වර්ධනය නිසි ලෙස සිදු නොවන තත්වයට (මෙය කුරු වර්ධනය හෙවත් stunted growth ලෙසයි හඳුන්වන්නේ) දැනටමත් මුහුණ දීලායි ඉන්නේ. තවත් මිලියන ගණනක් නිසි පෝෂණය නොලැබීම නිසා මේ තත්වයට ඇද වැටීමේ අවදානමකයි ඉන්නේ.
2015 දී එක්රැස් කරන ලද දත්තවලට අනුව විවිධ ගැටුම් සහිත ප්‍රදේශවල ජීවත් වන දරුවන් ප්‍රමාණය මිලියන 246 ක්. මේ දරුවන් ප්‍රචණ්ඩත්වයට සහ නොසැලකිල්ලට නිරාවරණය වීමේ බරපතල අවදානමක් තිබෙනවා. මේ අතරින් අවුරුදු 5 කට වඩා වයසින් අඩු දරුවන් මිලියන 75 ක් සිටින අතර ඔවුන්ගේ මොළයේ නිසි වර්ධනයට මේ තත්ත්වය විශාල අනිසි බලපෑමක් ඇති කරනවා.
පර්යේෂණවලින් පෙනී යන තවත් දෙයක් තමයි දූෂක අංශු ඉහළ සාන්ද්‍රණයක් සහිත වාතය නිතරම ආශ්වාස කිරීමෙන් දරුවෙකුගේ වර්ධනය වන මොළයේ ඇති ආරක්ෂක ක්‍රමවේද බිඳ වැටී නියුරෝනික පටකවලට හානි වීම සහ ඒවා විනාශ වී යාම සිදු විය හැකි බව. කොහොම නමුත් අන්තර්ජාතික වායු දූෂණ සීමාවන් හය ගුණයකටත් වඩා ඉක්මවා ඇති, ආශ්වාසයට විෂදායක යැයි සැළකෙන වාතය ඇති ප්‍රදේශවල මේ වන විටත් මිලියන 300 කට අධික දරුවන් පිරිසක් වාසය කරනවා.
ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 17% ක ප්‍රමාණයක් නිසි ලෙස පෝෂණය නොලැබීම නිසා ඇති වන කුරු වර්ධන තත්වය හේතුවෙන් නිසි ලෙස වැඩීමට ලක් නොවීමේ අවදානමක් ඇති බව හෙළි වී තිබෙනවා. ඒ වගේම අපේ රටේ අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 15.1% ක ප්‍රමාණයක් wasting හෙවත් ක්ෂය වීම කියන තත්වයට මුහුණ දීලයි ඉන්නේ. මෙයට නිසි ප්‍රතිකාර නොකළොත් ඒ දරුවන්ට දීර්ඝ කාලීන මන්දපෝෂණ තත්වයක් (chronic malnutrition) ඇති වෙන්න හැකියාව තියෙනවා.
අවාසනාවකට වගේ ශ්‍රී ලංකාව තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් මුල් ළමා විය සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වැය කරන්නේ 0.0001 ක් හෙවත් මිලියනයකින් එකක් තරම් ඉතාම අඩු ප්‍රමාණයක් පමණයි. රට රටවල් ඒ වෙනුවෙන් වෙන් කරන අගයන් එක්ක සංසන්දනය කරාම ශ්‍රී ලංකාවේ මේ අනුපාතය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක්. මෙය අනෙක් දකුණු ආසියානු රටවල අගයන් එක්ක සංසන්දනය කරනකොට ඉතාම අඩු අගයක පවතිනවා විතරක් නෙවෙයි, සහරාව ආශ්‍රිත අතිශය දිළිඳු අප්‍රිකානු රටවලට සාපේක්ෂව පවා අඩු අගයක් ගන්නවා.
මේ තත්වයත් එක්ක යම් වෙනසක් කිරීම වෙනුවෙන් දායක වෙන්න එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් UNICEF සංවිධානය තීරණයක් ගෙන තිබෙනවා. ඔවුන් ඒ යටතේ සරල පියවර තුනක් හරහා දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් දායක වෙන්නත්, ඔවුන්ගේ අනාගත වර්ධනය වෙනුවෙන් ධනාත්මක වෙනසක් ඇති කරන්නත් දෙමව්පියන් දිරිමත් කරනවා. ඒ තමයි “හොඳ පෝෂණය, පෙළඹවීම සහ රැකවරණය”, එහෙමත් නැත්නම් බොහොම සරලව කිව්වොත් “කෑම, සෙල්ලම් කිරීම සහ ආදරය” හෙවත් “eat, play, love”. පෝෂ්‍යදායී ආහාර ලබා දීම, ඔවුන් හා එක්ව සරල ක්‍රීඩාවල නිරත වීම, ආදරය සහ රැකවරණය ලබා දීම තුළින් දෙමව්පියන්ට දරුවන්ගේ අනාගත වර්ධනයට සුවිශාල ධනාත්මක තල්ලුවක් ලබා දෙන්න හැකියාව තියෙනවා.
මේ උත්සාහය සාර්ථක කරගන්න UNICEF සංවිධානය ජනප්‍රිය සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතාගේ, හිටපු ජාතික රග්බි නායක ෆසීල් මරිජා මහතාගේ සහ ප්‍රසිද්ධ විස්තර විචාරක K. D. ප්‍රගාෂ් මහතාගේ දායකත්වයෙන් විනෝදයෙන් පිරුණු දෙමව්පියන් ප්‍රගුණ කරවීමේ පන්ති තුනක් ආරම්භ කර තිබෙනවා. “Parent Masterclasses” ලෙස හැඳින්වෙන මේවා හරහා හැම දෙමව්පියෙක්ටම ඉතාම සරල ක්‍රම හරහා තමන්ගේ දරුවාගේ බුද්ධි වර්ධනයට දායක වෙන හැටි ගැන පුහුණුවක් ලබා දෙනවා.
දරුවාගේ බුද්ධි වර්ධනය සිදු වන්නේ නිවසේදී පමණක් නොවන බව UNICEF සංවිධානය හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. අපේ රටේ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගෙන් පෙර පාසල් යන්නේ 48.7% ක් පමණක් බව හෙළි වී ඇති පසුබිමක UNICEF ආයතනය විශේෂ අවධානයකට ලක් කරවන්න උත්සාහ කරන කාරණාවක් තමයි අවුරුදු 3-5 අතර කාලයේ ඉහළ ගුණාත්මක බවකින් යුතු අධ්‍යාපනික අවස්ථාවන්ට පවතින ප්‍රවේශය දරුවාගේ අනාගත වර්ධනයට ඉතාම වැදගත් කියන එක.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු සියලුම දරුවන්ට අවම වශයෙන් එක් අවුරුද්දකවත් පෙර පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මෙරට ජනතාව රජයට ඉල්ලීමක් යොමු කරනු ඇතැයි යන්න UNICEF ආයතනයේ අපේක්ෂාවයි. මේ වෙනුවෙන් අලුතෙන් සකස් කරන ලද පෙත්සම අත්සන් කරන්න කියලත් ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගන්නත්, සෞභාග්‍යය උදා කර ගන්නත් රටේ සෑම දරුවෙකුටම තමන්ගේ ඉහළම බුද්ධි ශක්‍යතාවට ළඟා වෙන්නත්, තමන්ගේ සියලු හැකියාවන් වර්ධනය කරගන්නත් හැකි සෑම අවස්ථාවකම ලැබෙන බව තහවුරු කරන එක ඉතාම වැදගත් වෙනවා. මෙය ආරම්භ විය යුත්තේ ඔවුන්ගේ මුල් අවුරුදු 5 තුළදීමයි. හොඳ පෝෂණයක්, කුඩා කාලයේ සිටම ලැබෙන පෙළඹවීම සහ රැකවරණය මෙහිදී ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම සියලුම දරුවන්ට (විශේෂයෙන්ම අධ්‍යාපනය මග හැරී යාමේ ඉහළ අවදානමක් සහිත දරුවන්ද ඇතුළත්ව) ගුණාත්මක පෙර පාසල් අධ්‍යාපනයක් ලැබීම තහවුරු කිරීමත් මෙහිදී ඉතාම වැදගත්.
UNICEF ආයතනයේ පෙත්සමට ඔබේ දායකත්වයත් දැක්වීම සඳහා www.unicef.lk/eatplaylove වෙත දැන්ම පිවිසෙන්න.
කවරයේ පින්තූරය: theatlantic.com