Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා 10 ක්

ලොව ජනප්‍රියත ම ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාව යි. වැඩි ම මුදල් ප්‍රමාණයක් සංසරණය වන ක්‍රීඩාව ද එය වනවා. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී පාපන්දුවලට ක්‍රීඩාවකට එහා ගිය වටිනාකමක් හිමි යි. පසුගිය දා පැවති ලෝක කුසලාන අවසන් තරගය ලොව වැඩි ම පිරිසක් නැරඹූ ක්‍රීඩා තරගය බවටත් පත් වුණා.

පාපන්දු ක්‍රීඩාවට පවතින්නේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් – www.bvbbuz.com

මේ හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන්ට සෑහෙන වටිනාකමක් හිමි වන්නේ නිරායාසයෙන්. එම ක්‍රීඩකයන් තබන වාර්තාවලට ද සෑහෙන තරම් පිළිගැනීමක් පාපන්දු ප්‍රේක්ෂකයන් ලබා දෙනවා. මේ හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා තබන ක්‍රීඩකයන්ට හිමි වන්නේත් වැඩි වටිනාකමක්.

මෙම ලිපියෙන් එවැනි වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.

තනි ලෝක කුසලාන තරගාවලියක වැඩි ම ගෝල

පසුගිය දා නිමාව දුටු 2022 පාපන්දු ලෝක කුසලානයේ වැඩි ම ගෝල ලබා ගනිමින් රන් පාවහන සම්මානය දිනූ ප්‍රංශයේ කිලියන් ම්බප්පේ ලැබූ ගෝල සංඛ්‍යාව 8 ක්. ඔහුට ප්‍රථම 21 වන ශතවර්ෂයේ ක්‍රියාත්මක වූ ලෝක කුසලාන අතුරින් 2002 තරගාවලියේ බ්‍රසීලයේ රොනාල්ඩෝ ද ගෝල 8 ක් ලබා ගත්තා. 21 වන සියවසේ වෙනත් අවස්ථාවල රන් පාවහන දිනා ගත් ක්‍රීඩකයන් එපමණ ගෝල ලබා ගත්තේ නෑ.

1958 ලෝක කුසලානයේ ගෝල 13 ක් ලැබූ ජස්ට් ෆොන්ටේන් – www.newyorktimes.com

1958 දී පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ප්‍රංශ ක්‍රීඩක ජස්ට් ෆොන්ටෙයින් තරග 6 කදී ලබා ගත් ගෝල සංඛ්‍යාව 13 ක් ලෙස වාර්තා වුණා. එම වාර්තාව බිඳ හෙළීමට හෝ එය අසලකටවත් ළඟා වීමට ඉන් වසර 64 ක් ඉක්ම ගියත් කිසිදු ක්‍රීඩකයෙක් සමත් වූයේ නෑ. පාපන්දු ලෝක කුසලාන තරගයක උපරිම වශයෙන් ක්‍රීඩකයෙකුට ලැබෙන්නේ තරග 7 ක් වැනි සංඛ්‍යාවක් නිසා අනාගතයේ දී හෝ මෙම වාර්තාව බිඳ වැටීමට තිබෙන්නේ ඉතා අල්ප අවස්ථාවක්.

ගෝල 131 ක් ලැබූ දැල් රකින්නා

සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩාවේ දී දැල් රකින්නෙක් තම සීමාවෙන් පිටතට පැමිණෙන්නේ ඉතා කලාතුරකින්. එවැනි අවස්ථාවල පැමිණෙන දැල් රකින්නන් ගෝල ලබා ගත් අවස්ථා ද ඉතිහාසය පිරික්සීමේ දී දැකගත හැකි වනවා. නමුත් දැල් රකින්නෙක් පාපන්දු ක්‍රීඩාව තුළ ලබාගන්නා ගෝල සංඛ්‍යාව විශාල වීමට ඇත්තේ ඉතාම අඩු අවස්ථාවක්.

රොජෙරියෝ සෙනී – www.eurosports.com

1990 සිට 2015 කාලයේ වෘත්තිමය පාපන්දු ක්‍රීඩා කළ බ්‍රසීලයේ රොජෙරියෝ සෙනී තම ක්‍රීඩා දිවිය තුළ ගෝල 131 ක් ලබා ගැනීම ට සමත් වුණා. ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් ද තරග 17 ක් ක්‍රීඩා කොට තිබෙනවා. සෙනී 2002 පාපන්දු ලෝක ශූරතාව දිනූ බ්‍රසීල කණ්ඩායමේ ද සාමාජිකයෙක්. 1993 සිට 2015 දක්වා ම සාඕ පාලෝ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු දක්ෂ දඬුවම් පහර සහ නිදහස් පහර ලබා ගැනීමට හැකි ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රසිද්ධ වුණා. මේ හේතුවෙන් ඔහු එතරම් ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූ බව ප්‍රකාශ කිරීම නිවැරැදි යි.

එංගලන්ත ප්‍රිමියර් ලීගය අපරාජිත ව නිමා කිරීම

වර්තමානයේදී විවිධ විවාද ගොඩනැඟී තිබුණ ද ලොව අංක 1 පාපන්දු ලීගය වශයෙන් සැලකෙන්නේ එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය යි. මෙම තරගාවලිය තුළ ලොව දක්ෂත ම ක්‍රීඩකයන්, ලොව සිටිනා අංක 1 පුහුණුකරුවන් ආදී බොහෝ පිරිසක් කටයුතු කරනවා. මේ හේතුවෙන් යම් කණ්ඩායමකට ප්‍රිමියර් ලීග් තරගවාරය අපරාජිත ව අවසන් කිරීම යනු අතිශය අසීරු අභියෝගයක්.

ආසනල් 2003/04 තරගවාරයේ ප්‍රිමියර් ලීගය අපරාජිතව ජයග්‍රහණය කළා – www.goal.com

2003/04 ප්‍රිමියර් ලීග් තරගවාරය තුළ ආසනල් කණ්ඩායම තරග 38 ක් ක්‍රීඩා කොට ඉන් 26 ක් ජයග්‍රහණය කර තවත් 12 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තා. ඒ අනුව ආසනල් 2003/04 තරග වාරය තුළ ප්‍රිමියර් ලීගයේ එක ම තරගයක් හෝ පරාජයට පත් වූයේ නෑ. අද වන විට වසර 20 ක් ඉක්මවා ගියත් වෙනත් කණ්ඩායමක් අපරාජිත ව ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගෙන නැති වීම ද විශේෂත්වයක්.

වසරකට ගෝල 91 ක්!

1972 වර්ෂයේ දී ජර්මනියේ බයන් මියුනිච් ක්‍රීඩා සමාජය සහ ජර්මනිය නියෝජනය කළ ගර්ඩ් මුලර්, එම කැලැන්ඩර් වර්ෂයේ දී ගෝල 85 ක් ලබා ගත්තා. එම වාර්තාව බිඳ හෙළීම අතිශය අපහසු වූ අතර වසර 40 ක පමණ කාලයක් තිස්සේ නොබිඳී පැවතුණා. 2012 වර්ෂයේ දී එතෙක් බිඳීමට පැවති අපහසු ම පාපන්දු වාර්තාවක් තවත් ඉදිරියට රැගෙන යාමට ලියොනල් මෙසී සමත් වුණා.

මෙසී 2012 දී ගෝල 91 ක් ලබා ගත්තා – www.goal.com

2012 වර්ෂයේ දී අති සාර්ථක තරග රටාවක් පෙන්වූ ලියොනල් මෙසී ගෝල 91 ක් වාර්තා කළා. මෙම ගෝල 91 ලබා ගැනීමේ දී ඔහු බාසිලෝනා වෙනුවෙන් ගෝල 79 ක් සහ ආජන්ටිනාව වෙනුවෙන් ගෝල 12 ක් ලබා ගත්තා. මෙසී ලබාගත් ගෝල 91 වාර්තාව පිහිටුවා මේ වන විට වසර 10 කට අධික කාලයක් ගත ව තිබෙනවා. තවමත් මෙම වාර්තාව ද බිඳ හෙළීම ආසන්නයට හෝ කිසිවකුත් පැමිණියේ නෑ.

විනාඩි 9 ට ගෝල 5 ක්

20151/16 ජර්මන් පාපන්දු ලීගය වන බුන්ඩස්ලීගා හි බයන් මියුනිච් සහ වුල්ෆ්ස්බර්ග් අතර පැවති තරගයක් අතරතුර අපූරු සිදුවීමක් වාර්තා වුණා. එම තරගයේ පළමු අර්ධය අවසන් වන විට වුල්ෆ්ස්බර්ග් ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. තරගයේ දෙවන අර්ධයේ දී රොබට් ලෙවන්ඩොස්කි ආදේශක ක්‍රීඩකයෙක් වශයෙන් පිටියට පිවිසුණා. ඉන් අනතුරුව සිදු වූයේ සිතාගැනීමටවත් අපහසු සිදුවීමක්.

විනාඩි 9 කදී ගෝල 5ක් ලැබූ ලෙවන්ඩොව්ස්කි – www.bundesliga.com

වුල්ෆ්ස්බර්ග් ඉදිරියෙන් සිටි ගෝලය හඹා ගිය බයන් වෙනුවෙන් 51 වන විනාඩියේ දී පළමු ගෝලය ලෙවන්ඩොස්කි වාර්තා කළා. එතැනින් නොනවතින ඔහු පිළිවෙළින් විනාඩි 52, 55, 57 සහ 60 දී තවත් ගෝල 4 ක් රැස් කිරීමට සමත් වුණා. සමස්තයක් වශයෙන් එදින රොබට් ලෙවන්ඩොස්කි විනාඩි 9 ක කාලයක් තුළ ගෝල 5 ක් රැස් කළා. මෙම වාර්තාව හැඳින්වෙන්නේ සමස්ත ක්‍රීඩාවට ම එක් වතාවක් දකින්නට ලැබෙන වාර්තාවක් වශයෙන්.

ලෝක කුසලාන 3 ක්

පාපන්දු ක්‍රීඩාවේ ඇති සුවිශේෂී ම කිරුළ වන්නේ පාපන්දු ලෝක කුසලානය යි. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ඕනෑම පාපන්දු ක්‍රීඩකයකු ගේ සිහිනයක් වනවා. එලෙස පාපන්දු ලෝක කුසලාන එකක් නොව 3 ක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක් ඉතිහාසය පිරික්සීමේ දී දැකගත හැකි යි. ඔහු නමින් වෙන කිසිවෙක් නොව පාපන්දු ලොව යුගයක් මවිත කළ ක්‍රීඩක පේලේ යි.

පේලේ දිනූ ලෝක කුසලාන සංඛ්‍යාව 3ක් – www,beinsports.com

බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් පේලේ 1958, 1962 සහ 1970 වර්ෂ වල දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දායකත්වය ලබා දුන්නා. එලෙස ලෝක කුසලාන තරගාවලි 3 ක් ජයග්‍රහණය කරමින් වාර්තා අතරට පිවිසි එක ම ක්‍රීඩකයා වන්නේ ද ඔහු යි. පේලේ මෙම වාර්තාව පිහිටුවා දැන් වසර 52 ක් ඉක්ම ගියත් තවමත් එය බිඳ වැටී නෑ.

වැඩි ම ගෝල ලැබූ ජාත්‍යන්තර තරගය

පාපන්දු යනු සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ගෝල වාර්තා වන ක්‍රීඩාවක් නොවේ. පාපන්දු ක්‍රීඩාව තුළ ගෝල 4 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා අවස්ථා පවා බහුල ව දකින්නට ලැබෙන්නේ නෑ. කෙසේ වෙතත් මෙම සියලු වාර්තා බිඳ වැටුණු ජාත්‍යන්තර පාපන්දු තරගයක් 2002 වසරේ දී වාර්තා වුණා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයක් යටතේ ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියාව සහ අමරිකන් සැමෝවා අතර තරගයෙන් ඕස්ට්‍රේලියාව ගෝල 31-0 ජයග්‍රහණයක් ලබා ගත්තා.

ආර්චි තොම්ප්සන් – www.imdb.com

ගෝල 31-0 ක ජයක් ලැබූ මෙම තරගය වැඩි ම ගෝල වාර්තා වූ අන්තර්ජාතික පාපන්දු තරගය වශයෙන් ඉතිහාසගත වුණා. එම තරගයේ දී ඕස්ට්‍රේලියා ක්‍රීඩක ආර්චි තොම්ප්සන් ගෝල 13 ක් ලබා ගත්තා. අන්තර්ජාතික පාපන්දු තරගයක දී ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩි ම ගෝල වාර්තාව ද එය යි. එම ගෝල 13 ලබා ගැනීම ද පාපන්දුවේ බිඳ හෙළීමට අපහසු ම වාර්තා අතරට අයත්.

චැම්පියන්ස් ලීග් තනි තරගාවලියක ගෝල 17 ක්

චැම්පියන්ස් ලීග් තරගාවලිය යනු ලොව පවතින ක්‍රීඩා සමාජ තරගාවලි අතරින් වඩාත් ප්‍රබල ම ක්‍රීඩා සමාජ තරග වදින තරගාවලිය යි. 2013/14 චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී ගෝල 17 ක් වාර්තා කිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණා. ඒ රියාල් මැඩ්රීඩ් පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්. එය චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ තනි තරගාවලියක ක්‍රීඩකයෙක් ලැබූ වැඩි ම ගෝල වාර්තාව යි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සතුව චැම්පියන්ස් ලීග් වාර්තා රැසක් පවතිනවා – www.uefa.com

එමෙන්ම චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ වැඩිම ගෝල වාර්තාව ද ඔහු සතු වනවා. තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ වටවලදී ගෝල 67 ක් ලබා ගනිමින් එම අදියරේ වැඩි ම ගෝල ලැබීමේ වාර්තාව ද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් සතු කර ගෙන තිබෙනවා. ඔහුට හිමි චැම්පියන්ස් ලීග් ශූරතා ගණන 5 ක්. මෙම වාර්තා හේතුවෙන් “මිස්ටර් චැම්පියන්ස් ලීග්” යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්වෙනවා.

බැලොන් ඩොර් සම්මාන 7

බැලොන් ඩොර් සම්මානය යනු වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා වෙතට පිරිනැමෙන සම්මානය යි. එය ප්‍රංශ පාපන්දු සගරාවක් සංවිධානය කරනවා. එම සම්මානයෙන් වැඩි ම වතාවක් පිදුම් ලැබූ ක්‍රීඩකයා යන වාර්තාව ආජන්ටිනා ජාතික ලියොනල් මෙසී සතු යි. ඔහු 7 වතාවක් මෙම සම්මානය දිනා ගත්තා. ඔහුට පසු ව සිටිනා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එය දිනා ගෙන තිබෙන්නේ 5 වතාවක දී පමණ යි.

මෙසී සතු ව බැලොන් ඩොර් සම්මාන 7ක් පවතිනවා – www.aspor.com

යුරෝපයේ ක්‍රීඩා සමාජ තුළ වැඩි ම ගෝල ලබාගත් ක්‍රීඩකයාට ලබාදෙන යුරෝපීය රන් පාවහන් 6 ක් ද ලියොනල් මෙසී දිනා ගත්තා. ඔහු අන්තර්ජාතික පාපන්දු තරගාවලිවල දී 7 වතාවක් දක්ෂත ම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණා (ඔලිම්පික් සහ වයස අවුරුදු 20 පහළ ලෝක කුසලානය ද ඇතුළු ව) මෙසී ගේ මෙම දක්ෂතා සමීපයට හෝ පැමිණීමට කිසිදු ක්‍රීඩකයෙක් තව ම සමත් වී නෑ. එය අනාගතයේ බිඳ හෙළීමට වුව ද අතිශය අපහසු වාර්තා ගොන්නක්.

වේගවත් ම ප්‍රිමියර් ලීග් ගෝල ත්‍රිත්වය

ලිපියේ පෙර සඳහන් කළ පරිදි ම ලොව වර්තමානයේ ක්‍රියාත්මක වන තරගකාරී ම පාපන්දු ලීගය වන්නේ එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය යි. එහි ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීම පහසු කාරණයක් වන්නේ නෑ. සෙනගාලයේ සාඩියෝ මානේ සවුත්හැම්ප්ටන් වෙනුවෙන් ක්‍රීඩා කරමින් 2015/16 ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී විනාඩි 2 යි තත්ත්පර 56 ක කාලයක දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා. එය ප්‍රිමියර් ලීග් හි වේගවත් ම ගෝල ත්‍රිත්වය යන වාර්තාව උසුලනවා.

සාඩියෝ මානේ – www.premierleague.com

කෙසේ වෙතත් ලොව වේගවත් ම ගෝල ත්‍රිත්වය ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ශෙෆීල්ඩ් සන්ඩේ ලීගයේ ඇලෙක්ස් ටෝර් නම් ක්‍රීඩකයා යි. ඔහු 2013 දී තත්ත්පර 70 ක කාලයක් තුළ ගෝල ත්‍රිත්වයක් ලබා ගනිමින් මෙම වාර්තාව පිහිටුවූවා. මානේ ගේ වාර්තාව මෙන් ම තත්ත්පර 70 ක් තුළ ගෝල ත්‍රිත්වයක් ලැබීමේ වාර්තාව ද බිඳ හෙළීමට අපහසු ම පාපන්දු වාර්තා අතර ඉහළින් ම සටහන් වනවා.

කවරයේ ඡායාරූපය - චැම්පියන්ස් ලීග් ශූරතාව සහ පාපන්දු ලෝක කුසලානය - www.goal.com
මූලාශ්‍ර :
www.bleacherreportfootball.com
www.breezyscroll.com
www.givemesport.com

Related Articles