Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1992 ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප

1992 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සමස්ත ක්‍රිකට් ලෝකයම උඩු යටිකුරු තරගාවලියක් බවට පත් වුණා. එසේම දිවා/රාත්‍රී තරග, වර්ණවත් ඇඳුම්, සුදු පන්දුව භාවිතය වැනි නවතම අංග තරගාවලියට එකතු කර තිබුණු නිසා අදටත් මෙම තරගාවලිය ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී ගොස් නැහැ. එවැනි වටපිටාවක පැවති මෙම තරගාවලිය තුළ දී අමතක නොවන සිදුවීම් රැසක් සිදුවුණා. එසේ නම්, මෙම ලිපිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන ඡායාරූප කිහිපයක් පිළිබඳව යි. 

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන ලකුණු හඹා යාම 

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 312ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී සිම්බාබ්වේ ඉනිම වර්ණවත් කළ ඇන්ඩි ෆ්ලවර් නොදැවී ලකුණු 115ක් ලබාගන්නා විට, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩි වොලර් පන්දු 45කින් නොදැවී ලකුණු 83ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින්. එම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතුල සමරසේකර සහ රොෂාන් මහානාම පළමු කඩුල්ල සඳහා ලකුණු 128ක සාර්ථක සබඳතාවයක් ගොඩනගනු ලැබුවා. නමුත්, එම අවස්ථාවේ ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 167/4 බවට පත් කළා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අර්ජුණ, පන්දු 61කින් නොදැවී ලකුණු 88ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ අවසන් පන්දුවාර තුළ දී යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළේ එක්දින තරගයක දී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹාගිය මුල්ම කණ්ඩායම බවට පත් වෙමින්. එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා හුදෙකලා සටනක නිරත වුණු අර්ජුණගේ ඉනිමේ එක් අවස්ථාවක් දැක්වෙන මෙම ඡායාරූපය, 1992 ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප අතරට අයත් වනවා.

අර්ජුණ සිම්බාබ්වේ තරගයේ පන්දුවට පහරදෙමින් (gettyimages)

කලෙක දී මිතුරන් පසුව සතුරන් වීම 

කෙප්ලර් වෙසල්ස් උපත ලැබුවේ දකුණු අප්‍රිකාවේ දී යි. නමුත්, ඔහු තුරුණු වියට පත් වුණු අවධිය වන විට වර්ණභේදවාදය නිසා දකුණු අප්‍රිකාවට දීර්ඝ ක්‍රීඩා තහනමක් පනවා තිබුණා. එම නිසාම ඔහු 1983-1985 කාල සමය තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. නමුත්, දකුණු අප්‍රිකානුවන්ගේ දීර්ඝ ක්‍රීඩා තහනම ඉවත් කිරීමෙන් පසුව 1991 වසරේ දී ඔවුන් යළි ක්‍රිකට් පිටියට පිවිසුණා. එහි දී දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද වෙසල්ස්, 1992 ලෝක කුසලාන තරගාවලියේ දී සිය මව්රට වුණු දකුණු අප්‍රිකාවට නායකත්වය ලබාදුන්නා. එම තරගාවලියේ පළමු තරගයේ දී වෙසල්ස්ට තරග වැදීමට සිදුවුණේ සිය පැරණි මිතුරා වුණු ඕස්ට්‍රේලියාව සමග යි. එම තරගයේ දී ලකුණු 171ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් වෙසල්ස් නොදැවී ලකුණු 81ක් ලබාගත්තේ, සිය පැරණි මිතුරන්ට සතුරු වී සිය මව්රට ජයග්‍රහණය කරා රැගෙන යමින්. මෙම ඡායාරූපයෙන් පෙන්වන්නේ කලෙක දී මිතුරෙකු වී පසුව සතුරෙකු වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩීන් ජෝන්ස්, වෙසල්ස්ට සුභ පතන ආකාරය යි. 

කෙප්ලර් වෙසල්ස්ට සුභ පතන ඩීන් ජෝන්ස් (gettyimages)

මියැන්ඩාඩ් විසින් මෝරේට පෙන් වූ ගෙඹි නැටුම

ඉන්දියාව සහ පාකිස්ථානය ක්‍රිකට් පිටියේ දී හමුවන ප්‍රබලම ප්‍රතිවාදීන් දෙපලක් බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. නමුත්, මෙම කණ්ඩායම් දෙක මුල්මවරට ක්‍රිකට් ලෝක කුසලාන තරගයක දී එකිනෙකා මුණගැසුණේ 1992 තරගාවලියේ දී යි. එම තරගයේ දී ලකුණු 217ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 17ක් තුළ දැවීගියා. නමුත්, ඉන් අනතුරුව පිටියේ එක් වුණු සොහේල් සහ මියැන්ඩාඩ්, සීරුවෙන් පන්දුවට පහරදෙමින් පාකිස්ථානු ලකුණු පුවරුව 85/2 දක්වා ඔසවා තැබුවා. එලෙස පාකිස්ථානුවන් සාර්ථකව ලකුණු හඹා යමින් සිටි අවස්ථාවේ ඉන්දීය කඩුලු රකින්නා වුණු කිරාන් මෝරේ, දිගින් දිගටම මියැන්ඩාඩ්ට එරෙහිව ඉල්ලීම් කළ නිසා ඔවුන් දෙදෙනා අතර බහින්-බස් වීම් පවා සිදුවුණා. ඉන් අනතුරුව නැවතත් මියැන්ඩාඩ්ට එරෙහිව මෝරේ දුවද්දී දැවීයාමක් සඳහා කළ ඉල්ලීම විනිසුරුවරයා නිෂ්ප්‍රභ කළ අවස්ථාවේ මියැන්ඩාඩ් මෙලෙසින් ගෙඹි නැටුමක නිරත වුණා.

මියැන්ඩාඩ් විසින් මෝරේට ගෙඹි නැටුමක් පෙන්වමින් (gettyimages)

රෝඩ්ස් පියඹා ගොස් කඩුල්ල බිඳදැමීම 

1992 ලෝක කුසලාන තරගාවලියේ යටතේ පැවති පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් කඩුලු 7ක් දැවී ලකුණු 211ක් ලබාගත්තා. නමුත්, ඉන්පසුව ඇති වුණු වර්ෂාව නිසා පාකිස්ථානුවන්ට පන්දුවාර 36ක් තුළ ලකුණු 194ක ඉලක්කයක් යොමු කෙරුණා. එදා ඉතාමත් සාර්ථකව එම ඉලක්කය හඹාගිය පාකිස්ථානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබාගෙන සිටියා. එහි දී පන්දු 44කින් නොදැවී ලකුණු 48ක් ලබා සිටි ඉන්සාමාම්, දකුණු අප්‍රිකානුවන්ට දැඩි හිසරදයක් වුණා. ඉන් අනතුරුව බ්‍රයන් මැක්මිලන්, ඉන්සාමාම් වෙත යොමු කළ පන්දුව ඔහුගේ පාදයේ වැදී ඉවතට ගිය අවස්ථාවේ ලකුණු දිවීමට උත්සාහ කළා. එම අවස්ථාවේ දී අනික් අන්තයේ සිටි නායක ඉම්රාන් ඔහුව ආපසු යවනු ලැබුවා. ඒ අතරතුර පන්දුව අහුලාගත් ජොන්ටි රෝඩ්ස් වේගයෙන් විකට්ටුව දෙසට දුවගෙන එමින් එක්වරම කුරුල්ලෙකු සේ පියඹා කඩුල්ල බිඳදැමුවේ ඉන්සාමාම් දුවද්දී දැවීයාමකට හසුකර ගනිමින්. පහත රූපයේ දැක්වෙන්නේ එදා ඉන්සාමාම් දුවද්දී දැවීගිය ආකාරය යි.

ඉන්සාමාම් දුවද්දී දැවීගිය ආකාරය (gettyimages)

වසර 12ක පැතුමක් ඉටුකර ගත් අවස්ථාව 

පාකිස්ථානු කණ්ඩායම 1979-1987 අතර කාල සමය තුළ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලි 3ක අවසන් පූර්ව තරගය පරාජයට පත් වුණා. 1992 ලෝක කුසලාන තරගාවලියේ දීත් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත් පාකිස්ථානය, එහි දී තරග කළේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. මූලික වටයේ තරගවල දී සුපිරි දස්කම් දැක්වූ නවසීලන්තයට සහභාගි වුණු තරග අටෙන් 7ක් ජයග්‍රහණය කළේ පාකිස්ථානු කණ්ඩායමට පමණක් පරාජය වෙමින්. එවැනි වටපිටාවක ආරම්භ වුණු අවසන් පූර්ව තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 262ක් ලබාගත්තේ කිවි ලකුණු මැෂිම වුණු මාටින් ක්‍රෝගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 91හි සවියෙන්. ඉන්පසුව, ලකුණු 263ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථානුවන් කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා සිටියේ ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8කට වඩා අවශ්‍ය වුණු පසුබිමක යි. එම අවස්ථාවේ දී පිටියේ එක් වුණු මියැන්ඩාඩ් සහ ඉන්සාමාම් ලකුණු 87ක වේගවත් සබඳතාවයක් ගොඩනැගුවේ තරගයේ වාසිය පාකිස්ථානයට හිමිකර දෙමින්. එදා පන්දු 37කින් වේගවත් ලකුණු 60ක් ලබා සිටි ඉන්සාමාම් දැවීගිය ද, මියැන්ඩාඩ් නොදැවී ලකුණු 57ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. පහත රූපයේ දැක්වෙන්නේ මියැන්ඩාඩ් 12 වසරක ලෝක කුසලාන සිහිනය ඉටුකර ගත් අවස්ථාව යි.

 මියැන්ඩාඩ් තරගය ජයගැනීමෙන් පසුව (gettyimages)

දකුණු අප්‍රිකානුවන්ට පන්දුවකින් ලකුණු 22ක් ලබාගැනීමට සිදුවීම 

1992 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 45 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලබාගත්තා. ඉන්පසුව, එම ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 42.5ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 232ක් ලබා සිටි අවස්ථාවේ ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ පන්දු 13කින් ලකුණු 22ක් පමණ යි. නමුත්, හදිසියේම ඇති වුණු වර්ෂාව නිසා තරගය මඳ වේලාවකට නතර කර දැමුවා. ඉන්පසුව, තරගය යළි ආරම්භ කිරීමෙන් පසු දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා පන්දු 1කින් ලකුණු 22ක් ලබාගැනීමට සිදුවුණේ සියල්ලන්ම මවිතයට පත් කරමින්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ එදා දකුණු අප්‍රිකානුවන්ට යොමු වුණු ඉලක්කය සිඩ්නි පිටියේ ලකුණු පුවරුවේ සටහන් වුණු අන්දම යි. 

දකුණු අප්‍රිකාවට නියමිත ඉලක්කය සටහන් වුණු අයුරු (gettyimages)

කවරයේ ඡායාරූපය- අර්ජුණ සිම්බාබ්වේ තරගයේ පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles