Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කසාන් නුවර හාස්කම – යුරෝපීය වොලිබෝල් ශූරතාවය රුසියාවේ සෙනිට් කසාන් කණ්ඩායමට

2017/18 යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීග් තරඟාවලිය ජයග්‍රහණය කරමින් පිට පිටම සිව්වැනි වරටත් යුරෝපීය වොලිබෝල් ශූරයින් ලෙසින් අභිෂේක ලබන්නට රුසියාවේ සෙනිට් කසාන් (Zenit Kazan) කණ්ඩායමට මැයි 13 වනදා හැකිවිය. ඉතාමත් තියුණු අවසාන මහා තරඟයක් පැවති අතර එහිදී සෙනිට් කසාන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ ඉතාලියේ ලුබේ චිවිටනෝවා (Lube Civitanova) කණ්ඩායමයි. ඒ තරඟ වට 3-2 ක් ලෙසිනි.

තරඟය පැවැත්වුනේ රුසියාවේ කසාන් නගරයෙහි කසාන් බාස්කට්බෝල් අංගනයේ දීය. සෙනිට් කසාන් කණ්ඩායමට වොලිබෝල් අංගනයක් තිබුනද මෙය කසාන් බාස්කට්බෝල් අංගනයෙහි පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබුණි. මෑත අතීතයේ දැකබලාගැනීමට හැකිවූ හොඳම වොලිබෝල් තරඟයක් වූ අවසාන මහා තරඟය පිලිබඳ කතා කිරීමට පෙර මෙම සම්පූර්ණ තරඟාවලියෙහි ආකෘතිය සහ ප්‍රථිපල පිලිබඳ විමසා බලමු.

තරඟාවලියේ ආකෘතිය සහ ප්‍රථිපල

සුදුසුකම් ලබාගැනීමේ වටය

“සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරඟයක් අතරතුර” (cev.lu)

යුරෝපයේ ප්‍රබල කණ්ඩායම් 20 ක් පමණක් යුරෝපියානු චැම්පියන්ස් ලීග් වොලිබෝල් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබයි. ඉන් කණ්ඩායම් 12 ක් තෝරාගැනෙන්නේ යුරෝපයේ හොඳම වොලිබෝල් ලීග් තිබෙන රටවල ජයග්‍රාහී කණ්ඩායම් අතුරිනි. ඉතාලිය, රුසියාව, පෝලන්තය, තුර්කිය, ග්‍රීසිය ඇතුළු හොඳම වොලිබෝල් ලීග් තිබෙන රටවල් අතුරින් එම කණ්ඩායම් 12 තෝරාගැනේ. එක් රටකින් කණ්ඩායම් 1 ක් හෝ උපරිම 2 ක් තෝරාගැනේ. අනෙක් කණ්ඩායම් 8 සුදුසුකම් ලැබීමේ තරඟවලින් ජයග්‍රහණ කර තම ස්ථානය තහවුරු කරගත යුතුයි. පෙරකී රටවල තිබෙන වෙනත් වොලිබෝල් කණ්ඩායම් වලටද එම සුදුසුකම් ලැබීමේ තරඟවලදී දස්කම් පෙන්වා අවසාන කණ්ඩායම් 20 අතරට පැමිණිය හැක.

මූලික වටය

තරඟාවලියට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 20 කාණ්ඩ 5 කට බෙදා මූලික වටයේ තරඟ පවත්වනු ලැබීය. ඒ එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගිනි. මූලික වටයේ තරඟ ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ වූ අතර මාස 3 ක කාලයක් පුරා මූලික වටයේ තරඟ පැවැත්වුණි. ඒ අනුව මූලික වටයේ ප්‍රථිපල පහත පරිදි විය. මූලික වටයේ සිට ප්ලේ ඕෆ්ස් (Play Offs) වටය දක්වා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් මෙහි නිල් පැහැයෙන් දක්වා ඇත.

කණ්ඩායම් 13 ක් ප්ලේ ඕෆ්ස් වටය සඳහා තෝරාගනු ලැබේ. එම කණ්ඩායම් 13 අතරට ඉතාලිය, රුසියාව, පෝලන්තය, බෙල්ජියම, ජර්මනිය වැනි රටවල් නියෝජනය කරන ප්‍රබල කණ්ඩායම් ඇතුලත්ය.

ප්ලේ ඕෆ්ස් වටය

“ප්ලේ ඕෆ්ස් වටයේ තරඟයක්” (cev.lu)

මූලික වටයෙන් ප්ලේ ඕෆ්ස් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 13 අතුරින් වැඩිම දස්කම් දැක්වූ කණ්ඩායම අවසාන පූර්ව වටය සඳහා නිතරගයෙන්ම සුදුසුකම් ලබයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 18 ක් ලැබූ රුසියාවේ සෙනිට් කසාන් කණ්ඩායමට නිතරන්ගයෙන්ම අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට හැකිවිය. අනෙක් කණ්ඩායම් 12, කණ්ඩායම් 2 බැගින් තරඟ කර ඉන් කණ්ඩායම් 6 ක්ද ඉන්පසු එම කණ්ඩායම් 6, කණ්ඩායම් දෙක බැගින් තරඟ කර කණ්ඩායම් 3 ක් ද වනතෙක් පිලිමළුන් පිටුදැකීමේ (Knock out) ක්‍රමයට තරඟවැදුණි. එම කණ්ඩායම් 3 සහ නිතරඟයෙන් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම අවසාන පූර්ව වටයේ දී තරඟ වැදුණි. ඒ අනුව අවසන් පූර්ව වටයේ දී තරඟ කල කණ්ඩායම් 4 වූයේ රුසියාවේ සෙනිට් කසාන්, පෝලන්තයේ කෙද්සිඈර්සින් කෝස්ල් (Kedzierzyn-Kozle), ඉතාලියේ කණ්ඩායම් වන ලුබේ චිවිටනෝවා සහ පෙරූජියා (Perugia) යන කණ්ඩායම් ය​.

අවසන් පූර්ව වටය

“ලුබේ කණ්ඩායමේ ඕස්මානි හුවාන්ටොරේනා අවසන් පූර්ව වටයේ දී” (cev.lu)

2017/18 යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීගයෙහි අවසන් පූර්ව වටයේ තරඟ පැවැත්වුනේ මැයි මස 12 වනදා ය​. අවසන් පූර්ව වටයේ තරඟ ද පැවැත්වුණේ කසාන් නගරයේ කසාන් බාස්කට්බෝල් අංගනයේ දීය.

පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වුණේ පෝලන්තයේ කෙද්සිඈර්සින් කෝස්ල් සහ ඉතාලියේ ලුබේ චිවිටනෝවා කණ්ඩායම් දෙක අතරයි. එහිදී 21-25, 25-22, 15-25 සහ 18-25 ක් වශයෙන් තරඟ වට 1-3 ක් ලෙසින් ඉතාලියේ ලුබේ කණ්ඩායමට ජය හිමිවිය.

දෙවැනි අවසන් පූර්ව තරඟය පැවැත්වුණේ සත්කාරක රුසියාවේ සෙනිට් කසාන් කණ්ඩායම සහ ඉතාලිය පෙරූජියා කණ්ඩායම අතරයි. එහිදී තරඟ වට 3-0 ක් ලෙසින් තරඟය ජයගෙන අවසාන මහා තරඟයට ප්‍රවිෂ්ට වීමට සෙනිට් කසාන් කණ්ඩායමට හැකිවිය. 25-22, 25-20 සහ 25-20 ක් වශයෙන් තරඟ වට තුනෙහි ප්‍රථිපල දැක්වුණි. පෙරූජියා කණ්ඩායමද ශක්තිමත් කණ්ඩායමක් වූවත් එම ශක්තියට සෙනිට් කසාන් කණ්ඩායමෙහි ශක්තිය අභිබවා යෑමට නොහැකි විය.

3 වැනි ස්ථානය තේරීම සඳහා වූ තරඟය

“තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරඟයේ දී පෙරූජියා කණ්ඩායමේ ඇලෙක්සැන්ඩර් ඇට්නාසියෙවිච් (මැද) සහ ඉවාන් සායිට්සේෆ්” (cev.lu)

තරඟාවලියේ 3 වැනි ස්ථානය තේරීම සඳහා පැවති තරඟය ද 13 වනදා කසාන් බාස්කට්බෝල් අංගනයේ දීම පැවැත්වුණි. ඒ අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් දෙක වූ කෙද්සිඈර්සින් කෝස්ල් සහ පෙරූජියා කණ්ඩායම් අතරයි.

තරඟය ඉතාමත් උණුසුම් එකක් වූ අතර දෙපිලම කරට කර තරඟ වදිනු දැකගන්නට ලැබුණි. අවසානයේ දී ඉතාලියේ පෙරූජියා කණ්ඩායම විසින් තරඟ වට 3-2 ක් ලෙසින් තරඟය ජයග්‍රහණය කරමින් 2017/18 යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීග් තරඟාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත්විය. තරඟයේ ප්‍රථිපලය දැක්වුණේ 17-25, 29-27, 19-25, 25-23 සහ 15-7 ක් වශයෙනි.

මෙම කණ්ඩායම් දෙක පිලිබඳ කෙටි සිහිපත් කිරීමක් කළහොත් පෝලන්තයේ කෙද්සිඈර්සින් කෝස්ල් කණ්ඩායම පිහිටුවා තිබෙන්නේ 1947 වසරේ දීය. ඔවුන් මේ දක්වා 7 වතාවක් පෝලන්ත වොලිබෝල් ශූරතාවය හිමිකරගෙන තිබේ. 2003 වසරේ දී යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීග් ශූරතාවය ද හිමිකරගෙන තිබේ.

ඉතාලියේ පෙරූජියා කණ්ඩායම පිහිටුවා තිබෙන්නේ 2001 වසරේ දීය. පසුගියවර යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීග් තරඟාවලියෙහි අනුශූරයින් වූ පෙරූජියා කණ්ඩායම 2017/18 වසරේ ඉතාලි වොලිබෝල් ශූරතාවය ද හිමිකරගැනීමට සමත්විය.

අවසාන මහා තරඟය

“අවසාන මහා තරඟය ඇරඹීමට පෙර” (cev.lu)

ඉහලම මට්ටමේ තරඟාවලියක ඉහලම මට්ටමේ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරඟයකදී ඉහලම මට්ටමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා කෙබඳු වේ දැයි ඔබට පැවසීම අවශ්‍ය නොවේ. 2017/18 යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීග් අවසාන මහා තරඟයේ දී දෙපිලෙහිම ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහලම මට්ටමක පැවති අතර මෑත කාලයේ දී පැවති උණුසුම් බවින් ඉහලම වොලිබෝල් තරඟය මෙය බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතය විය. ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනා මෙවැනි ක්‍රීඩා තරඟ නරඹන්නට බොහෝ ප්‍රිය අතර සැටලයිට් නාලිකා තුලින් දැන් ශ්‍රී ලංකාවේ අපිටත් මෙම උණුසුම් ක්‍රීඩා තරඟ සජීවීව නැරඹිය හැක.

අවසන් පූර්ව වටයේ ජයග්‍රාහී කණ්ඩායම් දෙක වූ රුසියාවේ සෙනිට් කසාන් කණ්ඩායම සහ ඉතාලියේ ලුබේ චිවිටනෝවා කණ්ඩායම් දෙක අතර 2017/18 වොලිබෝල් චැම්පියන්ස් ලීග් තරඟාවලියේ අවසාන මහා තරඟය පැවැත්වුනේ ද කසාන් නුවර කසාන් බාස්කට්බෝල් අංගනයේ දීමය. සෙනිට් කසාන් කණ්ඩායම සහ ලුබේ චිවිටනෝවා කණ්ඩායම මෙයට පෙර හමුවූ අවසාන අවස්තාව වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ක්‍රීඩා සමාජ වොලිබෝල් ලෝක ශූරතාවයේ අවසාන මහා තරඟයේ දීය. එහිදී 3-0 ක් ලෙසින් ජයගැනීමට සෙනිට් කසාන් කණ්ඩායමට හැකිවිය. ප්‍රථමයෙන්ම, අවසාන මහා තරඟයට සහභාගී වූ කණ්ඩායම් දෙක පිළිබඳ​ කෙටියෙන් විමසමු.

“ලුබේ කණ්ඩායමේ පන්දුව ඔසවන්නා “මයිකා ක්‍රිස්ටෙන්ෂන්” (cev.lu)

ලුබේ චිවිටනෝවා කණ්ඩායම ඉතාලියේ ප්‍රබල වොලිබෝල් කණ්ඩායමකි. 1990 වසරේ දී පිහිටුවා තිබෙන ලුබේ කණ්ඩායම මේ වනවිට ඉතාලියේ වොලිබෝල් ලීගය 4 වතාවක් ජයග්‍රහණය කර තිබේ. 2002 වසරේ දී යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීග් තරඟාවලියෙහි ජයග්‍රාහී කණ්ඩායම වූ ලුබේ කණ්ඩායමට පසුගිය වසර දෙකෙහිම චැම්පියන්ස් ලීග් තරඟාවලියෙහි තෙවැනි ස්ථානයෙන් සැනසීමට සිදුවිය.

රුසියාවේ සෙනිට් කසාන් කණ්ඩායම පිහිටුවා තිබෙන්නේ 2000 වසරේ දී වන නමුත් මෙම කෙටි කාලය තුලදී රුසියානු වොලිබෝල් ලීගය 9 වතාවක් ජයග්‍රහණය කිරීමට සෙනිට් කණ්ඩායමට හැකිවී තිබේ. 2014/15, 2015/16, 2016/17 යන තරඟ වාර ත්‍රිත්වයෙහිම යුරෝපීය වොලිබෝල් චැම්පියන්ස් ලීගය ජයග්‍රහණය කරමින් යුරෝපීය වොලිබෝල් ශූරයින් ලෙසින් වැජඹීමට සෙනිට් කසාන් කණ්ඩායමට හැකිවිය.

පිට පිට සිව්වැනි වරටත් යුරෝපීය ශූරයින් වීමට ක්‍රීඩාගාරයට පිවිසි සෙනිට් කසාන් කණ්ඩායමට ලුබේ කණ්ඩායමෙන් ලැබුනේ ඉතාමත් උණුසුම් අභියෝගයකි. තරඟයේ පළමුවැනි වටයෙහි දෙපිලෙහිම ක්‍රීඩකයින් සිය උපරිමය ලබාදුන් අතර පන්දුව පිරිනැමීම, පන්දුව ලබාගැනීම, පන්දුව එසවීම, ප්‍රතිවාදීන්ගේ පහරවල් අවහිර කිරීම, පහරවල් එල්ල කිරීම ඇතුළු වොලිබෝල් ක්‍රීඩාවේ සියලුම මූලික දක්ෂතා ඉතා උපරිම මට්ටමක පැවතුණි. ප්‍රථම වටය 29-27 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සෙනිට් කසාන් කණ්ඩායමට හැකිවිය.

“සෙනිට් කසාන් කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක විල්ෆ්‍රෙඩෝ ලියෝන්” (cev.lu)

දෙවැනි වටයේ දී කිසිවෙකුත් නොසිතූ ආකාරයට ප්‍රබල ක්‍රීඩා රටාවක් ලුබේ ක්‍රීඩකයින්ගෙන් දිස්වූ අතර 25-18 ක් ලෙසින් ජයගැනීමට ලුබේ කණ්ඩායමට හැකිවිය. ඉන් නොනැවතුන ලුබේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩා රටාව තෙවැනි වටයේ දීත් ඒ ආකාරයෙන්ම පැවතුණි. ඒ අනුව 25-23 ක් ලෙසින් තෙවැනි වටය ද ජයගත්තේ ලුබේ කණ්ඩායමයි.

එයින්ද නොනැවතුන ලුබේ ක්‍රීඩකයින් සිව්වැනි වටයේ දීත් සිය ආධිපත්‍යය එලෙසින්ම පැතිරවීමට හැකිවූයේය. පසුගිය වසර කිහිපයේ දී සෙනිට් කසාන් කණ්ඩායම ඒ ආකාරයට අසරණ වූ අවස්තාවක් සොයාගැනීමට නොහැකි තරම්ය. එයද සිය කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේදීමය. ඒ තරමටම ලුබේ කණ්ඩායමේ ක්‍රීඩා රටාව ප්‍රබල විය.

සිව්වැනි වටයේ එක් අවස්තාවක 19-16 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ලුබේ කණ්ඩායමට හැකිවිය. නමුත් සෙනිට් කසාන් කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩා රටාව මෙහිදී ඉස්මතු වූ අතර පසුගිය වසර තුනෙහිම යුරෝපීය චැම්පියන්ස් ලීගයෙහි හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලද සෙනිට් කසාන් කණ්ඩායමේ විල්ෆ්‍රෙඩෝ ලියෝන් සිය කණ්ඩායමට අවශ්‍යම අවස්තාවේදී දක්ෂතා අතරට පැමිණි අතර ඒ අනුව සිව්වැනි වටය 25-23 ක් ලෙසින් ජයගැනීමට සෙනිට් කසාන් කණ්ඩායමට හැකිවිය.

තරඟාවලියෙහි වටිනාම ක්‍රීඩකයා වූ සෙනිට් කසාන් කණ්ඩායමේ මැක්සීම් මිකායිලෆ්” (cev.lu)

පස්වන සහ අවසාන වටයෙහි නැවතත් ක්‍රියාත්මක වූ ලුබේ ක්‍රීඩකයින්ට වැඩි ලකුණු පරතරයක් තබාගැනීමට හැකිවිය. 5-2, 6-3 සහ 9-6 ක් වශයෙන් ඉදිරියෙන් සිටීමට ලුබේ කණ්ඩායමට හැකිවිය. ඒ ආකාරයට ඉදිරියට ගිය තරඟය වරෙක දැක්වුණේ 11-7 ක් ලෙසිනි. ඒ මොහොතේ දී  ජයග්‍රහණය සඳහා ලුබේ කණ්ඩායමට අවැසිව තිබුනේ තවත් ලකුණු 4 ක් පමණි. (පස්වැනි වටය ලකුණු 15 අවසන් වන බැවින්) එම අවස්ථාවේ දී විස්තර විචාරකයෙකු පැවසුවේ “Kazan need a miracle here” යනුවෙනි. ඉහලම මට්ටමේ තරඟයකදී මෙවැනි අවස්ථාවකදී ඉදිරියෙන් සිටින කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 90% ඉහල අගයක් ගන්නා බව විචාරකයන්ගේ මතයයි. ඒ අනුව සත්‍ය වශයෙන්ම එම අවස්ථාවේ දී සෙනිට් කසාන් කණ්ඩායමට හාස්කමක් හෝ ආශ්චර්යයක් අවැසිව තිබුණි.

එය සිදුවිය. හාස්කම සිදුවිය. 11-7 ක් ලෙසින් ලූබේ කණ්ඩායම ඉදිරියෙන් සිටියත් තරඟය 11-11 ක් ලෙසින් සම කිරීමට සෙනිට් කසාන් ක්‍රීඩකයින්ට හැකිවිය. නැවතත් තියුණු මුහුණුවරක් ගත් තරඟය 14-14 ක් සහ 15-15 ක් ලෙසින්ද සම තත්වයේ පැවතුණි. මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ සෙනිට් කසාන් ක්‍රීඩකයින් තමන් නියම යුරෝපීය සහ ලෝක ශූරයින් බව ඔප්පු කරමින් 17-15 ක් ලෙසින් තරඟය ජයගැනීමට සමත්විය. ඒ අනුව පිට පිට සිව්වැනි වරටත් රුසියාවේ සෙනිට් කසාන් කණ්ඩායම යුරෝපීය වොලිබෝල් ශූරයින් ලෙසින් අභිෂේක ලැබීය.

සෙනිට් කසාන් කණ්ඩායම ශූරතා කුසලානයත් සමඟින්” (cev.lu)

තරඟය අවසානයේ දී විස්තර විචාරකයින් සහ ක්‍රීඩා ලෝලීන් සතුටින් යුතුව පැවසුවේ මෙය මෑත කාලයේ දී දකින්නට ලැබුන හොඳම තරඟයක් බවයි. තරඟය පුරාවටම දෙපිලෙහිම ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනුන අතර සෙනිට් කසාන් කණ්ඩායමේ පුහුණුකරු ව්ලැදිමියර් ඇලෙක්නෝ සහ ලුබේ චිවිටනෝවා කණ්ඩායමේ පුහුණුකරු ජියෑම්පාඕලෝ මෙදේයි ද සිය උපරිමය ප්‍රදර්ශනය කරන ලදී. තරඟාවලිය පුරා දැක්වූ දක්ෂතා හේතුවෙන් සෙනිට් කසාන් කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක මැක්සීම් මිකායිලෆ් තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගැනීමට සමත්විය.

Cover – cev.lu

Related Articles