Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 20/20 ලෝක කුසලාන බලාපොරොත්තු

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඔක්තෝබර් 2 වැනිදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඔවුන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී චාම් උත්සවයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති එම උත්සවයට මෙරට ක්‍රිකට් ලෝලීන් පිරිසක් ද එක්ව සිටියා.

 දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් සමූහ ඡායාරූපය – gettyimages.com

 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග 2කට සහභාගි වෙනවා. එයින් පළමු තරගය ඔක්තෝබර් 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ද, දෙවන තරගය ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහි ව ද පැවැත්වෙනවා.

එම තරග 2 ම පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි. පුහුණු තරග තරගවලින් පසු ව තරගාවලියේ පළමු වටය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වෙනවා. මේ එම වටයේ ශ්‍රී ලංකා තරග කාල සටහන යි. 

 ක්‍රීඩකයන් තරගාවලිය සඳහා පිටත්ව ගිය ආකාරය – gettyimages.com

 

1). ශ්‍රී ලංකාව සහ නැමීබියාව- ඔක්තෝබර් 16

2). ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය- ඔක්තෝබර් 18

3). ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය- ඔක්තෝබර් 20 

Road Safety තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති Road Safety World Series ක්‍රිකට් තරගාවලිය පසුගිය සෙනසුරාදා නිමාවට පත් වුණා. එම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දියා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් ද්විත්වය යි. ඉන්දියාවේ රායිපූර් හි දී පැවති අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා. 

 නාමන් ඕජාගේ ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

 

එහි දී ඉන්දීය ඉනිම වර්ණවත් කළ නාමන් ඕජා හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 71කින් නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා. ඒ අයුරින් ඕජා ඉන්දියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් කුලසේකර ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.

 ඔහු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් පළමු පන්දුවෙන් ම දවා ගැනීම කාගේත් කතාබහට ලක් වුණු සිදුවීමක් වුණා. 

 සචින් ටෙන්ඩුල්කාර් දැවී ගිය අවස්ථාව – espncricinfo.com

 

ඉන් අනතුරු ව ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මුල සිට ම ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ප්‍රබල තර්ජනයක් එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 85ක් තුළ බිඳ වැටුණා.

එම අවස්ථාවේ දී පිටියේ එකතු වුණු ඉෂාන් ජයරත්න සහ මහේල උඩවත්ත පන්දු 31කින් ලකුණු 63ක් එකතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉෂාන් පන්දු 22කින් ලකුණු 51ක් ලබා ගත්තා.

 ඉෂාන් ජයරත්නගේ ඉනිමේ අවස්ථාවක්  – espncricinfo.com

 

ඒ අයුරින් ඉෂාන් සහ මහේල ගොඩනැගූ වේගවත් සබඳතාව නිසා එක් අවස්ථාවක් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා පන්දු 17කින් ලකුණු 47ක් අවශ්‍ය වී තිබුණා. එම අවස්ථාවේ දක්ෂ ලෙස පන්දු යැවූ විනේ කුමාර් සහ අභිමන්යූ මිතුන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 13ක් තුළ දවා ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 18.5ක් තුළ ලකුණු 162කට සීමා වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

 ජයග්‍රාහී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම – espncricinfo.com

 

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියා ලෙජන්ඩ්ස්- 195/6 (20), (නාමන් ඕජා- 108*, විනේ කුමාර්- 36, නුවන් කුලසේකර- 29/3)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්- 162/10 (18.5), (ඉෂාන් ජයරත්න- 51, විනේ කුමාර්- 38/3, අභිමන්යූ මිතුන්- 27/2)

ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 33ක ජයක් 

තරගයේ වීරයා- නාමන් ඕජා 

තරගාවලියේ වීරයා- තිලකරත්න දිල්ෂාන් 

 තිලකරත්න දිල්ෂාන් තරගාවලිය තුළ දස්කම් දක්වමින් – espncricinfo.com

 

දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට 

2022 දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලිය මාලදිවයිනේ දී පසුගිය දිනවල පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රටවල් නියෝජනය කරමින් කාන්තා පැසිපන්දු කණ්ඩායම් සහභාගි වුණා.

ලීග් ක්‍රමය යටතේ පැවති එම තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම අනිත් කණ්ඩායම් ත්‍රිත්වය සමඟින් තරග වැදුණා. මේ එම තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි. 

 තරගාවලියේ අවස්ථාවක් – facebook.com/ Maldives Basketball Association

 

1). මාලදිවයින සහ නේපාලය- ලකුණු 51-47 ලෙස මාලදිවයිනට ජය 

2). ශ්‍රී ලංකාව සහ භූතානය- ලකුණු 98-33 ලෙස ශ්‍රී ලංකාවට ජය 

3). නේපාලය සහ ශ්‍රී ලංකාව- ලකුණු 55-49 ලෙස නේපාලයට ජය 

4). නේපාලය සහ භූතානය- ලකුණු 65-26 ලෙස නේපාලයට ජය 

5). ශ්‍රී ලංකාව සහ මාලදිවයින- ලකුණු 72-59 ලෙස ශ්‍රී ලංකාවට ජය 

6). මාලදිවයින සහ භූතානය- ලකුණු 86-34 ලෙස මාලදිවයිනට ජය 

 ශ්‍රී ලංකා-මාලදිවයින් තරගයේ අවස්ථාවක් – facebook.com/ Maldives Basketball Association

 

ලීග් තරග වටය අවසානයේ දී ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින යන කණ්ඩායම් ජයග්‍රහණ 2 බැගින් ලබා ගෙන සම තත්ත්වයේ පසුවුණා. එහි දී තරගාවලියේ නීතිතීරිවලට අනුව සමතාව බිඳීම මඟින් ස්ථාන ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ ශූරතාවය හිමි වෙද්දී, නේපාලය සහ මාලදිවයින පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තා.

මීට පෙර මෙම තරගාවලිය පැවැත්වූයේ 2016 වසරේ දී පමණ යි. එවර තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ද ශ්‍රී ලංකාව යි. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව පිට පිටම දෙවන වරටත් දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

 ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම – facebook.com/ Maldives Basketball Association

 

එංගලන්තයට සුපිරි 20/20 තරගාවලි ජයග්‍රහණයක් 

2022 T20 ලෝක කුසලානය ආරම්භ වීමට තවත් තිබෙන්නේ සති 2කටත් අඩු කාලයක්. එනිසා මේ දිනවල 20/20 ක්‍රිකට් පිටිය බොහොම උණුසුම්. එවැනි වටපිටාවක එංගලන්තය සහ පාකිස්තානය අතර තරග 7කින් සමන්විත 20/20 තරගාවලියක් පසුගිය දිනවල පැවැත්වුණා.

පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගර ආශ්‍රිත ව පැවති එම තරගාවලිය තරග 4-3ක් ලෙසින් ජයග්‍රහණය කළේ සංචාරක එංගලන්ත කණ්ඩායම යි. මේ එම තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි. 

 තරගාවලිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම – gettyimages.com

 

1). පළමු තරගය (එංගලන්තයට කඩුලු 6ක ජයක්)

පාකිස්තානය- 158/7 (20)

එංගලන්තය- 160/4 (19.2)

2). දෙවන තරගය (පාකිස්තානයට කඩුලු 10ක ජයක්)

එංගලන්තය- 199/5 (20)

පාකිස්තානය- 203/0 (19.3)

3). තෙවන තරගය (එංගලන්තයට ලකුණු 63ක ජයක්)

එංගලන්තය- 221/3 (20)

පාකිස්තානය- 158/8 (20)

4). සිව්වන තරගය (පාකිස්තානයට ලකුණු 3ක ජයක්)

පාකිස්තානය- 166/4 (20)

එංගලන්තය- 163/10 (19.2)

5). පස්වන තරගය (පාකිස්තානයට ලකුණු 6ක ජයක්)

පාකිස්තානය- 145/10 (20)

එංගලන්තය- 139/7 (20)

6). හයවන තරගය (පාකිස්තානයට කඩුලු 8ක ජයක්)

පාකිස්තානය- 169/6 (20)

එංගලන්තය- 170/2 (14.3)

7). හත්වන තරගය (එංගලන්තයට ලකුණු 67ක ජයක්)

එංගලන්තය- 209/3 (20)

පාකිස්තානය- 142/8 (20)

තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ එංගලන්ත පිතිකරු හැරී බෘක් ඉනිම් 6කදී පන්දුවට පහර දෙමින් නොදැවීම් 3ක් සමඟින් ලකුණු 238ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 79.33ක් ලෙසින් ද ප්‍රහාරාත්මක වේගය 163.01ක් ලෙසින් ද සටහන් වුණා. ඒ අයුරින් ඔහු දැක්වූ සුපිරි දස්කම් නිසා තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. 

 තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් හැරී බෘක් – gettyimages.com

ඉන්දුනිසියාවේ පාපන්දු ඛේදවාචකය

පාපන්දු තරගයක් අවසානයේ  ඇති වුණු ගැටුමක් පිළිබඳ පුවතක් පසුගිය ඉරිදා ඉන්දුනීසියාවෙන් වාර්තා වුණා. නැඟෙනහිර ජාවා හි මලන්ග් නගරයේ පිහිටි කන්ජුරුහාන් ක්‍රීඩාංගණයේ පැවති එම තරගය සඳහා Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් සහභාගි වුණා.

එම තරගයෙන් ගෝල 3-2ක ජයක් හිමි වුණේ Persebaya Surabaya කණ්ඩායමට යි. එහි දී Arema FC කණ්ඩායම ලද පරාජයත් සමඟින් ඔවුන්ට සහාය පළ කර ප්‍රේක්ෂකයන් ක්‍රීඩා පිටියට කඩා වැදී කලහකාරී අන්දමින් හැසිරුණා. 

 පාපන්දු තරගය අවසානයේ ඇති වුණු ගැටුමේ අවස්ථාවක් – channelnewsasia.com

 

එම අවස්ථාවේ ක්‍රීඩාංගණය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ මොහොතේ ක්‍රීඩාංගණයේ සිටි 42000කට ආසන්න පිරිස එම ස්ථානයෙන් පිට ව යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇති වුණු තදබදය නිසා සැලකිය යුතු තරම් පිරිසකට ජීවිත අහිමි වුණා.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට මේ වන විට මෙම ගැටුම නිසා 174 දෙනෙක් මිය ගොස් තවත් 180 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු ඉන්දුනීසියාව තුළ සියලු ප්‍රධාන පාපන්දු තරග අත්හිටුවීමට එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ නියෝග කර තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- 20/20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය අවස්ථාව- gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com
facebook.com/maldives basketball association
cricbuzz.com
aljazeera.com

Related Articles