Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු-එංගලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ එංගලන්තය අතර යි. ලෝක කුසලාන ඉතිහාසයේ නිතරම උරෙනුර ගැටී ඇති කණ්ඩායම් දෙකක් ගැටෙන මෙම තරගය තීරණාත්මක එකක්. මේ වන විට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට අසීරු සටනක යෙදෙන සත්කාරක එංගලන්ත කණ්ඩායමට මෙම ජයග්‍රහණය අවශ්‍යම එකක්. ඉන්දීය කණ්ඩායමටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට යාම සඳහා මෙම ජයග්‍රහණය වැදගත්. එසේම 1992 වසරෙන් පසුව එංගලන්ත කණ්ඩායම හමුවේ ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගෙන නැහැ. එම නිසාම ඔවුන් මෙවර සටන් බිමට පිවිසෙන්නේ එම සියලු සිහින ඉටුකර ගැනීමට යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-එංගලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 7ක දී තරග කර තිබෙනවා. එහි දී ඉන්දීය කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට එංගලන්ත කණ්ඩායමත් තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා.  

මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණේ 1975 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එහිදී ඩෙනිස් එම්ස් එංගලන්තය වෙනුවෙන් ලබාගත් ලකුණු 137 නිසා ඔවුන්ට ලකුණු 202ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවුණා. ඊට අමතරව සුනිල් ගවස්කාර් පන්දු 174කින් නොදැවී ලකුණු 36ක් ලබාගනිමින් ක්‍රීඩාකළ මන්දගාමී ඉනිම පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

එංගලන්තය – 334/4 (60)

ඉන්දියාව – 132/3 (60)

එංගලන්තයට ලකුණු 202ක ජයක් 

ඩෙනිස් ඒම්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන්පසුව මෙම කණ්ඩායම් 2ක නැවතත් උරෙනුර ගැටුණේ 1983 ලෝක කුසලාන තරගාවලියේ පළමු  අවසන් පූර්ව තරගයේ දී යි. එහිදී එංගලන්ත කණ්ඩායම හමුවේ ඉන්දියානුවන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලැබුවා. 

එංගලන්තය – 213/10 (60)

ඉන්දියාව – 217/4 (54.4)

ඉන්දියාවට කඩුලු 6ක ජයක් 

1983 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-එංගලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1983 වසරේ අවසන් පූර්ව තරගයේ දී සිදුවූ අවමානය මකා ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවුණේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමත් සමගින්. එහිදී එංගලන්තය වෙනුවෙන් ග්‍රැහැම් ගුච් අගනා ලකුණු 115ක් ලබාගත්තේ ඉන්දීය දඟ පන්දු යවන්නන්ට එරෙහිව උපක්‍රමයක් ලෙස ස්වීප් පහර  භාවිතා කරමින්. 

එංගලන්තය – 254/6 (50)

ඉන්දියාව – 219/10 (45.3)

එංගලන්තයට ලකුණු 35ක ජයක් 

 1987 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-එංගලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී ලකුණු 9ක තියුණු ජයක් උරුමකර ගත්තේ එංගලන්ත කණ්ඩායම යි.

එංගලන්තය – 236/9 (50)

ඉන්දියාව – 227/10 (49.2)

එංගලන්තයට ලකුණු 9ක ජයක් 

1992 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

සව්රව් ගංගුලී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී ඉන්දීය කණ්ඩායම හමුවේ එංගලන්තය ලකුණු 63ක පරාජයක් ලැබුවා.

ඉන්දියාව – 232/8 (50)

එංගලන්තය – 169/10 (45.2)

ඉන්දියාවට ලකුණු 63ක ජයක් 

1999 ලෝක කුසලාන තරගාවලියේ  ඉන්දු-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායමට පහසු ජයක් හිමිවුණේ අශීෂ් නෙහෙරා 23/6ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි.

ඉන්දියාව – 250/9 (50)

එංගලන්තය – 168/10 (45.3)

ඉන්දියාවට ලකුණු 82ක ජයක් 

2003 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ඉන්දු-එංගලන්ත තරගය නිමාවට පත්වුණේ ලකුණු සමවුණු තරගයක් ලෙසින්. එහිදී ඇන්ඩෘ ස්ට්‍රවුස් ලකුණු 158ක් සහ සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 120ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දක්වන විට ටිම් බ්‍රෙස්නන් ලකුණු 48කට කඩුලු 5ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා.

ඉන්දියාව – 338/10 (49.5)

එංගලන්තය – 338/8 (50)

තරගයේ ලකුණු සමවුණා  

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 5 තුළ මෙම පිටියේ දී දිවා තරග 7ක් පැවැත්වුණා. එහිදී පිතිකරුවන්ට පන්දුවට පහරදීමට එතරම් ගැටලුවක් නොවුණු මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය වුණේ ලකුණු 252ක්.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද? 

එජ්බැස්ටන් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 7 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා එජ්බැස්ටන් පිටියේ පැවැත්වෙන ඉන්දු-එංගලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 7 දී කාසියේ වාසිය දිනාගත් නායකයන් අවස්ථාවන් 5ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් කාසියේ වාසිය දිනාගන්නා නායකයේ තීරණය එය වීමට ඇති ඉඩ වැඩි යි.

එජ්බැස්ටන්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඉන්දීය කණ්ඩායම අවසන් වසර 6 තුළ මෙම පිටියේ දී තරග කළ තරග 5ම ජයග්‍රහණය කළා. එහිදී  ඔවුන් එංගලන්තය හමුවේ තරග 2ක් ජයග්‍රහණය කළේ 2013 ශූරයන්ගේ තරගාවලියේ අවසන් තරගයේ දී ලබාගත් ජයග්‍රහණයත් සමගිනුයි. එංගලන්තය කණ්ඩායම අවසන් වසර 6 තුළ මෙම පිටියේ දී සහභාගි වුණු තරග 7න් ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණ යි. ඒ අනුව එජ්බැස්ටන් පිටිය ඉන්දීය කණ්ඩායමට ඉතාමත් වාසනාවන්ත එකක් බව ඉහත දත්ත අනුව පෙනීයන කරුණක්.

2013 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන ඉන්දු-එංගලන්ත  තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් 2ක අතර අවසන් වරට 2018 වසරේ දී පැවැත්වුණු එක්දින තරගාවලියේ ජය 2-1ක් ලෙසින් හිමිකර ගත්තේ එංගලන්ත කණ්ඩායම යි. නමුත් මේ වනවිට ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය තුළ ප්‍රබල තරග රටාවක නිරත වෙමින් සිටිනවා. එසේම එංගලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය නිසා ඔවුන් දැඩි පීඩනයකට හසුව තිබෙනවා. එම නිසාම මෙම තරගය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles