Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර විස්සක් සපුරන ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය

ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකරන​ ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය, සිය 20 වන සංවත්සරය 2018 ඔක්තෝම්බර් 29 වන දා සමරනවා. එම නිසා එම ක්‍රීඩා සමාජය පිළිබඳ විස්තර සොයා බැලීමට අප අදහස් කළා.

චෙස් ක්‍රීඩාව පිළිබඳ අසා ඇති හෝ එම ක්‍රීඩාවෙහි නියැලී ඇති බොහෝ දෙනෙකු ඇනතෝලි කාර්පොෆ්ගේ නම අසා තිබෙනවා. එමෙන්ම කාර්පොෆ් සහ ගැරී කැස්පරොෆ් අතර පැවති ප්‍රකට චෙස් එදිරිවාදිකම පිළිබඳ ද අසා තිබෙනවා. ඇනතෝලි කාර්පොෆ් නාමය චෙස් ක්‍රීඩාව හා තදින් ම බැඳී තිබෙන්නක්.

ඇනතෝලි කාර්පොෆ් යන නාමය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වීමට ඔහුගේ නමින් නම් කළ ක්‍රීඩා සමාජය ද හේතු වී තිබෙනවා. රුසියානු කේන්ද්‍රය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වුව ද, ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය පිහිටුවීමට මූලිකත්වය ගන්නා ලද්දේ සුනීතා විජේසූරිය යි.

ආරම්භක අවස්ථා

සුනීතා විජේසූරිය ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජයේ සභාපතිනිය සහ ප්‍රධාන චෙස් උපදේශිකාව වෙනවා. ඇයට අමතර ව තවත් උපදේශකයන් දෙදෙනෙකු මේ වන විට සමාජයේ සාමාජික දරුවන් සඳහා චෙස් උපදේශනයේ නිරත වෙනවා.

සුනීතා විජේසූරිය 1992 දී මැනිලා හි පවත්වන ලද 20 වන චෙස් ඔලිම්පියාඩයේ දී රන් පදක්කමක් දිනා ගත්තා. ඉන්පසු ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට චෙස් ෆෙඩරේශනය සමග එක් ව කටයුතු කිරීමේ උත්සාහයක් ගත් නමුත්, එය අසාර්ථක වූ බව ඇය අප හා සඳහන් කළා. පසුකාලීන ව රුසියානු කේන්ද්‍රය හා සම්බන්ධ වූ ඇය 1998 දී ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය පිහිටුවීමට මූලික වුණා. චෙස් ක්‍රීඩාව සහ රුසියාව එකිනෙක හා තදින් බැඳී තිබෙන හෙයින් රුසියානු කේන්ද්‍රයේ සහාය ද ඇනතෝලි කාර්පොෆ් සමාජයේ කටයුතු සඳහා උපකාරයක් වුණා.

ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජයේ 500 වන පුහුණු සැසිය දින (Russian Centre, Colombo)

ඇනතෝලි කාර්පොෆ් එකල ලෝක චෙස් ෆෙඩරේශන ලෝක ශූරයා වූ හෙයින්, ඔහුගේ නම මේ සඳහා යොදාගත් බව යි සුනීතා විජේසූරිය පැවසූයේ.

එම කාලයේ වුව ද ලංකාවේ ප්‍රධාන පාසැල් කිහිපයක හැරුණ කල චෙස් ක්‍රීඩාව ප්‍රචලිත වී තිබුණේ නැහැ. ඇත්ත වශයෙන් ම ලංකාවේ ප්‍රධාන පෙළේ පාසැල්වල ද චෙස් ක්‍රීඩාව ප්‍රචලිත වී දශක කිහිපයකට වඩා ගත වී තිබුණේ නැහැ. ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය රට පුරා පාසැල් සහ වෙනත් ස්ථානවල චෙස් පුහුණු සැසි පවත්වමින් චෙස් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට කටයුතු කළා. පාසැල් ගණනාවකට අමතර ව යුධ හමුදා මූලස්ථානය සහ කොළඹ විශ්ව විද්‍යාලය වැනි ස්ථානයන් හි ද මෙසේ කඳවුරු පවත්වනු ලැබුණා. ඊට අමතර ව සුනාමි ව්‍යසනයෙන් පසු පැරෑලිය ප්‍රදේශයේ දී ද චෙස් කඳවුරක් පවත්වන්නට චෙස් සමාජය කටයුතු කළා. ශ්‍රේණිගත කිරීම් තරගාවලි සඳහා ද ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමට ඇනතෝලි කාර්පොව් චෙස් සමාජය කටයුතු කළා.

ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය විසින් පවත්වන ලද 500 වන චෙස් පුහුණු සැසිය 2018 අගෝස්තුවේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ දී පවත්වනු ලැබුවා. අමාත්‍ය අර්ජුණ රණතුංග ද එම අවස්ථාවට සහභාගී වුණා.

චෙස් ක්‍රීඩාව ප්‍රචලිත වීම

වසර කිහිපයක් තුළ දී චෙස් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ පිට පළාත්වල පාසැල්වල පවා ප්‍රචලිත වුණා. සුනීතා විජේසූරිය අප හා පැවසූයේ කල් යාමේ දී චෙස් ෆෙඩරේශනය ද ඉතා ක්‍රියාකාරී ව එම කටයුතුවලට යොමු වූ හෙයින්, චෙස් ක්‍රීඩාව ප්‍රචලිත වීමට එය ද ඉවහල් වූ බව යි. ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය විසින් ආරම්භ කරන ලද ක්‍රියාවලිය චෙස් ෆෙඩරේශනය විසින් ඉදිරියට ගෙන යාම පිළිබඳ ඇය තම සතුට පළ කර සිටිනවා.

මෑතක් වන තුරු ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය විසින් චෙස් පුහුණුව ලබා දුන්නේ වයස අවුරුදු 5 න් ඉහළ ළමුන් සඳහා යි. නමුත් මෑතක දී වැඩිහිටියන්ටත් පුහුණු වැඩපිළිවෙලක් අරඹා ඇතැ යි අපට රුසියානු කේන්ද්‍රය පැවසුවා.

ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය විසින් ද වාර්ෂික චෙස් තරගාවලියක් පවත්වනු ලබනවා. ඊට ළමුන් 130ක් පමණ සාමාන්‍යයෙන් සම්බන්ධ වන බව රුසියානු කේන්ද්‍රය අපට කියා සිටියා.​

එතකොට කවුද මේ කාර්පොෆ්?

ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය ගැන කියද්දී ඇනතෝලි කාර්පොෆ් ගැනත් අනිවාර්යයෙන් ම සඳහනක් කළ යුතු යි. කාර්පොෆ් උපන්නේ 1951 දී එවකට සෝවියට් දේශයේ දී යි. ඔහු 1970 දී චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු බවට පත් වුණා. ඔහු 1975 දී ලෝක චෙස් ශූරයා බවට පත් වූ නමුත් එම අවස්ථාවේ දී එය විවාදාත්මක කරුණක් වුණා. ඊට හේතුව එවකට ලෝක ශූරයා වූ බොබී ෆිෂර් ඔහු හා තරග කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා කාර්පොෆ් නිතරගයෙන් ම ශූරයා බවට පත් වීම යි.

කාර්පොෆ් තමන් සත්‍ය වශයෙන් ම ලෝක ශූරයා බව පෙන්වීමට කළේ දිගටම තරගාවලි සඳහා සහභාගී වීම යි. 1985 වන තෙක් ම ඔහු පරාජය කිරීමට හැකි අයෙකු මතු වුණේ නැහැ.

ඇනතෝලි කාර්පොෆ් 1981 දී (thequietmove.com)

1984 දී ආන්දෝලනාත්මක චෙස් ලෝක ශූරතාවයක දී කාර්පොෆ් තම කිරුළ ආරක්ෂා කරගන්නට සමත් වුණා. ඔහුට අභියෝග කළේ ගැරී කැස්පරොෆ්. මාස පහක් තිස්සේ තරග 48ක් පුරාවට ඔවුනගේ අවසන් සටන ඇදී ගියා. අවසානයේ දී එවක ලෝක චෙස් ෆෙඩරේශන සභාපති විසින් එය අත් හිටවූවා.

1985 දී කැස්පරොෆ් විසින් කාර්පොෆ් පරාජය කෙරුණේ ලෝක චෙස් ශූරතාව කාර්පොෆ්ට අහිමි කරමින්.

1993 දක්වා ලෝක චෙස් ශූරයා වුණේ කැස්පරොෆ්. නමුත් එම වසරේ දී ඔහු ලෝක චෙස් ෆෙඩරේශනයෙන් ඉවත් වීමත් සමග ලෝක චෙස් ෆෙඩරේශන ලෝක ශූරයා බවට ඇනතෝලි කාර්පොව් යළිත් පත් වුණා.

අමතර කරුණක්: සෝවියට් ක්‍රීඩකයෙකු පළමු වරට ලෝක චෙස් ශූරතාව දිනාගත්තේ 1948 දී යි. මිහායිල් බොට්වින්නික් එම ක්‍රීඩකයා යි. එතැන් පටන් 1991 දී සෝවියට් දේශය බිඳ වැටෙන තුරු ම​, ලෝක චෙස් ශූරයා බවට පත් වූ එක ම සෝවියට් නොවන ක්‍රීඩකයා වුණේ බොබී ෆිෂර්. ඇමෙරිකානුවෙකු වූ ඔහු 1972-1975 කාලයේ එම කිරුළ දැරුවා.

 

කවරයේ පින්තූරය: සුනීතා විජේසූරිය සහ රුසියානු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඇනස්ටාසියා කොක්ලෝවා 500 වන පුහුණු සැසිය දින (Russian Centre, Colombo)

Related Articles