Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තියුණු අවසන් මහා තරඟයකින් නිමා වූ ලෝක සත් සාමාජික රග්බි තරගාවලිය​

පසුගිය ඉරිදා ප්‍රංශයේ පැරීස් හි පැවති අවසාන මහා තරඟය ජයගත් දකුණු අප්‍රිකානු සත් සාමාජික රග්බි කණ්ඩායම 2017-18 තරඟ සමයේ ලෝක සත් සාමාජික ශූරයින් බවට පත්විය. ඒ ඉතා තියුණු අවසාන මහා තරඟයේ දී එංගලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම 24-14 ක් වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුවයි. 1999-00 තරඟ සමයේ සිට සෑම වසරකම පැවැත්වූ මෙම සත් සාමාජික රග්බි තරගාවලියේ දකුණු අප්‍රිකාව ශූරයින් වූ තෙවැනි අවස්ථාව​ මෙය වේ. මෙයට පෙර 2016/17 සහ 2008/09 යන අවස්ථා දෙකේද දකුණු අප්‍රිකාව ශූරයින් බවට පත්වී ඇත. මේ දක්වා 12 වතාවක් ශූරයින් බවට පත්වී තිබෙන නවසීලන්තය වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනූ රට බවට පත්වී තිබේ. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ අන්තර්ජාතික රග්බි පාපන්දු සංගමය විසිනි.

තරගාවලිය පැවැත්වෙන ආකාරය

“මාර්තු මස ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර පැවති අදියරේ අවස්ථාව​ක්” (Mike Lee-KLS Photos for World Rugby)

සෑම විටම ප්‍රතිඵලය​ පමණක් නොදක්වා එම ක්‍රීඩාව සහ තරගාවලිය පිළිබඳ හැකිතාක් තොරතුරු ඉදිරිපත් කිරීමට Roar අපි මහන්සි ගන්නේ ශ්‍රී ලාංකේය පාඨකයාට වඩාත් හොඳ යමක් ලබා දීමට අවැසි නිසාය. මෙම සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වෙන්නේ අදියර 10 ටය. ඒ ලෝකයේ රටවල් 10 ක නගර 10 දී ය. සාමාන්‍යයෙන් ලෝක සත් සාමාජික රග්බි තරගාවලිය ඇරඹෙන්නේ නොවැම්බර් මස අග හෝ දෙසැම්බර් මුල ය. අවසන් වන්නේ මැයි මස අග හෝ ජූනි මස මුල ය. ඒ එ.අ.එ රාජ්‍යයේ ඩුබායි, දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, නවසීලන්තයේ හැමිල්ටන්, ඇ.එ.ජ ලාස් වේගාස්, කැනඩාවේ වැන්කුවර්, චීනයේ හොං කොං, සිංගප්පූරුව, ප්‍රංශයේ පැරිස් සහ එංගලන්තයේ ලන්ඩන් යන නගර වලදී සෑම වසරකම මෙම තරගාවලියේ අදියර 10 පැවැත්වෙයි.

සාමාන්‍යයෙන් තරගාවලිය ආරම්භ වන්නේ ඩුබායි නගරයෙනි. අවසන් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරිනි. (මෙවර පැරීසියෙන් අවසන් විය) එක් අදියරක් සදහා සති අන්තයක් හෝ සිකුරාදා දිනය සමඟ සති අන්තයක් (දින තුනක්) යොදාගනු ලැබේ. සෑම අදියරකටම රටවල් 16 ක් සහභාගී වන අතර ඉන් රටවල් 15 ක් වසරේ පැවැත්වෙන සෑම අදියරකටම සහභාගී වේ. මෙවර දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, ෆීජී දූපත්, වේල්සය, රුසියාව, ඇ.එ.ජ, ආර්ජෙන්ටිනාව, කෙන්යාව, කැනඩාව සහ සැමෝආ දූපත් සියලුම අදියර සඳහා සහභාගී වීමට වරම් හිමිකරගන්නා ලදී. අනෙකුත් රට ලෙසින් එම අදියර පැවැත්වෙන මහාද්වීපයේ එක් රටක් සහභාගී වේ. (ආසියාවේ පැවැත්වේ නම් ජපානය, ඇමරිකාවේ පැවැත්වේ නම් උරුගුවේ ලෙසින්)

එක් අදියරක් පැවැත්වෙන ආකාරය

හොං කොං නුවර පැවති අදියරෙහි අවස්තාවක්” (Mike Lee-KLS Photos for World Rugby)

අදියර සඳහා සහභාගී වන රටවල් 16 කාණ්ඩ 4 ට බෙදන්නේ එක් කාණ්ඩයකට රටවල් 4 බැගිනි. රවුන්ඩ් රොබින් ක්‍රමයට මූලික වටයේ තරඟ පවත්වයි. (රවුන්ඩ් රොබින් ක්‍රමය යනු එම කාණ්ඩයේ තිබෙන සියලුම රටවල් එකිනෙක තරඟ වැදීමයි. ඒ අනුව මෙහිදී මූලික වටයේ දී එක් කණ්ඩායමක් තරඟ 3 ට සහභාගී වේ. මෙම රවුන්ඩ් රොබින් ක්‍රමය බොහෝ තරඟාවලි සඳහා යොදාගනී. ඩබල් රවුන්ඩ් රොබින් ක්‍රමය යනු එක් කණ්ඩායමක් එම කාණ්ඩයේ තිබෙන අනෙකුත් කණ්ඩායම් සමඟින් දෙවරක් බැගින් තරඟ කිරීමයි. IPL සහ විවිධ ක්‍රීඩා සමාජ ලීග් සඳහා මෙම ක්‍රමය භාවිතා කෙරේ.) ඉන්පසු මූලික වටයේ ඒ ඒ කාණ්ඩවලින් මුල් ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙක “කුසලාන ශූරතාවය” (Cup) සඳහාද අනෙක් කණ්ඩායම් දෙක “අභියෝගතා ශූරතාවය” (Challenge) සඳහා ද ක්‍රීඩා කරයි.

කුසලාන ශූරතාවය

“ජනවාරි මස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති අදියරෙහි අවස්තාවක්” (Mike Lee-KLS Photos for World Rugby)

ඒ අනුව කුසලාන ශූරතාවය වෙනුවෙන් කණ්ඩායම් 8 බැගින් ක්‍රීඩා කරයි. (එක් කාන්ඩයකින් කණ්ඩායම් දෙක බැගින්) එම කණ්ඩායම් 8 අර්ධ අවසාන පූර්ව වටයට ක්‍රීඩා කරන අතර ඉන් ජයගන්නා කණ්ඩායම් 4 කුසලාන ශූරතාවය වෙනුවෙන් අවසන් පූර්ව වටයෙහි ක්‍රීඩා කරයි. ඉන් ජයගන්නා කණ්ඩායම් දෙක “කුසලාන ශූරතා” අවසාන මහා තරඟයට ක්‍රීඩා කරයි. කුසලාන ශූරතාවයේ අවසන් පූර්ව වටයෙන් පරාජය වූ කණ්ඩායම් දෙක අතර තරඟයක් පවත්වන්නේ 3 වැනි ස්ථානය සඳහාය. කුසලාන ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයේ පරාජය වූ කණ්ඩායම් හතර 5 වැනි ස්ථානය වෙනුවෙන් තරඟ කරයි. ( එම අදියරෙහි මුල් ස්ථාන 8 හිමිවන්නේ මෙම ශූරතා කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන රටවල් වලටයි.)

අභියෝගතා ශූරතාවය

අභියෝගතා ශූරතාවය පැවැත්වෙන්නේ ද ඉහත ආකාරයටමයි. මූලික වටයේ ඒ ඒ කාණ්ඩයේ 3,4 වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 8 අභියෝගතා ශූරතාවය වෙනුවෙන් අර්ධ අවසන් පූර්ව වටයට ද ඉන්පසු අවසන් පූර්ව වටයටද සහභාගී වේ. ඉන් ජයගන්නා කණ්ඩායම් දෙක අභියෝගතා ශූරතා අවසාන මහා තරඟයට ක්‍රීඩා කරයි. (මෙම අභියෝගතා ශූරතාවය තරගාවලියෙහි 9 වැනි ස්ථානය ලෙසින් ද හැඳින්විය හැක.) අභියෝගතා ශූරතා අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ වලින් පරාජය වූ කණ්ඩායම් 4 තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරඟ වදී.

ප්‍රසාද ලකුණු පිරිනමන ආකාරය

“මෙවර ලන්ඩනයේ පැවති අදියරෙහි එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයේ අවස්තාවක්” (Mike Lee-KLS Photos for World Rugby)

එක් එක් අදියර ජයගන්නා කණ්ඩායමට සහ අනෙකුත් සියලුම කණ්ඩායම් වලට ප්‍රසාද ලකුණු පිරිනමයි. කුසලාන ශූරතාවය හිමිකරගත් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 22 ක්, කුසලාන අනුශූරතාවයට ප්‍රසාද ලකුණු 19 ක්, 3 වැනි ස්ථානයට ප්‍රසාද ලකුණු 17 ක්, සිව්වැනි ස්ථානයට ප්‍රසාද ලකුණු 15 ක්, පස්වැනි ස්ථානයට ප්‍රසාද ලකුණු 13 ක්, හය වැනි ස්ථානයට ප්‍රසාද ලකුණු 12 ක්, 7,8, ස්ථාන දෙකට ප්‍රසාද ලකුණු 10 ක් බැගින් පිරිනැමේ. අභියෝගතා ශූරතාව දිනූ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 8 ක්, අභියෝගතා අනුශූරතාවයට ප්‍රසාද ලකුණු 7 ක්, අභියෝගතා ශූරතාවයේ අවසන් පූර්ව වටයට සහභාගී වූ කණ්ඩායම් දෙකට (11 සහ 12 ස්ථාන දෙකට) ප්‍රසාද ලකුණු 5 බැගින්, 13 වැනි ස්ථානය දිනූ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 3 ක්, 14 වැනි ස්ථානයට ප්‍රසාද ලකුණු 2 ක් සහ 15,16 ස්ථාන හිමිකරගත් කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු 1 බැගින් පිරිනැමේ. මේ ආකාරයට සෑම අදියරක දීම තරඟ පවත්වා ප්‍රසාද ලකුණු පිරිනමන අතර අදියර 10 දී වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගත් කණ්ඩායම එම තරඟ සමයේ ශූරයින් ලෙසින් අභිෂේක ලබයි.

මෙවර තරගාවලිය

“මෙවර අභියෝගතා ශූරතාවය දිනූ ආර්ජෙන්ටිනා කණ්ඩායම” (Mike Lee-KLS Photos for World Rugby)

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමුවැනි අදියර පසුගිය වසරේ දෙසැම්බර් මස 1 සහ 2 දෙදින තුල දී ඩුබායි හී පැවැත්වුනේ සුපුරුදු පරිදි ය. ඉන්පසු ලෝකයේ විවිධ රටවල අනෙකුත් අදියර පැවැත්වූ අතර ජූනි මස 9,10 දෙදින ප්‍රංශයේ පැරිස් නගරයේ දී අවසාන අදියර පැවැත්වුණි. අවසාන අදියරට පැමිණෙන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියේ ෆීජී දූපත් සමූහයයි. ඒ ප්‍රසාද ලකුණු 167 ක් ලබාගනිමින්ය. ප්‍රසාද ලකුණු 160 ක් ලබාසිටි දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවූ අතර ප්‍රසාද ලකුණු 133 ක් ලබාසිටි නවසීලන්තය තෙවැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මෙවර ශූරතාවය සඳහා දකුණු අප්‍රිකාව සහ ෆීජී දූපත් අතරෙහි තියුණු සටනක් තිබුණි.

පැරීසියේ පැවති අවසාන හෙවත් 10 වැනි අදියරේ මූලික වටයේ ඒ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමිකරගත් ෆීජී දූපත්, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, කැනඩාව, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ඇ.එ.ජ සහ එංගලන්තය “ශූරතා කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මූලික වටයේ ඒ ඒ කාණ්ඩයේ 3,4 වැනි ස්ථාන හිමිකරගත් කෙන්යාව, සැමෝආ දූපත්, ස්කොට්ලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව, වේල්සය, ප්‍රංශය සහ ආර්ජෙන්ටිනාව “අභියෝගතා ශූරතාවය” වෙනුවෙන් ක්‍රීඩා කරන ලදී.

ඒ අනුව අභියෝගතා ශූරතාවයේ අවසාන මහා තරඟයේ දී ආර්ජෙන්ටිනාව විසින් 33-26 ක් ලෙසින් වේල්සය පරාජය කර අභියෝගතා ශූරතාවය හිමිකරගන්නා ලදී. 13 වැනි ස්ථානය සඳහා වූ අවසාන මහා තරඟයේ දී කෙන්යාව විසින් ජයගත්තේ 21-20 ක් ලෙසින් ස්කොට්ලන්තය පරාජය කරමිනි.

“දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරඟයේ අවස්තාවක්” (Mike Lee-KLS Photos for World Rugby)

මෙවර අදියරේ කුසලාන ශූරතාවයේ 5 වැනි ස්ථානය සඳහා වූ තරඟයේ දී 28-7 ක් ලෙසින් ඇ.එ.ජ පරාජය කල ෆීජී දූපත් කණ්ඩායම මෙවර අදියරේ 5 වැනි ස්ථානය හිමිකරගත් නමුත් ඒ අනුව යම් හෙයකින් මෙවර අදියර දකුණු අප්‍රිකාව විසින් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට මෙවර සමස්ත ශූරතාවය හිමිකරගැනීමට හැකියාවක් තිබුණි. ( එම කණ්ඩායම් දෙක අතර ප්‍රසාද ලකුණු 7 ක පරතරයක් තිබූ අතර 5 වැනි ස්ථානය සඳහා පිරිනමන්නේ ලකුණු 13 කි. ශූරතාවය දිනූ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 22 ක් පිරිනැමේ.)

කුසලාන ශූරතා අර්ධ අවසන් පූර්ව වටයේ දී 10-15 ක් ලෙසින් ස්පාඤ්ඤය සහ අවසන් පූර්ව වටයේ දී 24-12 ක් ලෙසින් නවසීලන්තය පරාජය කල දකුණු අප්‍රිකාව කුසලාන ශූරතාවයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීය. කුසලාන ශූරතාවය වෙනුවෙන් අවසාන මහා තරඟය පැවැත්වුනේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. තරඟය මුල සිටම ඉතා උණුසුම් විය. (සත් සාමාජික රග්බි තරඟයකට මිනිත්තු 14 ක් තිබේ. එක් අර්ධයකට මිනිත්තු 7 කි.)

“දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයින් ශූරතාවය අතැතිව” (Mike Lee-KLS Photos for World Rugby)

තරඟයේ පළමු අර්ධය නිමා වනවිට දෙපිලම ලකුණු 14 බැගින් ලබා සම තත්වයේ පසුවිය. නමුත් දෙවැනි අර්ධයේ  දී දකුණු අප්‍රිකාව විසින් තවත් ලකුණු 10 ක් එක් කරගැනීමට සමත් වූවත් එංගලන්තයට දෙවැනි අර්ධයේ දී ලකුණු හිමිකරගැනීමට නොහැකිවිය. ඒ අනුව 24-14 ක් ලෙසින් අදියරෙහි අවසාන මහා තරඟය ජයගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමස්ත ශූරතාවයද හිමිකරගැනීමට සමත්විය. අවසාන මොහොතේ දී ශූරතාවය දිනූ නිසා එම අවස්තාව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට ඉතා හැඟීම්බර මොහොතක් ද විය. ඒ අනුව පැරීසියේ පැවති අදියර පමණක් නොව ප්‍රසාද ලකුණු 182 ක් හිමිකරගනිමින් සමස්ත තරගාවලියෙහිම ජය හිමිකරගැනීමටත් දකුණු අප්‍රිකානු සත් සාමාජික රග්බි කණ්ඩායමට හැකිවිය. සමස්ත තරගාවලියෙහි දෙවැනි ස්ථානය දිනූ ෆීජී කණ්ඩායම ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 180 කි.

ලකුණු සටහන (worldrugby.org)

මෙවර තරගාවලියෙහි සියලුම අදියර වලදී එක් එක් කණ්ඩායම ලැබූ ප්‍රසාද ලකුණු ඉහත රූපයෙන් දක්වා ඇති අතර ඉහත දක්වා ඇති ප්‍රසාද ලකුණු ලබාදෙන ක්‍රමය මෙම වගුව අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත. මෙවර පැරීසියේ පැවති අදියරෙහි හොඳම ක්‍රීඩකයා ලෙසින් ස්කොට්ලන්තයේ රොබී ෆර්ගසන් සම්මාන ලැබූ අතර 2017/18 තරගාවලියේ සියලුම අදියර වලදී හොඳම ක්‍රීඩකයා ලෙසින් කැනඩාවේ ජස්ටින් ඩග්ලස් සම්මාන ලැබීය. 2017/18 තරගාවලියෙහි වැඩිම උත්සාහක දිනුම් වාර්තා කල ක්‍රීඩකයා වූයේ ඇ.එ.ජ කාලින් අයිල්ස් ය. අවසාන මහා තරඟයේ වීරයා බවට පත්වූයේ දකුණු අප්‍රිකාවේ ඩේවන්ඩ් හියුමන් ය.

Cover- David Becker/Getty Images

Related Articles