Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 45 වැනි තරගය මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව  සහ දකුණු අප්‍රිකාව අතර යි. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එම ස්ථානය තහවුරු කරගැනීම සඳහා මෙම තරගය ජයග්‍රහණය කළ යුතු යි. එම නිසාම ඔවුන් තරගයට අවතීර්ණ වන්නේ ජයග්‍රහණයක් ලබාගැනීමේ බලාපොරොත්තුව ඇතිව යි. එසේම 1992 වසරෙන් පසුව ලෝක කුසලාන තරගයක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ජයග්‍රහණයක් ලබා නොමැති දකුණු අප්‍රිකානු කණ්ඩායමත් මෙවර සටනට පිවිසෙන්නේ ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා යි. එවැනි වටපිටාවක පැවැත්වෙන මෙම තරගය කරට කර සටනක් විය හැකි නිසාම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා  ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 5 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණ 3ක් ලබාගන්නා විට දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය කිරීමට ලැබුණේ  එක් අවස්ථාවක් පමණ යි. 

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් හිමිවුණේ කෙප්ලර් වෙසල්ස් ලබාගත් ලකුණු 81 නිසා යි.

ඕස්ට්‍රේලියාව – 170/9 (49)

දකුණු අප්‍රිකාව – 171/1 (46.5)

දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක් 

1992 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරග 2ක දී හමුවුණා. එහිදී සුපිරි 6 වටය යටතේ පැවැත්වුණු තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජය හිමිවුණේ නායක ස්ටීව් වෝ ලබාගත් අගනා ශතකය හේතුවෙන්. ඉන්පසුව මෙම කණ්ඩායම් දෙක 2 වැනි අවසන් පූර්ව තරගයේ දී නැවතත් හමුවුණා. එහිදී තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණේ ලෝක කුසලාන ඉතිහාසයේ එවැනි සිදුවීමක් සිදුවුණු මුල්ම අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වෙමින්. එදා තරගයේ ලකුණු සම වීම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණේ සුපිරි 6 වටය යටතේ පැවති තරගය ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම නිසා යි.

සුපිරි 6 වටයේ තරගය 

දකුණු  අප්‍රිකාව – 271/7 (50)

ඕස්ට්‍රේලියාව- 272/5 (49.4)

ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක් 

අවසන් පූර්ව තරගය

ඕස්ට්‍රේලියාව – 213/10 (49.2)

දකුණු අප්‍රිකාව – 213/10 (49.4)

තරගයේ ලකුණු සම වුණා  

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් 2007 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවරක් තරග කළා. එහිදී මූලික වටය යටතේ පැවැත්වුණු තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජය හිමිවුණේ මැතිව් හේඩ්න් පන්දු 67කින් ලබාගත් වේගවත් ශතකය නිසා යි. ඉන්පසුව මෙම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකානු පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවුණේ කඩුලු 7ක ජයක්.

මූලික වටයේ  තරගය

ඕස්ට්‍රේලියාව – 377/6 (50)

දකුණු අප්‍රිකාව – 294/10 (48)

ඕස්ට්‍රේලියාවට ලකුණු 83ක ජයක් 

අවසන් පූර්ව තරගය

දකුණු අප්‍රිකාව – 149/10 (43.5)

ඕස්ට්‍රේලියාව – 153/3 (31.3)

ඕස්ට්‍රේලියාවට කඩුලු  7ක ජයක් 

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය පිළිබඳව දත්තයන් 

මෙම තරගාවලිය යටතේ අවසන් වරට මෙම පිටියේ පැවති තරග 4 දීම මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 265 සීමාව ඉක්මවා ගියා. එසේම එංගලන්ත නායක ඔයින් මෝගන් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම හමුවේ හයේ පහර 17ක් සමගින් ලකුණු 148ක් ලබාගත්තේ මෙම පිටියේ දී යි. එම නිසාම බොහෝ විට මෙම තරගය සඳහා සකසන තණතීරුවත් පිතිකරුවන්ට අපහසුවකින් තොරව පන්දුවට පහරදිය හැකි තණතීරුවක් වනු ඇති.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 9 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග 7න් 5ක් ජයග්‍රහණය කළේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. බොහෝවිට පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

අවසන් වසර 10 තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම පිටියේ දී තරග 6කට සහභාගි වී තිබෙනවා. එහිදී ඔවුන් එම තරග 6ම ක්‍රීඩාකර ඇත්තේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව යි. එම තරග 6 අතුරින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණ යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම පිටියේ අවසන් වරට ක්‍රීඩාකළ තරග 2ම ජයග්‍රහණය කර තිබුණත් අවසන් වරට ඔවුන් මෙම පිටියේ දී තරග කර තිබෙන්නේ 2003 වසරේ දී යි.

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-දකුණු  තරගය පිළිබඳව

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට පැවති එක්දින තරග අටෙන් 7ක ජයග්‍රහණය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට යි. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල තරග රටාවක නිරත වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම දුර්වල තරග රටාවක නිරත වුණා. එම නිසාම මෙම තරගය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles