Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – B කාණ්ඩය​

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ B කාණ්ඩය සුවිශේෂී වූයේ එහි ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන කණ්ඩායම් දෙකම ඇතුලත් වී තිබීම හේතුවෙන්. මීට අමතරව ඉරානය මෙන්ම මොරොක්කෝව ද මෙම කාණ්ඩයට ඇතුලත්ව සිටියා.

මෙම කාණ්ඩයේ මුල් තරග දෙක පැවතුනේ ජූනි 15 වන දා යි. සාන්ත පීටර්ස්බර්ග්හි ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයේ දී මොරොක්කෝව සහ ඉරානය අතර තරගය ද, සෝචි නගරයේ ෆිෂ්ට් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර තරගය ද පැවැත්වුණා.

ඉරානය සහ මොරොක්කෝව අතර තරගයට ඉරාන පිල පැමිණියේ නයිකි සමාගම විසින් ඔවුනට පාවහන් ලබා දීම අවසන් මොහොතේ ප්‍රතික්ෂේප කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට පසුව යි. මුලින් යම් තරගකාරී බවක් පෙන්නුම් කළ ද පසුව තරගය ඇල් මැරුණ ස්වරූපයක් ගත්තා. දෙවන අර්ධයේ දී ඉරානය ගෝලය වෙත කිසිදු පහරක් එල්ල කර තිබුණේ නැහැ.

ඉරාන – මොරොක්කෝ තරගය (Getty Images)

කෙසේ නමුත් අවසන් මොහොතේ දී, එනම් 90+5 වන විනාඩියේ දී ඉරානයට නිදහස් පහරක් ලැබුණ අතර එය ආරක්ෂා කිරීමට ගිය මොරොක්කෝවේ අසීස් බූඅඩූස් තම දැල වෙතටම පන්දුව යොමු කර ඉරානයට 1-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට උපකාර වුණා.

ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර තරගය බෙහෙවින් තරගකාරී මෙන්ම තීරණාත්මක වුණා. මෙහි ජයග්‍රාහකයා මෙම කාණ්ඩයෙහි පෙරමුණ ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිව තිබුණා. තරගයේ 4 වන විනාඩියේ දී පෘතුගාල නායක රොනාල්ඩෝ දඬුවම් පහරකින් ගෝලයක් ලබා ගත් අතර 24 වන විනාඩියේ දී දියේගෝ කොස්තා ස්පාඤ්ඤය වෙනුවෙන් ලකුණු සම කළා. 44 වන මිනිත්තුවේ දී ස්පාඤ්ඤ දැල් රකින දාවිත් දි හේ ගේ බරපතල අත්වැරදීමකින් රොනාල්ඩෝ දෙවන ගෝලය ලබාගත්තා.

ස්පාඤ්ඤයට එරෙහි තරගයේදී රොනාල්ඩෝ (Getty Images)

දෙවන අර්ධයේදී කොස්තා නැවත ලකුණු සම කළ අතර නාචෝ 58 වන විනාඩියේ දී ස්පාඤ්ඤය වෙනුවෙන් තුන්වන ගෝලය ලබාගත්තා. තරගය ස්පාඤ්ඤය ජයගනු ඇතැයි පෙනෙන්නට තිබිය දී, 88 වන විනාඩියේ දී රොනාල්ඩෝට නිදහස් පහරක් ලබා දෙනු ලැබුණා. එය මගින් ඔහු තෙවන ගෝලය ද ලබා ගත්තේ ලෝක කුසලානයක ගෝල ත්‍රිත්වයක් ලැබූ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වෙමින්. තරගය 3-3 ලෙස නිම වුව ද රොනාල්ඩෝට ලබා දුන් දඬුවම් පහර සහ 88 වන විනාඩියේ දී ලද නිදහස් පහර පිළිබඳ දැඩි වාද විවාද සිදු වුණා. ඒ ඔහු ව්‍යාජ රඟපෑමක් කොට නිදහස් පහරවල් ලබාගත් බව මතුවූ චෝදනා හේතුවෙන්.

මොරොක්කෝව ඉවතට​

ජූනි 20 වනදා මොරොක්කෝව සහ පෘතුගාලය මුණ ගැසුණේ මොස්කව් හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී යි. මොරොක්කෝවට තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ජය ගැනීම ඉතා වැදගත් වුණා. නමුත් තරගයේ 4 වන මිනිත්තුවේ දී රොනාල්ඩෝ ගෝලයක් ලබාගත් අතර ඉන් පසු එකදු ගෝලයක්වත් තරගය පුරාවට වාර්තා වූයේ නැහැ. ඒ අනුව මොරොක්කෝව මෙවර තරගාවලියෙන් ඊළඟ වටයට සුදුසුකම් නොලබා ඉවත් වූ පළමු පිල බවට පත් වුණා.

මොරොක්කෝ – පෘතුගාල තරගය​ (Getty Images)

කසාන් නගරයේ පැවැත්වුණ ඉරානය සහ ස්පාඤ්ඤය අතර වූ තරගයේ දී ඉරානය හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන් පරාජය වීම අවාසනාවන්ත ප්‍රතිඵලයක් සේ දක්වන්නට පිළිවන්. තරගයේ වාර්තා වූ එකම ගෝලය 54 වන මිනිත්තුවේ දී දියේගෝ කොස්තා විසින් වාර්තා කෙරුණේ ස්පාඤ්ඤයට ජයග්‍රහණය ලබා දෙමින්.

කාණ්ඩයේ පළමු ස්ථානය​

අවසන් තරග දෙක වෙත පැමිණෙද්දී මොරොක්කෝව තරගාවලියෙන් ඉවත්ව තිබුණ අතර ඉරානයට​, පෘතුගාලය සමග තරගය ජය ගතහොත් ඊළඟ වටයට සුදුසුකම් ලැබිය හැකි වුණා. යම් හෙයකින් ස්පාඤ්ඤය මොරොක්කෝවට පරාජය වී ඉරානයට පෘතුගාලය පරාජය වූයේ නම් ස්පාඤ්ඤය ද තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමක පසු වුණා. මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමුවෙනියට පැමිණෙන කණ්ඩායම 16 දෙනාගේ වටයේ දී මුහුණ දිය යුතු වූයේ A කාණ්ඩයේ දෙවන ස්ථානය ගත් පිල යි. මේ වන විට ද එම ස්ථානය රුසියාවට ලැබී තිබුණා. A කාණ්ඩය ජයගත්තේ උරුගුවේ පිල යි. ඒ අනුව B කාණ්ඩය ජයගන්නා පිලට  වඩා පහසු ප්‍රතිවාදියා 16 වන වටයෙ දී මුණ ගැසීමට නියමිතව තිබුණා.

ජූනි 25 රාත්‍රියේ පෘතුගාලය සහ ඉරානය සරාන්ස්ක් නගරයේදී ද, මොරොක්කෝව සහ ස්පාඤ්ඤය කලිනින්ග්‍රාද් නගරයේ දී ද තරග වැදුණා. මෙම තරග දෙකම බලාපොරොත්තු නොවූ අයුරින් ජය පරාජයෙන් තොරව නිම වුණා.

රොනාල්ඩෝට මග හැරුණ දඬුවම් පහර (Getty Images)

පෘතුගාලයේ රිකාර්ඩෝ කරෙස්මා 45 වන විනාඩියේ දී ලබාගත් ගෝලයකින් ඔවුන් 1-0ක් ලෙස ඉදිරියට පැමිණි අතර 53 වන මිනිත්තුවේ දී රොනාල්ඩෝ එල්ල කළ දඬුවම් පහරක් ඉරාන දැල් රකින අලිරෙසා බේරන්වද් විසින් වළකාලනු ලැබුණා. මෙයින් පසු ඉරානය තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළ අතර 90+3 වන විනාඩියේදී කරීම් අන්සරිෆාද් දඬුවම් පහරක් මගින් ගෝලයක් වාර්තා කළේ එම පිලට  ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ලබා දෙමින්. ඉන් සුළු මොහොතකට පසු තවත් ගෝලයක් ලබා ගැනීමේ අවස්ථාව යන්තමින් මඟහැරී ගිය අතර යම් හෙයකින් එම ගෝලය ඉරානයට ලබාගත හැකි වී නම් පෘතුගාලය තරගාවලියෙන් ඉවත් වීමට ඉඩ තිබුණා.

මේ අතර අනෙක් තරගයේ දී ද ස්පාඤ්ඤයට මොරොක්කෝවෙන් බලාපොරොත්තු නොවූ ප්‍රතිරෝධයක් එල්ල වුණා. ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ගේ වරදකින් අවස්ථාවක් ලබාගත් කාලිඩ් බූටයිබ් 14 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළේ ස්පාඤ්ඤ පිල බලාපොරොත්තු නොවූ පරිද්දෙන්.

ස්පාඤ්ඤ – මොරොක්කෝ තරගය (Getty Images)

නමුත් 19 වන විනාඩියේදී ඉනියෙස්ටා විසින් කළ මනරම් පන්දු යොමු කිරීමක් ඉස්කෝ විසින් ගෝලයක් බවට පත් කරගත් අතර ලකුණු සංඛ්‍යාව 1-1ක් ලෙස සම වුණා. ඉන් පසු තරගයේ හොඳම අවස්ථාවක් ලබාගත්තේ මොරොක්කෝවේ නෝර්ඩින් අම්රබාට්. ඔහු 55 වන විනාඩියේදී ඈත සිට එල්ල කළ පහරක් ගෝල රකින දාවිද් දි හේ ගේ හිසට ඉහළින් ඇදී ගොස් දැලෙහි තිරස් දණ්ඩෙහි වැදුණේ මොරොක්කෝ පිලෙහි අවාසනාවට යි.

තරගයේ 81 වන විනාඩියේ දී කොන් පහරක් ගෝලය වෙත එල්ල කරමින් යූසෙෆ් එන්-නෙස්යිරි මොරොක්කෝව ඉදිරියට ගෙන ආ අතර ස්පාඤ්ඤය පරාජය වීමේ අවදානමට පත් වුණා. එයින් ඔවුන් ගලවා ගත්තේ 90+1 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළ ඉයාගෝ අස්පාස් විසින්.

මේ අනුව ස්පාඤ්ඤය B කාණ්ඩයේ පෙරමුණට පැමිණි අතර පෘතුගාලය දෙවන ස්ථානයට පැමිණියා.

B කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා

Cover Image: මොරොක්කෝ පිල (Getty Images)

Related Articles