Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ පෙර විමසුම

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී නිතරම උරෙනුර ගැටුණු කණ්ඩායම් දෙකක්. මුල් යුගයේ පැවතුණු ලෝක කුසලාන තරගාවලිවල දී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව දරුණු පරාජයන් ලැබුවත් පසු යුගයේ දී එම තත්ත්වය වෙනස් වුණා. එම නිසාම අවසන් වසර 20 තුළ එංගලන්තයට ශ්‍රී ලංකාව හමුවේ එක්දින ලෝක කුසලාන ජයක් ලැබීමට නොහැකි වුණා. එලෙස පසුගිය කාල සමය තුළ ශ්‍රී ලංකාව වෙතින් ලෝක කුසලානවල දී දරුණු පරාජයන් උරුම කරගත් එංගලන්තය මෙවර තරග බිමට පිවිසෙන්නේ එහි වාඩුව ගැනීමට යි. එසේම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වන එංගලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් වනවා සේම ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට මෙම ජයග්‍රහණය අවශ්‍යම එකක්. එම නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය  අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරගය පිළිබඳව ලියැවුණු පෙර විමසුම මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-එංගලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 10ක දී  තරග කර තිබෙනවා. එහි දී එංගලන්ත කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණයි. නමුත් එංගලන්ත කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 1999 තරගාවලියේ දී යි.

මෙම කණ්ඩායම් දෙක 1983 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී දෙවරක් තරග වැදුණා. එම තරගවල දී එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් ගවර් ලබාගත් ලකුණු 130 මෙන්ම වික්ටර් මාක්ස් ලකුණු 39කට ලබාගත් කඩුලු 5 අමතක කරන්න බැහැ.

එංගලන්තය – 333/9 (60)
ශ්‍රී ලංකාව – 286/10 (58)

එංගලන්තයට ලකුණු 47ක ජයක්

ශ්‍රී ලංකාව – 136/10 (50.4)
එංගලන්තය – 137/1 (24.1)

එංගලන්තයට කඩුලු 9ක ජයක්

ඩේවිඩ් ගවර්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

1987 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දී නැවතත් මෙම කණ්ඩායම් දෙක දෙවරක් තරග කළා. එහිදී ග්‍රැහැම් ගුච් දක්ෂ ලෙස පන්දුවට පහරදුන් නිසා එම තරග 2ම ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායම යි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවන එක්දින තරගයේ දී රෝයි ඩයස් ලබාගත් ලකුණු 80 වාර්තාගත් ඉනිමක් බවට පත්වුණා. එදා සිය අවසන් එක්දින තරගය සඳහා ක්‍රීඩා කරමින් රෝයි ලබාගත් එම ලකුණු 80 අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා පොත් අතර අදටත් රැඳී තිබෙනවා.

එංගලන්තය – 296/4 (50)
ශ්‍රී ලංකාව – 158/8 (45)

එංගලන්තයට ලකුණු 109ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

ශ්‍රී ලංකාව – 218/7 (50)
එංගලන්තය – 219/2 (41.2)

එංගලන්තයට කඩුලු 8ක ජයක්

බිල් ඇතී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය වීමට සිදුවුණේ ක්‍රිස් ලුවිස් ලකුණු 30කට කඩුලු 4ක් ලබාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි.

එංගලන්තය – 280/6 (50)
ශ්‍රී ලංකාව – 174/10 (44)

එංගලන්තයට ලකුණු 106ක ජයක්

1992 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම 1996 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී හමුවුණු අවස්ථාවේ සනත් ජයසූරිය පන්දු 44කින් ලබාගත් වේගවත් ලකුණු 82 නිසා එංගලන්ත කණ්ඩායමට අත්වුණේ දරුණු පරාජයක්.

එංගලන්තය – 235/8 (50)
ශ්‍රී ලංකාව – 236/5 (40.4)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

සනත් ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී නැවතත් මෙම කණ්ඩායම් දෙක තරග වැදුණා. එහිදී ඇලන් මුලාලි ලබාගත් කඩුලු 4 මෙන්ම ස්ටුවර්ට් සහ හුසේන් ලබාගත් අර්ධ ශතක නිසා ශ්‍රී ලංකාවට අත්වුණේ දරුණු පරාජයක්

ශ්‍රී ලංකාව – 204/10 (48.4)
එංගලන්තය – 207/2 (46.5)

එංගලන්තයට කඩුලු 8ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් තරග කළා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ දිල්හාර ප්‍රනාන්දු ගේ දක්ෂ පන්දු යැවීම නිසා යි.

ශ්‍රී ලංකාව – 235/10 (50)
එංගලන්තය – 233/8 (50)

ශ්‍රී ලංකාවට  ලකුණු 2ක ජයක්

දිල්හාර අවසන් පන්දුවේ දී රවී බෝපරාව දවාගත් අවස්ථාව (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. එහිදී  ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක් හිමිවුණේ දිල්ෂාන් සහ තරංග ගොඩනැගූ ලකුණු 231ක නොබිඳුණු සබඳතාවය නිසා යි.

එංගලන්තය – 229/6 (50)
ශ්‍රී ලංකාව – 231/0 (39.3)

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

දිල්ෂාන් සහ තරංග පන්දුවට පහරදෙමින් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක තරග වැදුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී යි. එම තරගයේ දී තිරිමාන්න සහ සංගක්කාර නොදැවී ලබාගත් ශතක නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වුණේ කඩුලු 9ක පහසු ජයක්.

එංගලන්තය – 309/6 (50)
ශ්‍රී ලංකාව – 312/1 (47.2)

ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්

2015 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

ලීඩ්ස් නුවර හෙඩිංලි පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 8 තුළ හෙඩිංලි තණතීරුව වඩාත් යෝග්‍ය වුණේ පිතිකරුවන්ට යි. අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු දිවා තරග 5හි මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 302ක්. එම නිසාම මෙම තරගයේ දීත් පිතිකරුවන්ට සිය සුපුරුදු දස්කම් හැකිවනු ඇති.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

හෙඩිංලි පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 5 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම හෙඩිංලි පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 5 දී කාසියේ වාසිය දිනූ නායකයන් අවස්ථාවන් 3ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් කාසියේ වාසිය දිනාගන්නා නායකයේ තීරණය එය වීමට ඇති ඉඩ වැඩි යි.

හෙඩිංලි පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම පිටියේ දී එංගලන්තය අවසන් වරට එක්දින තරගයක් පරාජය වුණේ 2011 වසරේ දී යි. එහිදී එංගලන්තය පරාජයට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ යි. මෙම පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 2ම ජයග්‍රහණය කළා. එසේම මෙම පිටියේ දී පිතිකරුවෙකු වාර්තා කළ හොඳම ඉනිමේ හිමිකරු වන්නේ සනත් ජයසූරිය යි. ඔහු 2006 වසරේ එංගලන්තයට එරෙහිව පන්දු 99කි න් ලකුණු 152ක් ලබාගෙන එම වාර්තාව ඔහු සතු කරගත්තා.

සනත් ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මෙවර ශ්‍රී ලංකා-එංගලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එක්දින තරගාවලියක දී හමුවුණේ 2018 වසරේ දී යි. එම තරගාවලිය 3-1ක් ලෙස ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායම යි. මෑත යුගයේ ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණු ප්‍රබලම එංගලන්ත කණ්ඩායම මෙය නිසා මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ ඉතාමත් අඩු අවස්ථාවක්.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles