Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 පිටියේ වාර්තා අලුත් කළ චමීරගේ දස්කම්

තරග 3කින් සමන්විත ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලිය ධර්මශාලා හි දී පෙබරවාරි 27 වැනිදා නිමාව දුටුවා. එම තරගාවලියෙන් තරග 3-0ක ජයක් හිමි වුණේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට යි.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂ්‍රෙයාස් අයියර් පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔහු තරග තුනේ දී ම නොදැවී අර්ධ ශතක වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ජයග්‍රාහී කුසලානය සමඟ- pahlinews.com

 

එසේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ තරගාවලිය අතරතුර දුෂ්මන්ත චමීර නව 20/20 ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීමට සමත් වීම කාගේත් අවධානය දිනා ගත් සිදුවීමක් වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමේ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

චමීර 20/20 පිටියේ වාර්තාවක් අලුත් කරයි 

පසුගිය කාලයේ  ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ වේග පන්දු යවන්නන් අතර දුෂ්මන්ත චමීර ඉදිරියෙන් ම සිටියා. නිමා වුණු ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ දී ඔහුගේ පන්දු හමුවේ ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා දෙවරක් දැවී ගියා. ඒ අනුව 20/20 තරගවල දී රෝහිත් ඔහුට 6 වාරයක් ගොදුරු ව තිබෙනවා. එය 20/20 තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් යම් පිතිකරුවකු දවාගත් වැඩි ම වාර ගණන ලෙසින් වාර්තා අතරට එක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ 20/20 තරගවල දී එකම පිතිකරුවා වැඩි ම වාර ගණනක් දවා ගත් පන්දු යවන්නන් පිළිබඳව යි. 

1) පන්දු යවන්නා- දුෂ්මන්ත චමීර (ශ්‍රීලංකාව)

    පිතිකරුවා- රෝහිත් ෂර්මා (ඉන්දියාව)

    ඉනිම් 12කදී 6 වතාවක් 

2) පන්දු යවන්නා- බිලාල් ඛාන් (ඕමානය)

    පිතිකරුවා- මොහොමඩ් ෂසාඩ් (ඇෆ්ගනිස්ථානය)

    ඉනිම් 4කදී 4 වතාවක් 

3) පන්දු යවන්නා- රුබෙල් හුසේන් (බංග්ලාදේශය)

    පිතිකරුවා- සුරේෂ් රයිනා (ඉන්දියාව)

    ඉනිම් 4කදී 4 වතාවක් 

චමීරගේ පන්දුවක් හමුවේ රෝහිත් දැවීගිය අවස්ථාවක් – espncricinfo.com

 

ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ තොරතුරු

2022 ඉන්දු-ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ වීමට පෙර වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනා අසනීප වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දෙදෙනාට මෙම තරගාවලිය අහිමි වුණා. එනිසා ශ්‍රී ලංකා පන්දු බළඇණිය දුර්වල තත්ත්වයකට පත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙසින් පරාජය වීමට බලපෑ හේතුව එය යි.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ  අංශයේ දුර්වලතාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දීය පිතිකරු ෂ්‍රෙයාස් අයියර් නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔහු ලබා ගත් ලකුණු ප්‍රමාණ 57* (28), 74* (44), 73* (45) ලෙසින් සටහන් වුණා. එසේ ඉන්දීය පිතිකරුවන් දස්කම් අතරට පැමිණෙද්දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමත් මෙවැනි පරාජයක් උරුම වීමට බලපෑමක් කළා. 

ෂ්‍රෙයාස් අයියර් පන්දුවට පහරදෙමින්- espncricinfo.com

 

මෙවර ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ දී කාගේත් අවධානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වුණේ නායක දසුන් ශානක යි. ඒ ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිම් ද්විත්වය නිසා යි.

එහි දී දෙවන තරගයේ දී පන්දු 19කින් නොදැවී ලකුණු 47ක් ලබාගත් දසුන් තෙවන තරගයේ දී පන්දු 38කින් නොදැවී ලකුණු 74ක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ වාගේම දෙවන 20/20 තරගයේ දී ලකුණු 75ක් ලබා ගනිමින් පැතුම් නිස්සංක සුපිරි පිතිහරඹයක නිරත වුණා.

ශානක පිත්තෙන් දස්කම් දක්වමින් – espncricinfo.com

 

දෙවන 20/20 තරගයේ අවසන් පන්දුවාර 4දී ශ්‍රී ලංකාව ලකුණු 72ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් 20/20 තරගයක අවසන් පන්දුවාර 4දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට පෙර ශ්‍රී ලංකාව 2007 දී කෙන්යාවට එරෙහිව ලකුණු 66ක් ලබාගෙන තිබුණා. ඒ වාගේම ඉන්දීය කණ්ඩායම 20/20 තරගයක අවසන් පන්දුවාර 4දී ලබාදුන් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් මෙය වාර්තා අතරට එක් වුණා. ඊට පෙර දකුණු අප්‍රිකාව ඔවුන් හමුවේ ලකුණු 71ක් ලබාගෙන තිබුණා. ඒ 2012 දී පැවති 20/20 තරගයක් අතරතුර යි. පහතින් දක්වා තිබෙන්නේ නිමා වුණු ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ තරග ප්‍රතිඵල යි. 

ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ දරුණු ප්‍රහාරයකට ලක් වුණු හර්ෂාල් පටෙල් – espncricinfo.com

 

1) පළමු තරගය- ඉන්දියාවට ලකුණු 62ක ජයක් 

ඉන්දියාව- 199/2 (20)

ශ්‍රී ලංකාව- 137/6 (20) 

තරගයේ වීරයා- ඉෂාන් කිශාන් (ලකුණු 89- පන්දු 56)

2) දෙවන තරගය- ඉන්දියාවට කඩුලු 7ක ජයක් 

ශ්‍රී ලංකාව- 183/5 (20)

ඉන්දියාව- 186/3 (17.1) 

තරගයේ වීරයා- ෂ්‍රෙයාස් අයියර් (ලකුණු 74*- පන්දු 44)

3) තෙවන තරගය- ඉන්දියාවට කඩුලු 6ක ජයක් 

ශ්‍රී ලංකාව- 146/5 (20)

ඉන්දියාව- 148/4(16.5) 

තරගයේ වීරයා- ෂ්‍රෙයාස් අයියර් (ලකුණු 73*- පන්දු 45)

තරගාවලියේ වීරයා- ෂ්‍රෙයාස් අයියර් (ලකුණු 204- 117)

2022 IPL තරගාවලියේ වෙනස්කම් රැසක්

2022 IPL තරගාවලිය මාර්තු 26 වැනිදා ආරම්භ වන බව පසුගිය දිනයක නිවේදනය කෙරුණා. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් එකතු වී තිබෙන නිසා මූලික වටයේ තරග ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ඒ වාගේ ම තරග පැවැත්වෙන්නේ වෙනස් ක්‍රමවේදයක් යටතේ යි. එහි දී මේ සඳහා සහභාගි වන කණ්ඩායම් 10 කාණ්ඩ 2කට බෙදා තිබෙනවා. එසේ කාණ්ඩ 2ක් වෙන් කර තිබෙන්නේ මූලික වටයේ තරග පැවැත්වීම පහසුවෙන් සිදුකිරීම සඳහා යි. පහතින් දක්වා ඇත්තේ කාණ්ඩ වෙන් කර තිබෙන ආකාරය යි.

A කාණ්ඩය 

1) මුම්බායි ඉන්දියන්ස් 

2) කොල්කටා නයිට් රයිඩර්ස් 

3) රාජස්තාන් රෝයල්ස් 

4) දිල්ලි කැපිටල්ස් 

5) ලක්නව් සුපර්ජයන්ට්ස් 

B කාණ්ඩය 

1) චෙන්නායි සුපර්කිංග්ස් 

2) සන්රයිසස් හයිද්‍රාබාද්

3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් 

4) පන්ජාබ් කිංග්ස් 

5) ගුජරාට් ටයිටන්ස් 

IPL කුසලානය  – cricketaddictor.com

 

මෙවර තරගාවලියේ මූලික තරග වටයේ දී සෑම කණ්ඩායමක් ම තම කාණ්ඩයේ සිටින අනිකුත් කණ්ඩායම් සමඟින් තරග 2 බැගින් ක්‍රීඩා කරනවා. ඒ වාගේම ප්‍රතිවිරුද්ධ කාණ්ඩයේ කණ්ඩායම් 5න් 4ක් සමඟ තරගය බැගින් ක්‍රීඩා කරනවා. එම කාණ්ඩයේ ඉතිරි කණ්ඩායම සමඟින් තරග 2ක් ක්‍රීඩා කරනවා.

එවිට සෑම කණ්ඩායමකට ම මූලික වටයේ දී තරග 14කට සහභාගි වීමට අවස්ථාව හිමි වෙනවා. ඒ අයුරින් තරගාවලිය පැවැත්වෙද්දී මූලික වටය යටතේ තරග 70ක් ක්‍රීඩා කරනවා. අවසන් වරට මේ ආකාරයට මූලික වටයේ තරග ක්‍රියාත්මක වුණේ 2011 IPL තරගාවලියේ දී වීම විශේෂත්වයක්. 

IPL නිල ලාංඡනය – colombotimes.net

පසුගිය IPL තරගාවලිවල දී ක්‍රීඩාංගණ රැසක මූලික වටයේ තරග පැවැත්වුණා. නමුත් මෙවර තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 4ක් ආශ්‍රිතව යි. එයිනුත් තරග 55ක් මුම්බායි නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණ 3කදී පැවැත්වෙනවා. ඉතිරි තරග 15 පූනේ හි දී පැවැත්වෙනවා. අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. පහතින් දක්වා තිබෙන්නේ මූලික වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව යි.

1) වන්කඩේ ක්‍රීඩාංගණය (මුම්බායි)- තරග 20

2) DY පටිල් ක්‍රීඩාංගණය (මුම්බායි)- තරග 20

3) බ්‍රැබ්‍රෝන් ක්‍රීඩාංගණය (මුම්බායි)- තරග 15

4) MCA ක්‍රීඩාංගණය (පූනේ)- තරග 15 

වන්කඩේ ක්‍රීඩාංගණය – gettyimages.com

 

ශ්‍රී ලංකා පාපන්දු තරුවක් අවසන් ගමන් යයි 

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වන ඩක්සන් පුස්ලස් පසුගිය දිනක, මාලදිවයිනේ දී අවසන් ගමන් ගියා. 31 හැවිරිදි මෙම ක්‍රීඩකයා මාලදිවයිනේ වැලෙන්සියා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එරට ලීග් පාපන්දු තරගාවලියකට ක්‍රීඩා කරමින් සිටිය දී මෙම අවාසනාවන්ත මරණය සිදුවුණා.

2018 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වුණු පුස්ලස් ගෙවුණු වසර 3ක කාලය තුළ සිය රට නියෝජනය කරමින් තරග 21කට සහභාගි වුණා. එහි දී ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කළ පුස්ලස් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා ඔහුගේ නික්ම යාම මෙරට පාපන්දු ක්‍රීඩාවට පිරිමැසිය නොහැකි පාඩුවක්.

ඩක්සන් පුස්ලස් – thepapare.com

කවරයේ ඡායාරූපය- දුෂ්මන්ත චමීර - espncricinfo.com 

මූලාශ්‍ර:

espncricinfo.com

iplt20.com

howstat.com 

Related Articles