Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් බිමේ දස්කම් පෑ ශ්‍රී ලාංකිකයෝ

2022 එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ දී ඇරඹුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න සහ සුරංග ලක්මාල් එහි දී පිළිවෙළින් යෝක්ෂයර් සහ ඩර්බිෂයර් යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීමට වරම් ලබා ගත්තා. ඒ අතුරින් සුරංග ලක්මාල් පන්දුවෙන් දැක්වූ දක්ෂතා කැපී පෙනුණා. 

ලක්මාල් ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

ගෙවුණු සියවස් 3ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළා. අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, තිලකරත්න දිල්ෂාන්, කුමාර් සංගක්කාර, චමින්ද වාස්, ලසිත් මාලිංග, තිලාන් සමරවීර, දිල්හාර ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩකයන් ඒ අතරට අයත්. 

සනත් ජයසූරිය සමර්සෙට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් – gettyimages.com

 

එම ක්‍රීඩකයන් අතුරින් කිහිපදෙනෙක් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග බිමේ දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. මෙම ලිපිය එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ඉතිහාසයේ දස්තම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් පිළිබඳ යි. 

1). අරවින්ද ද සිල්වා (කෙන්ට්)- 1995 තරග වාරය 

90 දශකයේ දී ලෝක ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලත ම පිතිකරුවෙක් වුණු අරවින්ද ද සිල්වා එකල සිටි දක්ෂත ම පන්දු යවන්නන් හමුවේ පවා සුපිරි පිතිහරඹයක නිරත වුණා. එම සුවිශේෂී දස්කම් හේතුවෙන් 1995 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමට  ඔහුට වරම් හිමි වුණා. එහි දී ඔහු ආදේශ කළේ බටහිර ඉන්දීය ක්‍රිකට් තරුවක් වුණු කාල් හූපර් වෙනුවට යි. එවර ප්‍රාන්ත තරගාවලියේ පළමු තරගයේ දී අරවින්ද සුපුරුදු දස්කම් අතරට පිවිසියේ නැහැ. එනිසා ඔහු කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එක් කර ගැනීම වැරදි තීරණයක් යැයි ඇතැම් උදවිය දෝෂාරෝපණය කළා.

කාල් හූපර් (gettyimages.com) 

 

 ඉන් නොසැලුණු අරවින්ද සසෙක්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වුණා. එතැන් සිට ප්‍රතිවාදි පන්දු යවන්නන් අන්ත අසරණ කළ මෙම සුපිරි පිතිකරුවා එම තරග වාරය තුළ ඉනිම 30ක් ක්‍රීඩා කරමින් ශතක 7ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1781ක් ලබා ගත්තා.

එහි දී අරවින්දගේ පිතිකරණ සාමාන්‍යය 59.36ක් ලෙසින් සටහන් වුණා. එලෙස අරවින්ද ලබා ගත් ලකුණු 1781 එම තරග වාරයේ දී විදෙස් පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

අරවින්ද කෙන්ට් කණ්ඩායම සමඟ – gettyimages.com

 

එවර තරග වාරයේ දී අරවින්දගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළම ඉනිම බවට පත් වුණේ ඩර්බිෂයර් කණ්ඩායම හමුවේ ලබා ගත් ලකුණු 255 යි. එම ඉනිමේ දී ඔහු ග්‍රැහැම් කවුඩ්‍රි සමඟින් සිව්වන කඩුල්ල සඳහා වාර්තා ගත ලකුණු 368ක සබඳතාවක් ගොඩ නැඟුවා. ඉන් නොනැවතුණු අරවින්ද දෙවන ඉනිමේ දීත් යළි දස්කම් අතරට පිවිස ලකුණු 116ක් ලබා ගත්තා.

එම තරග වාරයේ දී අරවින්දගේ පිත්තෙන් නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි ව වාර්තා වුණු ලකුණු 225 ද විශිෂ්ට ගණයේ ඉනිමක් වුණා. ඊට අමතර ව ග්ලැමෝර්ගන් සහ යෝක්ෂයර් කණ්ඩායම් හමුවේ පිළිවෙළින් ලකුණු 135ක් සහ 115ක් ලබා ගත් අරවින්ද සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 102ක් රැස් කළා. 

1995 තරග වාරයේ කෙන්ට් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ අරවින්ද – gettyimages.com

 

1995 දී අරවින්ද කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් දැක් වූ සුවිශේෂී දස්කම් එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පවා සිත් තුළට තදින් ම කා වැදුණා. එනිසා 1999 දී එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී අරවින්ද  දැඩි ලෙස අසාර්ථක වුණු අවස්ථාවේ ඔහු කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් දැක්වූ හපන්කම් පිළිබඳ යළි සිහිපත් කිරීමට ඇතැම් එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමතක කළේ නැහැ.

එසේ අරවින්ද කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් ලබාගත් ලකුණු 1781 එදා මෙදාතුර ශ්‍රී ලාකිංක පිතිකරුවෙක් එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියක දී ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. 

අරවින්ද කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් – gettyimages.com

 

2). මුත්තයියා මුරලිදරන් (ලැංකෂයර්)- 1999 තරග වාරය 

1998 දී කෙනිංටන් ඕවල් පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක් හිමි වුණා. එහි දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වුණු මුත්තයියා මුරලිදරන් සමස්ත තරගයේ දී ලකුණු 220කට කඩුලු 16ක් බිඳ දැමුවා.

එලෙස දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් 1999 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී ලැංකෂයර් ප්‍රාන්තය නියෝජනය කිරීමේ අවස්ථාව මුරලිදරන්ට හිමි වුණා.

1998 ඕවල් ටෙස්ට් තරගයේ දී දස්කම් දැක්වූ මුරලිදරන් – gettyimages.com

1999 එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම යි. එහි දී ලැංකෂයර් කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස සිටි සුපිරි තරුව බවට පත් වුණු මුත්තයියා මුරලිදරන් තරග 7කට සහභාගි වෙමින් පන්දුවාර 386.2ක් යවමින් ලකුණු 777ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 66ක් බිඳ දැමීමට සමත් වුණා.

එම තරග වාරයේ දී මුරලිදරන්ගේ පන්දු යැවීමේ සාමාන්‍යය 11.77ක් ලෙසින් සටහන් වුණා. එසේ පන්දුවෙන් සුපිරි දස්කම් පෑ මුරලිදරන් තරග වාරයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙසින් වාර්තා අතරට එකතු වුණා. 

මුරලිදරන් ලැංකෂයර් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

එවර තරග වාරයේ දී මුරලිදරන් ඉනිමක කඩුලු 5 බැගින් අවස්ථා 8 කදීත්, තරගයක කඩුලු 10 බැගින් අවස්ථා 5 කදීත් වාර්තා කළා. එහි දී ඩාර්බිෂයර් කණ්ඩායම හමුවේ ලකුණු 39කට දවා ගත් කඩුලු 7 ඔහු ඉනිමක දී සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වුණා. වර්වික්ෂයර් කණ්ඩායම හමුවේ ලකුණු 117කට දවා ගත් කඩුලු 14 තරගයක දී සිදු කළ හොඳ ම පන්දු යැවීම බවට පත් වුණා.

ඊට අමතර ව මුරලිදරන් එසෙක්ස් කණ්ඩායම හමුවේ ලකුණු 134කට කඩුලු 13ක් දවා ගෙන සිදු කළ සුපිරි පන්දු යැවීම අමතක කරන්නට බැහැ. එදා මුරලිදරන් ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පෑ දස්කම් නිසා ඔහුට 2001, 2005 සහ 2007 යන වසරවල දීත් ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා.

ලැංකෂයර් කණ්ඩායම නියෝජනය කළ මුරලිදරන් – gettyimages.com

 

3). කුමාර් සංගක්කාර (සරේ)- 2017 තරග වාරය 

1999 තරග වාරයෙන් පසුව එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ආකෘතිය වෙනස් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2000 වසරේ සිට එම තරගාවලිය කාණ්ඩ දෙකකට වෙන් කළා. එහි දී ප්‍රබල කණ්ඩායම් 8 පළමු කාණඩයට ද,  ඉතිරි කණ්ඩායම් 10 දෙවන කාණ්ඩයට ද එකතු කළා.

අදටත් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක වන්නේ එම ආකෘතියට අනුව යි. පසුගිය වසර කිහිපය තුළ පළමු කාණ්ඩයේ රැඳී සිටි සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර 2015-2017 කාලයේ ක්‍රීඩා කළා. එහි දී සංගක්කාරගේ දස්කම් මතු වුණේ 2017 තරග වාරයේ දී යි.

සංගක්කාර සරේ කණ්ඩායම නියෝජනය කරමින් – gettyimages.com

 

එවර තරග වාරයේ දී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු සංගක්කාර තරග 10ක් තුළ ඉනිම 16කදී පන්දුවට පහර දෙමින් ශතක 8ක් සමඟින් ලකුණු 1491ක් ලබා ගත්තා.

එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 106.50ක් තරම් ඉහළ අගයක් ගත්තා. එම තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 200ක් ලබා ගැනීමට සමත් වුණා. එය එම තරග වාරයේ ඔහු ඉනිමක දී ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණා. 

එසෙක්ස් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකය ලබාගත් මොහොත – gettyimages.com

 

එහි දී සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහිව නොදැවී ලකුණු 180ක් සහ 164ක්, සමර්සෙට් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 157ක්, ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 136ක්, මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 120ක් සහ 114ක් (එකම තරගයක දී), වර්වික්ෂයර් ප්‍රාන්තයට එරෙහි ව ලකුණු 105ක් ලෙසින් ශතක වාර්තා කිරීමට සමත් වුණා. 

යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව දස්කම් දක්වමින් – gettyimages.com

 

එංගලන්ත ප්‍රාන්ත පළමු කාණ්ඩයේ තරග ඉතිහාසයේ එක් තරග වාරයක දී වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් විදෙස් පිතිකරුවා ලෙස සංගක්කාර ඉතිහාසගත වුණා. එපමණක් නොව එම තරග ඉතිහාසයේ තරග වාරයක දී ශතක 8ක් ලබා ගත් මුල් ම පිතිකරුවා ලෙස ද ඔහු වාර්තා පොත් අලුත් කළා.

ඉන් නොනැවතුණු සංගක්කාර පිතිකරණ සාමාන්‍යය 100කට වැඩියෙන් රඳවා ගෙන ලකුණු 1000ක් රැස් කළ එක ම ක්‍රීඩකයා බවට පත් ව සිටිනවා. එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ඉතිහාසයේ පළමු කාණ්ඩයේ එක් තරග වාරයක දී වැඩි ම ලකුණු ලබා ගත් පිතිකරුවන් පස් දෙනා පහතින් දක්වා තිබෙනවා.

1). මාකස් ට්‍රෙස්කොතික් (සමර්සෙට්)- ලකුණු 1673 (ඉනිම්- 23)- 2011 තරග වාරය 

2). කීටන් ජෙනින්ග්ස් (ඩර්හැම්)- ලකුණු 1548 (ඉනිම්- 28)- 2016 තරග වාරය 

3). ඇඩම් ලයිත් (යෝක්ෂයර්)- ලකුණු 1509 (ඉනිම්- 29)- 2010 තරග වාරය 

4). කුමාර් සංගක්කාර (සරේ)- ලකුණු 1491 (ඉනිම්- 16)- 2017 තරග වාරය 

5). ජේම්ස් හිල්ඩ්‍රෙත් (සමර්සෙට්)- ලකුණු 1440 (ඉනිම්- 23)- 2010 තරග වාරය 

මාකස් ට්‍රෙස්කොතික් 2011 තරග වාරයේ දී – gettyimages.com

 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව එසේ සුපිරි දස්කම් දැක්වූ සංගක්කාර ඒ වන විට 40 හැවිරිදි වියේ පසුවුණු බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.  සංගක්කාර එදා මෙදාතුර බිහිවුණු විශිෂ්ටත ම ටෙස්ට් පිතිකරුවෙක් බව ඔප්පු කිරීමට ඊටත් වඩා කදිම සාක්ෂියක් නැහැ. 

කවරයේ ඡායාරූපය- අරවින්ද 1995 දී කෙන්ට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com

Benson and hedges cricket year book- 1995 

Related Articles