Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන නවසීලන්ත කණ්ඩායම

නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන් ලෙස යි. පසුගිය කාල සමයේ කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ එක්දින ක්‍රිකට් පිටිය තුළ සාර්ථක ගමනක් ගිය කිවියන් මෙවර ලෝක කුසලානය සඳහා අවතීර්ණ වී ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් සමගිනුයි. එම නිසාම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉහළ දස්කම් දක්වනු ඇතැ යි අපේක්ෂිත කණ්ඩායම් අතුරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙසින් නවසීලන්තය හැඳින්වීමට පුලුවන්.

නවසීලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගී වුණු නවසීලන්ත කණ්ඩායම 1992 සහ 2015 ලෝක කුසලාන තරගාවලිවල දී  සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1975 සිට මේ දක්වා පැවති තරගාවලි 11 තුළ තරග 79කට මුහුණ දුන් නවසීලන්ත කණ්ඩායම, ඉන් තරග 48ක් ජයග්‍රහණය කරන විට 30ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීම නවසීලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසින් හැඳින්වීමට පුලුවන්.

 2015 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ස්ටීවන් ෆ්ලෙමිං විසිනුයි. 1996-2007 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 33ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 1075ක්. 35.83ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් ෆ්ලෙමිං, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩාකළේ 2003 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 134ක් ලබාගනිමින්.

ෆ්ලෙමිං දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 134ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ ජේකබ් ඔරාම් සහ ඩැනියල් විටෝරි විසිනුයි. එහිදී ඔරාම් තරග 23ක දී කඩුලු 36ක් දවාගන්නා අතරතුර විටෝරි එම කඩුලු ප්‍රමාණය දවාගෙන ඇත්තේ තරග 32ක් තුළ දී යි.

ජේකබ් ඕරාම් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා නවසීලන්තය එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා එක්දින තරග 24කට සහභාගි වී ඇති නවසීලන්ත කණ්ඩායම ඉන් තරග 15ක් ජයග්‍රහණය කරන විට පරාජය වී ඇති තරග ප්‍රමාණය 8ක්. එහිදී සිය මව්බිමේ දීම පාකිස්ථානු කණ්ඩායම 5-0කින් පරාජය කළ නවසීලන්තය ශ්‍රී ලංකාව, සහ බංග්ලාදේශය 3-0ක් ලෙසින් පරාජයට පත් කළා. එලෙස කිවියන් විශිෂ්ඨ අන්දමින් තරගවලි කිහිපයක් ජයග්‍රහණය කළත්, සිය රටේ දීම ඉන්දියාව හමුවේ 4-1ක් සහ එංගලන්තය හමුවේ 3-2ක් ලෙසින් පරාජය වීමට ඔවුන්ට  සිදුවුණා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු නවසීලන්ත  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී රොස් ටේලර්, මාටින් ගප්ටිල්, සහ කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් තිදෙනා යි.

ටේලර් ලකුණු 181ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු නවසීලන්ත පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන්, සහ ටිම් සවුති වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

ට්‍රෙන්ට් බෝල්ට් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන නවසීලන්ත සංචිතය

කේන් විලියම්සන් (නායක)

මාටින් ගප්ටිල්

රොස් ටේලර්

කොලින් මුන්රෝ

ටොම් බ්ලන්ඩල්

ටොම් ලේතම්

හෙන්රි නිකලස්

ජිමී නීෂම්

කොලින් ග්‍රෑන්ඩ්හෝම්

මිචෙල් සැන්ට්නර්

ට්‍රෙන්ට් බෝල්ට්

ටිම් සවුති

ලොකී ෆර්ගසන්

මැට් හෙන්රි

ඉෂ් සෝඩි

මෙවර කිවියන්ගේ ලෝක කුසලාන ගමන

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන නවසීලන්ත කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලම පිතිකරුවන් තිදෙනා වන ගප්ටිල්, ටේලර්, සහ විලියම්සන් පසුගිය කාල සමයේ ලකුණු අතර සිටීම කිවියන්ට ඉතාමත් සුභ ලකුණක්. ඊට අමතරව ඔවුන් සතුව සිටින ප්‍රබලම වේග පන්දු යවන්නන් දෙදෙනා වන බෝල්ට් සහ සවුතිගේ දස්කම් නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට රැගෙන යාමට තීරණාත්මක සාධකයක්. කිවියන් සතුව සිටින එම ප්‍රබල ක්‍රීඩකයන් සියලු දෙනාම සුපුරුදු දස්කම් අතරට පැමිණියහොත්, මෙවර තරගාවලිය තුළ ප්‍රබල දස්කම් දක්වමින් කුසලානය කරා කිවියන් යන ගමන අන් කණ්ඩායම්වලට නැවැත්වීමට අපහසු වනු ඇත.

කවරයේ ඡායාරූපය-නවසීලන්ත කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (cricketaddictor.com)

Related Articles