Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා පිල පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආකාරය

1978 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 1982 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථක වූ ආජන්ටිනාව, නැවතත් 1986 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වූයේ සුපිරි ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ නායකත්වය යටතේ යි. 1986 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කොලොම්බියාවට හිමිවුව ද කොලොම්බියාවේ පැවති අවුල් සහගත තත්ත්වය නිසා සත්කාරකත්වය මෙක්සිකෝවට හිමිවුණා. ඒ අනුව පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දෙවරක් හිමි වූ මුල්ම රට බවට මෙක්සිකෝව ඉතිහාසයට එක් වුණා.

1986 පාපන්දු ලෝක කුසලානයේ නිල පෝස්ටරය (onextrapixel)

ආජන්ටිනාව පළමු වටයේ පෙරමුණ ගනී

පළමු වටයේ A කාණ්ඩයෙන් තරග කළ ආජන්ටිනාවට එහි දී 1982 වසරේ ලෝක පාපන්දු ශූරතාවය දිනූ ඉතාලිය, බල්ගේරියාව, හා දකුණු කොරියාවට එරෙහිව තරග වැදීමට සිදුවුණා.

ආජන්ටිනාව හා දකුණු කොරියාව අතර තරගය

තරගය ආරම්භ කර විනාඩි 6කින් අනතුරුව ආර්ජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක ජෝර්ජ් වැල්ඩනෝ ක්‍රියාත්මක වෙමින් ආජන්ටිනාව වෙනුවෙන් මුල්ම ගෝලය ලබාගත් අතර, අනතුරුව නිදහස් පහරකට හිසින් පහරදෙමින් 18 වන විනාඩියේ දී ආරක්ෂක පෙළ ක්‍රීඩක ඔස්කාර් රගෙරි ආජන්ටිනාව වෙනුවෙන් 2 වන ගෝලය වාර්තා කළා. ඒ අනුව පළමු භාගය නිමාවන විට ආජන්ටිනා පිල 2-0ක් ලෙස ඉදිරියෙන් හිටියේ. දෙවන භාගය ආරම්භයේ දී ම නැවතත් ජෝර්ජ් වැල්ඩනෝ ක්‍රියාත්මක වෙමින් ආජන්ටිනාවට තෙවන ගෝලය ද ලබාදුන් අතර, අවසානයේ දී ආජන්ටිනාව මෙම තරගයෙන් 3-1ක පහසු ජයක් ලබා ගත්තා.

ආජන්ටිනාව හා දකුණු කොරියාව අතර තරගයේ අවස්ථාවක් (gettyimages)

ආජන්ටිනාව හා ඉතාලිය අතර තරගය

1982 වසරේ පාපන්දු ලෝක ශූරතාවය දිනූ ඉතාලි පිල හා ආජන්ටිනාව අතර පැවති මෙම තරගය මෙම කාණ්ඩයේ ප්‍රබල ම තරගය වූ අතර, මෙම තරගය ජයග්‍රහණය කරන පිල කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට බොහෝදුරට ඉඩ තිබූ බැවින් මෙම තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැ යි විචාරකයින් අනාවැකි මුලසිට ම පළ කළා. නමුත් මෙම තරගය ආරම්භ වී සුලු මොහොතකින් ම දඬුවම් කලාපය තුළ දී ආජන්ටිනා මැදපෙළ ක්‍රීඩක ජෝර්ජ් බුරුචගාගේ අතේ පන්දුව වැදීම නිසා ඉතාලියට දඬුවම් පහරක් හිමිවුණා. එම දඬුවම් පහර සාර්ථක කරගත් ඉතාලි ඉදිරිපෙළ ක්‍රීඩක ඇලෙක්සැන්ඩ්‍රෝ ඇල්ටොබෙලී 6 වන විනාඩිය වනවිට ම ඉතාලිය 1-0 ලෙස තරගයේ ඉදිරියෙන් තැබුවා. මෙම අහඹු සිදුවීමෙන් පසු ඉතා ම කඩිසර විලාශයකින් ක්‍රිඩා කළ ආජන්ටිනා පිල වෙනුවෙන් 34 වන විනාඩියේ දී නායක දියාගෝ මැරඩෝනා වාර්තා කළ ගෝලය නිසා අවසානයේ දී තරගය 1-1 ලෙස අවසන් වුණා.

මැරඩෝනා ඉතාලි ක්‍රීඩකයන්ට එරෙහිව පන්දුව මනාව පාලනය කරමින් (gettyimages)

ආජන්ටිනාව  හා බල්ගේරියාව අතර තරගය

මෙම තරගය ආරම්භයේ දී ම ක්‍රියාත්මක වූ ඉදිරිපෙළ ක්‍රීඩක ජෝර්ජ් වැල්ඩනෝ 4 වන විනාඩියේ දී ම ආජන්ටිනාව වෙනුවෙන් මුල්ම ගෝලය වාර්තා කළා. ඉන්පසු ව තරගයේ පාලනය සියතට ගත් ආජන්ටිනා ක්‍රීඩකයන් ඉතා සීරුවෙන් ක්‍රීඩා කරන්නට වුණා. පළමු භාගය අවසන් වන විට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි ආජන්ටිනා පිල වෙනුවෙන් 77 වන විනාඩියේ දී ජෝර්ජ් බුර්චගා දෙවන ගෝලය වාර්තා කළ අතර, අවසානයේ දී බල්ගේරියාව 2-0 කින් පරාජය කළ ආජන්ටිනාව A කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වුණා.

වැල්ඩනෝ ගෝලය ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට සුභ පතන බුරුචගා හා ඔස්කාර් (gettyimages)

16 දෙනාගේ වටයේ දී සම්ප්‍රදායික සතුරා ව පරාජය කරයි

ආජන්ටිනාව හා උරුගුවේ යනු එක ම කලාපයෙන් පාපන්දු ලෝක කුසලානය සඳහා පැමිණෙන රටවල් 2ක් වුණා. එම නිසා ම උරුගුවේ යනු අතීතයේ සිට ම ආජන්ටිනාවේ ප්‍රබල ප්‍රතිවාදියෙකු වුණා. 1974 ලෝක කුසලාන තරගාවලියෙන් පසු මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබූ උරුගුවේ පිලෙහි පළමු වටයෙන් 16 දෙනාගේ වටය දක්වා පැමිණියේ ඉතා අසීරුවෙන්. මෙම තරගය ආරම්භයේ සිට ම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කළ ආජන්ටිනා පිල වෙනුවෙන් 42 වන විනාඩියේ ඉදිරිපෙළ ක්‍රීඩක  ෆෙඩ්රෝ පැස්කුලී වාර්තා කළ ගෝලයත් සමග තරගයේ පාලනය ඔවුන් අතට ගත්තා. අනතුරුව තරගයේ ග්‍රහණය දිගට ම ඔවුන් අත තබාගත් ආජන්ටිනා ක්‍රීඩකයන් අවසානයේ දී 1-0ක ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පැස්කුලී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

දෙවියන්ගේ අත මැරඩෝනාට පිහිට වූ අයුරු

අර්ධ අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාවට එංගලන්ත පිලට මුහුණදීමට සිදු වූ අතර, මීටපෙර දෙපිල 1966 තරමක් මතබේදාත්මක පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයකට මුහුණ දී තිබුණා. 1966 වසරේ එංගලන්තය හමුවේ එදා පරාජය වෙමින් ආජන්ටිනාව උරුමකරගත් අපකීර්තිය මකා දැමීමේ අරමුණෙන් මෙදා මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා පිල තරගබිමට පිවිසුණා. තරගයේ මුල්භාගය ඉතාමත් නිසොල්මනේ ගෙවී ගිය අතර, මුල්භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය 0-0 ලෙස පැවතුණා. නමුත් දෙවන භාගය ආරම්භයේ දී ම එනම් තරගයේ 51 වන විනාඩියේ දී මැරඩෝනා ඉතා සූක්ෂම ලෙසින් සිය අත භාවිතා කරමින් ගෝලයක් ලබාගත් අතර, එය විනිසුරුවරුන් පැහැදිලි ව නොදැකීම හේතුවෙන් මෙය මැරඩෝනාගේ දෙවියන්ගේ අත ලෙස පසු කලෙක  ප්‍රසිද්ධියට පත් වුණා. මෙම සිදුවීම සිදු වී හරියට ම විනාඩි 4කට පසු එනම්, 55 වන වන විනාඩියේ දී සියවසේ වාර්තා වූ විශිෂ්ටතම ගෝලවලින් එකක් වාර්තා කළ මැරඩෝනා ආජන්ටිනා පිලට 2-0ක ඉදිරියක් ලබාදුන්නා. ආජන්ටිනාව ඉතා ඉක්මනින් ලබාගත් ගෝල 2ත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයන් පසුබෑමකට ලක්වුවත් 81 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ එංගලන්ත ඉදිරිපෙළ ක්‍රීඩක ගැරී ලිනෙකර් එංගලන්තයට පළමු ගෝලය ලබාදුන්න ද එය එංගලන්ත පරාජය වැලැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ.

මැරඩෝනාගේ දෙවියන්ගේ අත ලෙස ප්‍රසිද්ධ වූ ගෝලය (gettyimages)

මැරඩෝනා ආජන්ටිනාව අවසන් තරගයට ගෙන යයි

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මුල්මවරට අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබූ බෙල්ජියම සමග අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩාකිරීමට ආජන්ටිනා පිලට සිදුවුණා. මෙම තරගයේ මුල්භාගයේ දෙපිලට ම ගෝල ලබාගැනීමට නොහැකි වූයේ ගෝල ලබාගැනීමට තිබූ ආසන්න අවස්ථා කිහිපයක් ආජන්ටිනා පිලෙන්  ගිලිහී යාම නිසා යි. නමුත් දෙවන භාගය ආරම්භයේ දී ම එනම් 51 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ ආජන්ටිනා නායක දියාගෝ මැරඩෝනා ආජන්ටිනාවට මුල්ම ගෝලය ලබාදුන්නා. ඉන් නොනැවතුණු මැරඩෝනා නැවතත් 63 වන විනාඩියේ දී ක්‍රියාත්මක වෙමින් ආජන්ටිනාවට දෙවන ගෝලයත් ලබාදුන්නේ ඔහු තරගාවලිය තුළ වාර්තා කළ 5 වන ගෝලය ද වාර්තා කරමින්. මැරඩෝනා එදා ලබාගත් සුපිරි ගෝල 2 නිසා ආජන්ටිනාව බටහිර ජර්මනිය සමග පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

මැරඩෝනා බෙල්ජියම් පිලට එරෙහිව ක්‍රීඩා කරමින් (gettyimages)

ආජන්ටිනාව දෙවන වරටත් පාපන්දු ලෝක ශූරයන් වෙයි

1954 හා 1974 වසරේ පාපන්දු ලෝක ශූරයන් වූ බටහිර ජර්මනියත්, 1978 වසරේ ලෝක ශූරයන් වූ ආජන්ටිනාවත් උරෙනුර ගැටුණු මේ අවසන් තරගය තියුණු අවසන් තරගයක් වනු ඇතැ යි විචාරකයන් අනාවැකි පළ කළා. එවැනි වටපිටාවක් තුළ ආරම්භ වූ මෙම තරගයේ 22 වන විනාඩියේ දී ජර්මානු මැදපෙළ ක්‍රීඩක ලෝතර් මතායස් විසින් ආජන්ටිනා ක්‍රීඩක ජෝස් ලුයිස්ට සිදුකළ අනිසි බලපෑමක් නිසා ආජන්ටිනා පිලට නිදහස් පහරක් ලැබුණා. එලෙස ලැබුණු නිදහස් පහරට හිසින් පහරක් එල්ල කළ ආජන්ටිනා ආරක්ෂක පෙළ ක්‍රීඩක ලුයිස් බ්‍රව්න් 23 වන විනාඩියේ දී ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. බ්‍රවුන් එලෙස වාර්තා කළ ගෝලයත් සමග මුල්භාගය අවසන් වන විට 1-0ක් ආජන්ටිනාව ඉදිරියෙන් සිටියා. අනතුරුව දෙවන භාගය ආරම්භ වී විනාඩි 10ක් ගත වූ අවස්ථාවේ එනම් තරගයේ 55 වන විනාඩියේ දී ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක ජෝජ් වැල්ඩනෝ ආජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලය ද වාර්තා කළා. නමුත් මෙම අවස්ථාවේ පහසුවෙන් පරාජය භාරගැනීමට අකමැති වූ ජර්මන් නායක කාල් හෙයින්ස් හා රූඩි වොලර් පිළිවෙළින් 74 හා 81 විනාඩිවල දී කෝනර් පහරවල් මඟින් එල්ල වූ පන්දුව දැල තුළට යොමුකරමින් ලබාගත් ගෝල 2 නිසා තරගයේ ලකුණු තත්ත්වය 2-2 ලෙස සටහන් වුණා. නමුත් වොලර් ලබාගත් ගෝලයෙන් විනාඩි 3කට පසු ආජන්ටිනාව වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ ජෝර්ජ් බුරුචගා ආජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත් අතර, අවසානයේ දී ආජන්ටිනාව 3-2ක් ලෙස බටහිර ජර්මනිය පරාජයට පත්කරමින් ලෝක පාපන්දු කිරුළ 2වන වරටත් දිනාගත්තා. මෙම තරගාවලිය පුරා ම ගෝල 5ක් වාර්තා කර ආජන්ටිනා නායක දියාගෝ මැරඩෝනාට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවුණා.

ජෝර්ජ් වැල්ඩනෝ අවසන් තරගයේ ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)
ජයග්‍රාහී ආජන්ටිනා පිල (gettyimages)

 

කවරයේ ඡායාරූපය: මැරඩෝනා පාපන්දු ලෝක කුසලානය සමග(gettyimages)

මූලාශ්‍රයයන්:

1986 FIFA World Cup-FIFA.com

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා ආජන්ටිනාව ගිය අසීරු ගමන පිළිබඳ ව මෙම ලිපි පෙළේ අවසන් කොටසින් කතා කරමු.

Related Articles