Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ සුපිරි බලවතා – අමෙරීකාව

වසර 125ක ඔලිම්පික් තරගාවලි ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී විශිෂ්ට දස්කම් දැක්වූ රටවල් කිහිපයක්  හමුවනවා. ඒ අතුරින් අමෙරීකා එක්සත් ජනපදයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ ඔවුන් සෑම විටක ම වාගේ  ඔලිම්පික් තරග බිමේ අණසක පතුරවාගෙන සිටි නිසා යි. එලෙස අමෙරීකානුවන් අඛණ්ඩ ව දස්කම් අතර සිටි නිසා ඔවුන් සහභාගි වුණු සෑම ඔලිම්පික් තරගාවලියක දීම පදක්කම් සටහනේ මුල් රටවල් තුන අතරට එකතු වීමට හැකියාවක් ලැබුණා. 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සමගාමීව Roar සිංහල වෙතින් ඔබට තිළිණ කරන මෙම ලිපියෙන් අමෙරීකානු ඔලිම්පික් ඉතිහාසය පිළිබඳ සුවිශේෂී කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා. 

ඔලිම්පික් රන් පදක්කම් 1000ක් ලබා ඇති එකම රට 

ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ රන් පදක්කම් 1000කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට හැකිව තිබෙන්නේ අමෙරීකා එක්සත් ජනපදයට පමණ යි. තරගාවලි ඉතිහාසයේ දී අනිකුත් රටවල් ලබාගෙන ඇති රන් පදක්කම් ප්‍රමාණය සමඟ සන්සන්දනය කරන විට එය අද්විතීය වාර්තාවක්.  පහතින් දක්වා ඇත්තේ ඔලිම්පික් තරග ඉතිහාසය තුළ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගෙන තිබෙන රටවල් 10 පිළිබඳව යි.  

1) අමෙරීකාව – 1022                      2) රුසියාව – 590

3) ජර්මනිය – 428                          4) මහා බ්‍රිතාන්‍ය – 263

5) චීනය – 224                              6) ප්‍රංශය – 212

7) ඉතාලිය – 206                           8) හංගේරියාව – 175

9) ඕස්ට්‍රේලියාව – 147                   10) ස්වීඩනය – 145

 ඔලිම්පික් බිමේ දස්කම් දැක්වූ ඇමරිකානු ක්‍රීඩකයන්
ඔලිම්පික් බිමේ දස්කම් දැක්වූ අමෙරීකා ක්‍රීඩකයන් – gettyimages

අමෙරීකාවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමි වුණු ක්‍රීඩා 

අමෙරීකාව කියූ සැණින්ම අපට මතක් වන්නේ මලල ක්‍රීඩා ඉසව් සහ පිහිනුම් ඉසව් පිළිබඳව යි. ඒ අමෙරීකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ඉසව්වලින් දැක්වූ කැපී පෙනෙන දක්ෂතා නිසා යි. වසර 125ක ඔලිම්පික් ඉතිහාසයේ අමෙරීකානුවන් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩා හය පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

මලල ක්‍රීඩා- 335                    පිහිනුම්- 246

මල්ලවපොර- 54                    ඉලක්කයට වෙඩි තැබීම- 54

බොක්සිං- 50                         කිමිදුම්- 49

ඊට අමතරව ජිම්නාස්ටික්, ඔරු පැදීම, පැසිපන්දු සහ ටෙනිස් යන ක්‍රීඩාවලින් අමෙරීකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 20කට වඩා දිනාගෙන තිබෙනවා. 

විලියම්ස් සොයුරියන් 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී
විලියම්ස් සොයුරියන් 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී – gettyimages

අමෙරීකාව රනින් බැබළවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

එදාමෙදා තුර ඔලිම්පික් තරග ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් ක්‍රීඩකයා බවට පත්වුණු මයිකල් පෙල්ප්ස් ඇමරිකානුවෙක්. මයිකල් පෙල්ප්ස් වාගේම ඇමරිකාව රනින් බැබැළවූ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටිනවා. එසේ නම් පහත දක්වා තිබෙන්නේ ඇමරිකාව වෙනුවෙන් රන් පදක්කම් 8කට වඩා දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව යි. 

මයිකල් පෙල්ප්ස් (පිහිනුම්)- 23           මාක් ස්පිට්ස් (පිහිනුම්)- 9

කාල් ලුවිස් (මලල ක්‍රීඩා)- 9               ජෙනී තොම්සන් (පිහිනුම්)- 8

මැට් බියොන්ඩි (පිහිනුම්)- 8                   රේ එව්රි (මලල ක්‍රීඩා)- 9

මයිකල් පෙල්ප්ස් බීජිං ඔලිම්පික් උළෙලේ දී දිනාගත් රන් පදක්කම් 8
මයිකල් පෙල්ප්ස් බීජිං ඔලිම්පික් උළෙලේ දී දිනාගත් රන් පදක්කම් 8 – gettyimages

 

වඩාත් ම සාර්ථක වුණු තරගාවලි ද්විත්වය 

1896 වසරේ සිට මේ දක්වා ඔලිම්පික් තරගාවලි 27කට සහභාගි වුණු අමෙරීකානුවන් ඉන් තරගාවලි 17කදී ම පළමු ස්ථානය දිනා ගෙන තිබීම සුවිශේෂී සිදුවීමක්. ඒ අයුරින් අමෙරීකානුවන් පළමු තැන දිනාගත් තරගාවලිවල දී රන් පදක්කම් 75 සීමාව ඉක්මවා ගිය අවස්ථා දෙකක් හමුවනවා. එම ඔලිම්පික් උළෙල ද්විත්වය ඔලිම්පික් ඉතිහාසයේ අමෙරීකානුවන් වඩාත්ම සාර්ථක වුණු අවස්ථාවන් වශයෙන් හඳුවන්නට පුළුවන්.

1904 ඔලිම්පික් තරගාවලිය අමෙරීකාවේ ශාන්ත ලුසියා හිදී ක්‍රියාත්මක වුණා. අමෙරීකානුවන් එම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 420ක් සහභාගි කරවූවා. අමෙරීකානුවන්ට එදා කිසිදු අභියෝගයක් එල්ල කිරීමට සෙසු රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා එවර ඔලිම්පික් තරගාවලියේ දී බෙදා දුන් රන් පදක්කම් 96න් 78ක්ම අමෙරීකානුවන්ට උරුම වුණා. එහි දී ඔවුන් මලල ක්‍රීඩාවෙන් දිනා ගත් පදක්කම් 14 තනි ක්‍රීඩාවකින් ලබා ගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් ප්‍රබල අමෙරීකාව තරගාවලියේ පළමු ස්ථානය දිනාගනිද්දී දෙවන ස්ථානය උරුම කරගත් ජර්මනියට රන් පදක්කම් 4ක් පමණක් හිමි ව තිබුණු බව මෙහි දී සිහිපත් කළ යුතුයි.

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල රටවල් 15ක් වර්ජනය කළා. එදා අමෙරීකාවට ඔලිම්පික් තරග බිමේ දී ප්‍රබල අභියෝගයක් එල්ල කළ සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය ද තරගාවලිය වර්ජනය කළ රටවල් අතරට අයත් වුණා. එය අමෙරීකානුවන්ට විශාල වාසියක් වුණා. එනිසා අමෙරීකානුවන් එවර ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම් 83ක් දිනාගත්තා. එහි දී ඔවුන්ට පිහිනුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 21ක් හිමි වන විට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 16ක් හිමි වුණා. එදා අමෙරීකානුවන් පහසුවෙන්ම පදක්කම් සටහනේ පෙරමුණ ගන්නා විට එහි දෙවන ස්ථානය දිනාගත් රුමේනියාව ජයග්‍රහණය කර තිබුණේ රන් පදක්කම් 20ක් පමණ යි. 

කාල් ලුවිස් 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී දස්කම් දක්වමින්
කාල් ලුවිස් 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages

වඩාත් ම අසාර්ථක වුණු තරගාවලි ද්විත්වය 

වසර 125ක් පැරණි ඔලිම්පික් තරග ඉතිහාසයේ අමෙරීකාව සහභාගි වුණු ඔලිම්පික් තරගාවලි ප්‍රමාණය 27ක්. ඒ අතුරින් තරගාවලි 10කදී ඔවුන් පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනා ගන්නා විට අවස්ථා 8කදී පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනා ගත්තා. ඉතිරි අවස්ථා  ද්විත්වයේ දී  ඔවුන්ට පදක්කම් සටහනේ තෙවන ස්ථානය හිමි වුණා. පහතින් දක්වා ඇත්තේ අමෙරීකාව තුන්වන තැනට ඇද දැමූ ඔලිම්පික් තරගාවලි ද්විත්වය පිළිබඳව යි. 

1976 ඔලිම්පික් තරගාවලිය කැනඩාවේ මොන්ට්‍රියල් නුවර දී ක්‍රියාත්මක වුණා. එම ඔලිම්පික් තරගාවලියේ දී පදක්කම් සටහනේ පෙරමුණ ලබාගැනීම සඳහා අමෙරීකාව, සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය අතර තුන්කොන් සටනක් පැවතුණා. අවසානයේ දී එම සටනෙන් ජයග්‍රහණය කළ සෝවියට් රුසියාව රන් පදක්කම් 49ක් ලබාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තා. එවර පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනාගත් නැගෙනහිර ජර්මනිය රන් පදක්කම් 40ක් දිනා ගත්තා. එම රටවල් ද්විත්වය හමුවේ පරාජයට පත්වුණු ප්‍රබල අමෙරීකාවට හිමිවුණේ රන් පදක්කම් 34ක් පමණ යි. ඒ අයුරින් අමෙරීකාව පරාජයට පත්වීමට බලපෑ ප්‍රධානම හේතුව වුණේ ඔවුන්ට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 6ක් පමණක් හිමිව තිබීම යි. ඔවුන්ට වාසිදායක වුණු පිහිනුම් සහ මල්ලව පොර යන ක්‍රීඩාවල දීත් පසුබෑමකට ලක්වීම, පරාජය වීමට ප්‍රධාන හේතුවක් වුණා.

ඇමරිකානු පිහිනුම් ක්‍රීඩිකාවක් සෝල් ඔලිම්පික් තරගාවලියේ දී
අමෙරීකානු පිහිනුම් ක්‍රීඩිකාවක් සෝල් ඔලිම්පික් තරගාවලියේ දී – gettyimages

1988 සෝල් ඔලිම්පික් තරගාවලිය සඳහා සෝවියට් දේශය ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබුණා. සුපුරුදු පරිදි අමෙරීකාව සහ නැගෙනහිර ජර්මනිය ද ප්‍රබල කණ්ඩායම් ඉදිරිපත් කර තිබුණා. සෝවියට් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුල සිටම පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. එනිසා තරගාවලිය අවසන් වෙද්දී ඔවුන් රන් පදක්කම් 55ක් දිනාගෙන තිබුණා. ඒ අයුරින් සෝවියට් දේශය තරගාවලියේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණය දිනාගනිද්දී පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනාගැනීම සඳහා තියුණු තරගයක් පැවතුණා. ඒ නැගෙනහිර ජර්මනිය සහ අමෙරීකාව අතර යි. අවසානයේ දී එම තියුණු සටනෙන් ජයග්‍රහණය ලබාගත්තේ නැගෙනහිර ජර්මනිය යි. එදා නැගෙනහිර ජර්මනිය රන් පදක්කම් 37ක් දිනාගන්නා විට ප්‍රබල අමෙරීකාවට දිනාගැනීමට හැකිවුණේ රන් පදක්කම් 36ක් පමණ යි. එහි දී අමෙරීකාව පිහිනුම් තරගවලින් රන් පදක්කම් 8ක් පමණක් දිනා ගැනීම ඔවුන්ගේ පසුබැසීමට විශාල හේතුවක් වුණා.

ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් ඔලිම්පික් වර්ජනය පිළිබඳව නිවේදනය කරමින්
එවක අමෙරීකා ජනාධිපති ජිමී කාටර් ඔලිම්පික් වර්ජනය පිළිබඳ නිවේදනය කරමින් – gettyimages

අමෙරීකාව සහභාගි නොවුණු එකම ඔලිම්පික් තරගාවලිය

1979 වසරේ අගභාගයේ දී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. එයට විරෝධය දැක්වීමක් ලෙස අමෙරීකාව ප්‍රමුඛ බටහිර රටවල් සෝවියට් රුසියාවට ඔලිම්පික් තරගාවලිය සංවිධානය කිරීමට ඉඩ නොදෙන ලෙස ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටියා. අවසානයේ දී සෝවියට් රුසියාවේ, මොස්කව් නුවර දී ඔලිම්පික් තරගාවලිය අනිවාර්යෙන්ම පැවැත්වෙන බව තීරණය වීමත් සමඟ ම අමෙරීකාව ඇතුළු බටහිර රටවල් 65ක් තරගාවලිය වර්ජනය කළා. නූතන ඔලිම්පික් තරගාවලි ඉතිහාසය තුළ වැඩිම රටවල් ප්‍රමාණයක් තරගාවලිය වර්ජනය කළ අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එකතු වුණා. ඒ අනුව අමෙරීකාව සහභාගි නොවුණු එකම ඔලිම්පික් තරගාවලිය ලෙසින් මොස්කව් නුවර දී ඔලිම්පික් තරගාවලිය ඉතිහාසයයට එක්වුණා.

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී දස්කම් දැක්වූ මයිකල් ජොන්සන්
1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී දස්කම් දැක්වූ මයිකල් ජොන්සන් – gettyimages

 

සිවු වාරයක් සත්කාරකත්වය ලබාදුන් එක ම රට 

වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසය තුළ ඔලිම්පික් තරගාවලියට සිවු වාරයක් සත්කාරකත්වය ලබා දුන් එකම රට ලෙසින් අමෙරීකාව සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මුල්ම වරට අමෙරීකාවට ඔලිම්පික් තරගාවලියක සත්කාරකත්වය හිමිවුණේ 1904 වසරේ දීයි. එවර ඔලිම්පික් තරගාවලිය ශාන්ත ලුසියා හිදී පැවැත්වුණා. ඉන් වසර 28කට පසුව එනම් 1932 දී අමෙරීකාවට යළි  ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය හිමිවුණා. එම වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් නගරය ආශ්‍රිතව යි. යළි 1984 දී ඔලිම්පික් තරගාවලියට සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාව ලොස් ඇන්ජලීස් නගරයට හිමි වුණා. එසේම 1996 ඔලිම්පික් තරගාවලිය අමෙරීකාවේ ඇට්ලන්ටා නුවර පැවැත්වුණා. ඒ අනුව ගිම්හාන ඔලිම්පික් උළෙලට සිවු වාරයක් සත්කාරකත්වය ලබාදුන් එක ම රට ලෙසින් අමෙරීකාව වාර්තා අතරට එක්ව සිටිනවා. 

කවරයේ ඡායාරූපය- 1988 ඔලිම්පික් උළෙලේ දී සුපිරි දස්කම් දැක්වූ ග්‍රිෆිත් ජොයිනර් - gettyimages
 මූලාශ්‍ර- olympic.com 

Related Articles