Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායිලන්තයෙන් බිහි වූ රජවරුන්ගේ සටන් කලාව: මුඒ තායි

ඔබ සටන් කලාවන් ගැන අවධානයක් සහිත කෙනෙක් නම් මුඒ තායි ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මුඒ තායි එහෙමත් නැත්නම් තායි බොක්සිං යන නමෙන් හඳුන්වන මේ සටන් කලාව ලොවට හඳුන්වා දුන්නේ තායිලන්තය විසිනුයි. සම්පූර්ණ සිරුරම ආයුධයක් කරගන්නා මෙම තදින් පහර දීමේ සටන් කලාව තායිලන්තයේ ජාතික ක්‍රීඩාව ලෙසත් සැලකෙනවා.

http://zanetabaran.com

ගාත්‍රා අටේ සටන් කලාව

මුඒ තායි හැඳින්වෙන්නේ අවයව/ගාත්‍රා අටේ සටන් කලාව ලෙසටයි. මෙහි අවයව ලෙසට හැඳින්වෙන්නේ දෑත, දෙපය, දෙදණ සහ දෙවැලමිටයි. එහිදී මුඒ තායි සටන් තාක්ෂණය වර්තමානයේ ඉතා දියුණුව පවතින අතර ඒ පිලිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු කිරීමට ටෝනි ජා රඟපෑ Ong Bak සිනමාපට මාලාවද හේතු වූ බව ප්‍රකට කරුණක්.

ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන නමුත් මෙම සටන් ක්‍රමය පිලිබඳ ලෝකය දැනගත්තේ විසිවෙනි සියවසේදී වීම විශේෂත්වයයි. වර්තමාන තායිලන්ත රජු මෙම සටන්ක්‍රමය ලොව පුරා ව්‍යාප්ත කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීමද එහි වත්මන් ජනප්‍රියත්වයට හේතුවක් වී තිබෙනවා.

මුඒ තායි සටන් ක්‍රමය වර්ධනය වීමේදී ඒ සඳහා ඉන්දියානු, මියන්මාර්, කාම්බෝජ සහ මැලේසියා සටන් ක්‍රම වල අභාෂය හිමිව තිබෙන බවත් සත්‍යක්. එහි ආරම්භය දහතුන්වැනි ශතවර්ෂය දක්වා දිවෙන්නක්. එවකට සියම ලෙස තායිලන්තය හැඳින්වුණු අතර එහි අගනුවර වූ සුකෝතායි වෙනත් රටවල ආක්‍රමණ වලින් බේරා ගැනීමට පළමු මුඒ තායි හමුදාව එහි ඇති කර තිබෙන බව පැවසෙනවා. නගරය සහ රටවැසියන් ආරක්ෂා කිරීමට පිහිටවූ එම විශේෂ හමුදාවට සටන් පුහුණුව ලබා දී ඇත්තේ එවකට එරට පැවති පාරම්පරික සටන් ක්‍රම ඇසුරෙන් සකස් කරගත් මුඒ තායි සටන් ක්‍රමය යොදා ගනිමිනුයි. එහිදී මුළු සිරුරම ආයුධයක් ලෙස යොදා ගැනීමේ ක්‍රමය වඩාත් විශේෂ වී තිබෙනවා.

http://www.bigfootgym.org

රජවරුන්ගේ සටන් ක්‍රමය

පසු කාලීනව ඇතිවූ විවිධ ආක්‍රමණ සහ සටන් හේතුවෙන් සියම් වැසියන් සියල්ල පාහේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් පුහුණුවීම අවශ්‍ය වූ බැවින් රාජ්‍ය පුරා විවිධ තැන් වල සතැහැ පුහුණු පාසල් පිහිටවනු ලැබූ අතර රටවැසියන්ට එම සටන් පුහුණුව ලැබීමද අනිවාර්ය කෙරුණා. මෙම සටන් ක්‍රමය සාමාන්‍ය ජනයා අතර මෙන්ම රාජ්‍ය පාලකයන් අතරද ජනප්‍රිය වූ අතර රජවරුන් සියල්ල මුඒ තායි සටන් ක්‍රමය හොඳින් හැදෑරුවන් වීම කෙමෙන් අත්‍යවශ්‍ය කරුණක් බවටද පත්වුණේ මුඒ තායි සටන් ක්‍රමයට සුවිශේෂී අනන්‍යතාවයක්ද එක් කරමින්.

http://www.lol-wallpapers.com

මුඒ තායි සඳහා පසුකාලීනව රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබුණු අතර රට පුරා විවිධ මුඒ තායි පුහුණු කඳවුරු, සංදර්ශන මෙන්ම තරඟාවලි පැවත්වී ඇත්තේද ඒ හේතුවෙනුයි. ප්‍රචාවෝ සුආ නම් රජතුමා වෙස් වලා ගනිමින් රටපුරා පැවැත්වුණු මුඒ තායි තරගාවලි සඳහා සහභාගී වෙමින් සිය සටන් දක්ෂතාවය උරගා බැලූ බවත් සඳහන්.

පළමු රමා රජතුමා මුඒ තායි එරට ජාතික සටන් ක්‍රමය ලෙස වඩාත් විධිමත් කළේ එහි තරඟාවලි සඳහා ක්‍රමවේද සහ නීති රීති ද හඳුන්වා දෙමින්. පස්වෙනි රමා රජතුමාගේ කාලය මුඒ තායි සටන් ක්‍රමයේ ස්වර්ණමය අවධිය බවට පත්ව ඇති අතර, රටපුරා පැවති මුඒ තායි තරඟාවලි වල ජයග්‍රාහකයන් රජතුමා විසින් සිය අංග ආරක්ෂකයන් ලෙසට ද බඳවාගෙන ඇති බවත් සඳහන් වෙනවා.

එසේම හයවැනි රමා රජතුමාගේ කාලයේ පැවති පළමු ලෝක යුද්ධයටද මුඒ තායි සටන් ක්‍රමය යොදා ගැනීමට එරට යුද සෙබළුන් කටයුතු කර තිබෙනවා. බුරුමය සහ සියම අතර කාලාන්තරයක් මුළුල්ලේ පැවති ගැටුම්ද මුඒ තායි සටන් ක්‍රමය වඩාත් අංග සම්පූර්ණ සටන් ක්‍රමයක් බවට පත්කර ඇත්තේ එය එරට හමුදාවේ සුවිශේෂී අනන්‍යතාවය බවටද පත් කරමින්.

http://www.wmcmuaythai.org

මුඒ තායි අනන්‍යතාවයක් වූ ‘වයි කෘ’ නම් සමාචාර නැටුම

මුඒ තායි සටන් පැවැත්වීමට පෙර සිදු කරන ‘වයි කෘ’ නම් සමාචාර නැටුමද මුඒ තායි සටන් ක්‍රමයේ අනන්‍යතාවයක් ලෙස සැලකෙනවා. එහි අරමුණ සටන්කරුවා සිය ගුරුවරයාට, සටන් කලාවට, ප්‍රතිවාදියාට මෙන්ම සිය රටටද දක්වන ගරුත්වය විදහා පෑමයි. සම්ප්‍රදායික මුඒ තායි එක් සටනක් සඳහා වන එක් වටයක කාලය තීරණය කරන්නේ වතුර භාජනයකට දැමූ සිදුරක් සහිත පොල් ගෙඩියක් තුලට වතුර පිරීමට ගතවන කාලය ලෙසිනුයි.

මුඒ තායි සටනක නිශ්චිත වට ගණනක් නොමැති අතර, පැහැදිලි ජයග්‍රාහකයෙක් ලැබෙන තුරු එය පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මේ වන විට පවතින නූතන මුඒ තායි සටන් තරග සඳහා බොක්සිං වල මෙන් තරඟ වේදිකාවක් මෙන්ම අත් ආවරණද යොදා ගැනීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මේ වන විට වඩාත් විධිමත් නීතිරීති යටතේ මුඒ තායි තරග පැවැත්වෙන අතර එක් තරඟයක් වට පහකින් සමන්විත වෙනවා. එමෙන්ම සම්ප්‍රදායික පොල් ගෙඩි ක්‍රමය වෙනුවට ඔරලෝසු යොදා ගනිමින් එක් වටයක කාලය නිර්ණය කිරීමද වත්මන් මුඒ තායි තරග වල දැකිය හැකියි.

එසේ රාජ්‍ය අනුග්‍රහය යටතේ කෙමෙන් ව්‍යාප්ත වී ගිය මුඒ තායි සටන් ක්‍රමය මේ වන විටද තායිලන්ත ජාතිකයන්ගේ ජිවිතයේ අංගයක් බවට පත් වී තිබෙනවා. වයස 6-8 දී පමණ සිට තායිලන්ත ජාතිකයන් මුඒ තායි හැදෑරීම ආරම්භ කරන අතර ඒ සඳහා දිනකට වැඩි පැය ගණනක් වෙන් කිරීම ඔහුන්ගේ දිවියේ අනිවාර්ය අංගයක් බවට ඉන්පසු පත්ව තිබෙනවා.වයස අවුරුදු 10 පමණ වන විට ඔවුන් සිය පළමු මුඒ තායි සටනට සහභාගී වන අතර, එතැන් සිට වයස විසි පහ පමණ වන විට එක් අයකු එවන් තරඟ 150 කට පමණ සහභාගී වන බවත් පැවසෙනවා.

http://tkofa.com

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පිළිගත් ක්‍රීඩාවක්

මුඒ තායි සටන් වලදී තරුණයන් මියයාම බොහෝ විට සිදුවන අතර, අනතුරු වැඩි ක්‍රීඩාවක් බැවින් බොහෝ දෙනෙකු තිස් වැනි වියට එළඹීමට පෙර සටන් තරඟවලින් සමු ගන්නා බවද පැවසෙනවා. ඉන්පසු ඔහුන් බොහෝවිට ඊළඟ පරම්පරාවේ මුඒ තායි ගුරුවරුන් බවට පත් වන අතර එවිට ඔවුන් හැඳින් වෙන්නේ ‘කෘ’ යන නමෙනුයි.

වර්තමානය වන විට මුඒ තායි ජාත්‍යන්තර ක්‍රීඩාවක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර මේ වන විට එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ පිළිගැනීමට ද ලක්ව තිබෙනවා. මේ වන විට ලොව වටා රටවල් එකසිය විස්සකට වැඩි ගණනක මුඒ තායි සටන් ක්‍රමය ඉගැන්වෙන අතර නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරුද පැවැත්වෙමින් තිබෙනවා.

Cover – http://www.secretflying.com

http://www.tigermuaythai.com

http://www.wmcmuaythai.org

Related Articles