Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල යුපුන් තවත් ඉහළට

පසුගිය කාලයේ යුරෝපාකරයේ පැවති මලල ක්‍රීඩා තරගාවලිවල දී දස්කම් දැක්වූ යුපුන් අබේකෝන් නම් ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩකයා අප රටේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා. දිනෙන් දින සිය හැකියා ඔප් නංවා ගත් යුපුන් නිමා වුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 තරගයට සහභාගි වුණා.

යුපුන්ට ඔලිම්පික් තරග බිමේ දී දස්කම් දැක්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අධෛර්යමත් නොවුණු එම ක්‍රීඩකයා පසුගිය දිනවල කළ කැපකිරීම්වල ප්‍රතිඵල මේ වන විට ලැබී තිබෙනවා. ඔහු පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල මුල් 40 දෙනා අතරට පැමිණීමට සමත් ව සිටිනවා. එම පුවතත් ඇතුළුව ගෙවුණු සතියේ දෙස් විදෙස් කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ ව මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

යුපුන් අබේකෝන් – getty images

දකුණු ආසියාවට පෑයූ මලල ක්‍රීඩා තරුව 

2021 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ එක් අදියරක් ජූනි 10 වැනිදා ඉතාලියේ දී පැවැත්වුණා. ඒ සඳහා තරග වැදුණු යුපුන් අබේකෝන් තත්පර 10.16ක කාලයකින් තරගය නිමා කිරීමට සමත් වුණා. එහි දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 9 වැනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් හි පැවැත්වුණු ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් අදියර සඳහා සහභාගි වීමට වරම් ලැබුණා. අවසන් අදියර සඳහා ෆ්රෙඩ් කර්ලි, රොනී බේකර්, ට්‍රෙවොන් බ්‍රොමෙල් යන ප්‍රබල අමෙරිකානු ධාවකයන් තිදෙනා පමණක් නොව  කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රාසි ද සහභාගි වුණා.

එහි දී යුපුන්ට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට හැකිවුණේ නැහැ. ඒ අනුව තත්පර 10.25ක් කාලයකින් තරගය නිම කළ ඔහුට හිමි වුණේ අවසන් ස්ථානය යි. ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් අදියර සඳහා සහභාගි වීම හේතුවෙන් යුපුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 1215 දක්වා ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මීටර් 100 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 40 වැනි ස්ථානය දක්වා ඉහළට යාමට යුපුන්ට හැකියාව ලැබුණා. එය දකුණු ආසියාතික රටක ක්‍රීඩකයකු මීටර් 100 ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල මුල් 40 දෙනා අතරට පැමිණි මුල් ම අවස්ථාව බවට පත්වුණා. 

දෙපිලේ නායකයන් එක්දින තරගාවලියේ කුසලානය සමඟ – getty images

පාකිස්තාන-නවසීලන්ත එක්දින තරගාවලියට ආරක්ෂාව හරස් වෙයි 

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පසුගිය දිනවල පැමිණියා. ඒ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ තරග 5කින් සමන්විත 20/20 තරගාවලියකට සහභාගි වීම සඳහා යි. ඒ අතුරින් එක්දින තරගාවලිය පසුගිය සැප්තැම්බර් 17 වැනිදා රාවල්පිණ්ඩි පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබුණා.

තරගය ආරම්භ වීමට පැයක පමණ කාලයක් තිබිය දී නවසීලන්ත කණ්ඩායම තරගය සඳහා සහභාගි වීමට නොහැකි බව ප්‍රකාශ කළා. ඒ පාකිස්තානයේ පවතින ආරක්ෂක වාතාවරණය පිළිබඳ ව ඔවුන් සෑහීමකට පත් නොවන බව පවසමින්. එහි ප්‍රතිඵලයක් වශයෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ 20/20 තරගාවලි ද්විත්වය සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට සිදුවුණා.

බෝම්බ ප්‍රහාරය නිසා මියගිය අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු – defence.lk

ඈත අතීතයේ සිට ම නවසීලන්තයට ආසියානු රටවල්වල පැවති ක්‍රිකට් තරගාවලිවල දී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා පීඩා විඳින්නට සිදුවුණා. ඉන් පළමු සිදුවීම වාර්තා වුණේ 1987 අප්‍රේල් මාසයේ පැවති ශ්‍රී ලංකා සංචාරය අතරතුර යි. එදා පිටකොටුවේ දී පුපුරා ගිය ත්‍රස්තවාදී බෝම්බය හේතුවෙන්  නවසීලන්ත කණ්ඩායම සංචාරය නතර කොට සිය මවුබිම බලා ගියා.  1992 අග භාගයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්ත කණ්ඩායම  යළිත් වරක් අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ එවකට නාවික හමුදාපති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු ඉලක්ක කරගනිමින් ටාජ් සමුද්‍රා හෝටලය අසල බෝම්බයක් පුපුරා යාම යි. 

එම බෝම්බය පුපුරායාමත් සමඟම නවසීලන්ත ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ආපසු සිය රටට ගියා. නමුත් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල එකතු වී  තරගාවලිය දිගට ම කරගෙන ගියා. එම සිදුවීමෙන් වසර 10කට පසුව යළිත් වරක් නවසීලන්ත කණ්ඩායමට බෝම්බ බියක් දැනුණා. ඒ 2002 පාකිස්තාන සංචාරය අතරතුර යි. එදා කරච්චි නුවර දී පුපුරා ගිය බෝම්බය නිසා තරගාවලිය අතරමග නැවතුණා. නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා සහභාගි වීම ප්‍රතිකේෂ්ප කිරීම පිළිබඳ ව රමීස් රාජා සහ ෂොයිබ් අක්තාර් වැනි හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් සිය අප්‍රසාදය පළ කළා. එහි දී ඔවුන් පවසා සිටියේ නවසීලන්ත කණ්ඩායම පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට විශාල හානියක් සිදු කළ බව යි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යළි ආරම්භ වෙයි 

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය චෙන්නායි නුවර චිදම්බරම් පිටියේ දී අප්‍රේල් 9 වැනිදා ආරම්භ වුණා. එදා සිට මැයි 2 වැනිදා වන තුරු තරගාවලියේ තරග 29ක් කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වුණා. ඉන් පසුව කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගාවලිය දින නියමයක් නොමැති ව කල් ගියා. ඒ අයුරින් කල් ගිය තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 15 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය බලධාරීන් තීරණය කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග්  තරගාවලියට එක්ව සිටින වනිඳු සහ චමීර – Twitter

ඒ අනුව  ආරම්භ වුණු තරගාවලියේ දෙවන අදියර සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් යුගළයක් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර එක්වුණා. එහි දී ඔවුන් දෙදෙනා තරග කරන්නේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට යි. පළමු  අදියර අවසන් වෙද්දී එක් එක් කණ්ඩායම ලබාගෙන සිටි ප්‍රසාද ලකුණු ප්‍රමාණ පහතින් දක්වා තිබෙනවා. 

  1. දිල්ලි කැපිටල්ස්- 12
  2. චෙන්නායි සුපර් කිංග්ස්- 10
  3. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 10
  4. මුම්බායි ඉන්දියන්ස්- 8
  5. රාජස්තාන් රෝයල්ස්- 6
  6. පංජාබ් කිංග්ස්- 6
  7. කොල්කටා නයිට් රයිඩර්ස්- 4
  8. සන්රයිසස් හයිද්‍රාබාද්- 2
රුතුරාජ් තරගයේ වීරයා සම්මානය අතැතිව – 100Mb

තරගාවලියේ දෙවන අදියරේ පළමු තරගය ඩුබායි පිටියේ දී මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතර  ඊයේ පැවැත්වුණා. එම තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිවුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට යි. එහි දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් 58කින් නොදැවී ලකුණු 88ක් ලබාගත් රුතුරාජ් ගයික්වාඩ්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.  ඒ අයුරින් චෙන්නායි කණ්ඩායම ලබාගත් ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියා. පහතින්  දැක්වෙන්නේ ඊයේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

චෙන්නායි සුපර් කිංග්ස්- 156/6 (20), (ගයික්වාඩ්- 88*, ජඩේජා- 26, මිල්න්- 21/2, බූම්රා- 33/2)

මුම්බායි ඉන්දියන්ස්- 136/8 (20), (සව්රබ් තිවාරි- 50*, බ්‍රාවෝ- 25/3, චහාර්- 19/2) 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 20ක ජයක් 

තරගයේ වීරයා- රුතුරාජ් ගයික්වාඩ් 

එමා රඩුකානු ශූරතා කුසලානය අතැතිව – getty images

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දී පෙරළියක් සිදුවෙයි 

ලොව ප්‍රධානත ම ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පසුගිය දිනවල පැවැත්වුණා. ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලියේ දී වාර්තා වුණු කැපී පෙනෙන ම සිදුවීම වුණේ 18 හැවිරිදි බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක වුණු  එමා රඩුකානු කාන්තා ඒකල ශුරිය බවට පත්වීම යි. තරගාවලිය ආරම්භ වන විට ඇය ටෙනිස් ඒකල කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වන ස්ථානයේ පසුවුණා. තරගාවලිය පුරාවට දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වුණු රඩුකානු ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් පරාජය කරමින් ශූරතාව දිනා ගත්තා. 

පිරිමි ඒකල ශූරතාව දිනාගත් රුසියාවේ මෙඩ්වඩෙව් – getty images

ඒ අයුරින් ඇය සිය මුල්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනා ගැනීමත් සමඟ ම කාන්තා ඒකල ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 23 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වුණා. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක දී එවැනි දස්කමක් ඊට පෙර වාර්තා වුණේ 2009 වසරේ දීයි. ඒ බෙල්ජියම් ක්‍රීඩිකා කිම් ක්ලයිස්ටර්ස් එවර අමෙරිකානු විවෘත තරගාවලිය ජයග්‍රහණය කරමින් සිදු කළ පෙරළිය යි. එසේම මෙවර තරගාවලියේ පිරිමි ඒකල අවසන් තරගයේ දී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නොවැක් ජෝකොවිච් පරාජයට පත්වීම කනගාටුදායක සිදුවීමක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතා දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව යි. 

පිරිමි ඒකල ශූරතාව- ඩැනිල් මෙඩ්වඩෙව් (රුසියාව)

කාන්තා ඒකල ශූරතාව- එමා රඩුකානු (මහා බ්‍රිතාන්‍ය) 

පිරිමි යුගළ ශූරතාව- රජිව් රාම් (අමෙරිකාව) සහ ජෝ සැලිස්බරි (මහා බ්‍රිතාන්‍ය)

කාන්තා යුගළ ශූරතාව- සමන්තා ස්ටොසුර් (ඕස්ට්‍රේලියාව) සහ යැන්ග් ෂුආයි (චීනය) 

මිශ්‍ර යුගළ ශූරතාව- ඩෙසුරෙයි ක්‍රෝචෙක් (අමෙරිකාව) සහ ජෝ ජෝ සැලිස්බරි (මහා බ්‍රිතාන්‍ය)

 මූලාශ්‍ර-

diamondleague.com

usopen.org

Cricinfo 

Related Articles