Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ පිතිකරුවන් 6 දෙනෙක්

ටෙස්ට් ක්‍රිකට් තරගවලට ප්‍රේක්ෂකයන් අඩුවෙන් ආකර්ෂණය වන්නේ එහි ඇති මන්දගාමී ස්වභාවය නිසා යි. එසේම එක්දින සහ 20/20 තරගවලට සාපේක්ෂව ටෙස්ට් තරගවල දී එල්ල වන හයේ පහර ප්‍රමාණය අඩු යි. නමුත්, සමහර පිතිකරුවන් ටෙස්ට් තරගවල දීත් වේගයෙන් පන්දුවට පහරදීමට කැමැත්තක් දක්වනවා. එවැනි පිතිකරුවන් ටෙස්ට් තරගයක දී වුණත් හයේ පහරවල් එල්ල කරන්නේ කිසිදු පැකිළීමකින් තොරව යි. එසේ නම් මෙම ලිපියෙන් කතා කරන්නේ, ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ පිතිකරුවන් 6 දෙනෙකු පිළිබඳව යි.

වසීම් අක්‍රම් (පාකිස්ථානය)- හයේ පහර 12 (සිම්බාබ්වේට එරෙහිව 1996 දී)

1996 වසරේ දී පාකිස්ථානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ, ෂෙයික්පුර ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 375ක් පමණ යි. ඉන්පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ පාකිස්ථානු කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 237කට දැවී ගියේ සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ වාසිය හිමි කර දෙමින්. එලෙස පාකිස්ථානු කණ්ඩායම අසරණ වී සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු වසීම් අක්‍රම්, හයේ පහර 12ක් සමගින් පන්දු 363කින් නොදැවී ලකුණු 257ක් ලබාගත්තා. එහි දී අක්‍රම් සහ සක්ලේන් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 313ක සබඳතාවය එම අවදියේ ටෙස්ට් තරගයක 8 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සබඳතාවය බවට පත් වුණා.

අක්‍රම්ගේ ඉනිමේ අවස්ථාවක් (icc cricket)

නේදන් ඇස්ටල් (නවසීලන්තය)- හයේ පහර 11 (එංගලන්තයට එරෙහිව 2002 දී)

2002 වසරේ දී නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ, ක්‍රයිස්චර්ච් නුවර AMI ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ සිව්වන ඉනිමේ දී ලකුණු 550ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 9ක් ලකුණු 333ක් තුළ දැවී ගියා. එලෙස සිය කණ්ඩායම පරාජය කරා යමින් සිටි අවස්ථාවක හුදෙකලා සටනක නිරත වුණු ඇස්ටල් පන්දු 168කින් හතරේ පහර 28ක් සහ හයේ පහර 11ක් සමගින් අගනා ලකුණු 222ක් ලබාගත්තා. එහි දී ඇස්ටල් ලබාගත් ලකුණු 222ක ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේ දී පිතිකරුවෙකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

නේදන් ඇස්ටල් පන්දුවට පහරදෙමින් (gettyimages)

මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව)- හයේ පහර 11 (සිම්බාබ්වේට එරෙහිව 2003 දී)

2003 වසරේ දී ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු සදර්න් ක්‍රොස් කුසලාන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ, පර්ත් නුවර වැකා ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 735ක් ලබාගත්තා. එහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම වුණු හේඩ්න්, පන්දු 437කින් හතරේ පහර 38ක් සහ හයේ පහර 11ක් සමගින් ලකුණු 380ක් ලබාගත්තා. එදා හේඩ්න්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 380, එම අවදියේ පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

හේඩ්න්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)- හයේ පහර 11 (පාකිස්ථානයට එරෙහිව 2014 දී)

2014 නවසීලන්ත-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ සාජා ක්‍රිකට් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 351ක් පමණ යි. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 690ක් ලබාගත්තේ පාකිස්ථානු කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින්. එහි දී නවසීලන්ත ඉනිමේ  වැඩිම ලකුණු ලාභියා වුණු නායක බ්‍රෙන්ඩන් මැකලම්, පන්දු 188කින් හතරේ පහර 21ක් සහ හයේ පහර 11ක් සමගින් ලකුණු 202ක් ලබාගත්තා.

මැකලම්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)- හයේ පහර 11 (ශ්‍රී ලංකාවට එරෙහිව 2014 දී)

2014 වසරේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ, ක්‍රයිස්චර්ච් නුවර හේග්ලි ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 88ක් තුළ දැවී තිබිය දී නායක බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රීඩා පිටියට අවතීර්ණ වුණා. එලෙස පිටියට පිවිසි මැකලම්, අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහරදෙමින් පන්දු 134ක් තුළ ලකුණු 195ක් ලබාගත්තේ හතරේ පහර 18ක් සහ හයේ පහර 11ක් එල්ල කරමින්. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ, මැකලම් පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව හයේ පහර 11ක් එල්ල තරගයෙන් පසුව ඔහු සහභාගි වුණු ඊළඟ ටෙස්ට් තරගයේ දී මෙම දස්කම් දැක්වීම යි.

මැකලම්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)- හයේ පහර 11 (දකුණු අප්‍රිකාවට එරෙහිව 2016 දී)

2015/2016 බැසිල් ද ඔලිවේරා ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ, කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 223ක් තුළ දැවී ගියා. එලෙස එංගලන්ත ඉනිම බිඳ වැටෙමින් තිබුණු අවස්ථාවේ පිටියේ එක්වුණු බෙන් ස්ටෝක්ස් සහ ජොනී බෙයාස්ට්‍රෝ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 399ක සබඳතාවයක් ගොඩනැගුවා. එදා  ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සබඳතාවය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සබඳතාවය බවට පත් වුණා. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස්, පන්දු 198කින් ලකුණු 258ක් හතරේ පහර 30ක් සහ හයේ පහර 11ක් එල්ල කරමින්. එලෙස ස්ටෝක්ස් ලබාගත් ලකුණු 258, ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 6 පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය- වසීම් අක්‍රම් පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles