Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙසී ආජන්ටිනාව වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් 5ක්

ලයනල් මෙසී, 21 වන සියවසේ ලෝක පාපන්දු පිටියට බිහිවුණු සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහු ආජන්ටිනාව සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූවා. මෙසී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ බොහෝ දෙනෙකු කතා කළත්, ඔහු ආජන්ටිනාව වෙනුවෙන් පාපන්දු ඉතිහාසය තුළ සිදුකළ මෙහෙය පිළිබඳව කතා කරන්නේ ගොඩක් අඩුවෙන්. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ පාපන්දු තරුව ආජන්ටිනාව වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් 5ක් ගැන යි. 

5) යොවුන් පාපන්දු ලෝක කුසලානය හිමිකර දීම

1977 වසරේ ආරම්භ වුණු යොවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2005 වසර දක්වාම පැවැත්වුණේ එනමින්. 2007 වසරේ සිට එම තරගාවලියේ නම “20න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය” ලෙස වෙනස් කරනු ලැබුවා. මෙම තරගාවලි ඉතිහාසයේ වඩාත්ම සාර්ථක රට බවට පත්ව තිබෙන්නේ ආජන්ටිනාව යි. ඔවුන් 6 වාරයක් මෙහි ශූරතාවය දිනාගෙන තිබෙනවා. එසේම බ්‍රසීලය ද 5 වාරයක් තරගාවලියේ ශූරතාවය හිමිකරගෙන තිබෙනවා.

2005 වසරේ යොවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නෙදර්ලන්තයේ දී පැවැත්වුණා. ඒ සඳහා දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ආජන්ටිනා කණ්ඩායමක් ඉදිරිපත් කර තිබුණා. එම ක්‍රීඩකයන් අතුරින් කාගේත් අවධානය යොමුව තිබුණේ ලයනල් මෙසී නම් ක්‍රීඩකයා දෙසට යි. තරගාවලියේ පළමු වටයේ දී ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම ඇමරිකාව හමුවේ පරාජය වුණත් ඊජිප්තුව සහ ජර්මනිය හමුවේ පැවති තරගවලින් ජය ලැබුවා. එහි දී මෙසීට ලබාගැනීමට හැකිවුණේ එක ගෝලයක් පමණයි. ඒ ඊජිප්තු කණ්ඩායමට එරෙහිව යි.

කණ්ඩායම් 16ක් සහභාගි වුණු දෙවන තරග වටයේ දී ආජන්ටිනාවට මුණගැසුණේ ප්‍රබල කොළොම්බියා කණ්ඩායම යි. තරගයේ 57 වන විනාඩිය අවසන් වෙද්දී  කොළොම්බියාව 1-0 ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියා. එම තීරණාත්මක මොහොතේ දී ක්‍රියාත්මක වුණු මෙසී ගෝලයක් ලබාගෙන ලකුණු මට්ටම සම කළා. ඉන් පසුව බැරෝසෝ 93 වන විනාඩියේ දී ආජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත්තා. ඉන් පසුව පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ආජන්ටිනාව ගෝල 3-1ක් ලෙස පහසු ජයග්‍රහණයක් හිමිකරගත්තා. ඒ ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව යි. එහි දී මෙසී එක් ගෝලයක් වාර්තා කළා.

අවසන් පූර්ව තරග වටයේ දී ආජන්ටිනාවට තරග වැදීමට සිදුවුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට එරෙහිව යි. එම කාල වකවානුව වන විට යොවුන් පාපන්දු ලෝක කුසලාන ශූරයන් ලෙසින් වැජඹුණු බ්‍රසීල කණ්ඩායම තුළ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සිටියා. නමුත් තරගයේ 7 වන විනාඩියේ දී මෙසී වාර්තා කළ ගෝලයත් සමගින් බ්‍රසීල ක්‍රීඩකයන් මානසික වශයෙන් ඇද වැටුණා. එනිසා තරගයේ 74 වන විනාඩිය වන විටත් ගෝල 1-0 ලෙසින් තරගයේ පෙරමුණ ගෙන සිටියේ ආජන්ටිනා කණ්ඩායම යි. නමුත් 75 වන විනාඩියේ ක්‍රියාත්මක වුණු රෙනාටෝ බ්‍රසීලය වෙනුවෙන් ලබාගත් ගෝලයත් සමග ලකුණු තත්ත්වය සම වුණා. ඉන් අනතුරුව උණුසුම් මුහුණවරක් ගත් තරගය 2-1ක් ලෙසින් ආජන්ටිනාව ජයගත්තේ සබලෙටා අවසන් මොහොතේ දී වාර්තා කළ ගෝලය නිසා යි.

නයිජීරියාවට එරෙහිව පැවති අවසන් තරගය ගෝල 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායම 5 වන වරටත් යොවුන් පාපන්දු ලෝක කුසලානය දිනාගත්තා. අවසන් තරගයේ දී ආජන්ටිනා කණ්ඩායම වාර්තා කළ ගෝල 2ම මෙසී විසින් ලබාගත්තා. ඒ දඬුවම් පහර මඟින්. ඒ අනුව තරගාවලිය පුරාවට ගෝල 6ක් වාර්තා කළ ලයනල් මෙසී තරගාවලියේ වැඩිම ගෝලලාභියා බවට පත්වුණා. එසේම ඔහු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් ද නම් කරනු ලැබුවා. ඒ අනුව මෙසීට රන් සපත්තුව සහ රන් පන්දුව යන සම්මාන යුගලයම හිමිවුණා. ඊට පෙර එම සම්මාන ද්විත්වයම එකම ක්‍රීඩකයෙකුට හිමිව තිබුණේ අවස්ථාවන් 2ක දී පමණ යි. ඉන් පළමු අවස්ථාව වාර්තා වුණේ 1983 තරගාවලියේ දී යි. එහි දී ජියෝවානි නම් බ්‍රසීල ක්‍රීඩකයා එම දස්කම දක්වනු ලැබුවා. එසේම 2001 වසරේ දී ජාවියර් සැවියෝලා නම් ආජන්ටිනා ක්‍රීඩකයා ඒ අයුරින් සම්මාන ද්විත්වයම හිමිකරගත්තා.  

මෙසී නයිජීරියාවට එරෙහිව අවසන් තරගයේ දී (gettyimages)

4) ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ත්‍රිත්ව ගෝල ප්‍රමාණයක් වාර්තා කිරීම 

පාපන්දු තරගයක දී ගෝල 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීම “ත්‍රිත්ව ගෝලයක් ලබාගැනීම” යනුවෙන් හඳුන්වනු ලබනවා. ලයනල් මෙසී සිය ජාත්‍යන්තර පාපන්දු තරග දිවිය තුළ දී ත්‍රිත්ව ගෝල 6ක් ලබාගැනීමට සමත් වුණා. ආජන්ටිනා පාපන්දු ඉතිහාසය තුළ වැඩිම ත්‍රිත්ව ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙසින් ද ඔහු වැජඹෙනවා. මෙසී ලබාගත් ත්‍රිත්ව ගෝල හයෙන් 4ක්ම සුහද තරගවල දී වාර්තා වුණා. ඉතිරි ත්‍රිත්ව ගෝල දෙක 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා පැවති සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ දී, සහ කෝපා ඇමරිකා තරගාවලියේ දී ලබාගත්තා. ඒවා මෙසේ යි:

1) ස්විට්සර්ලන්තයට එරෙහිව 2012 වසරේ දී- සුහද තරගයක දී  

2) බ්‍රසීලයට එරෙහිව 2012 වසරේ දී- සුහද තරගයක දී  

3) ගෝතමාලාවට එරෙහිව 2013 වසරේ දී- සුහද තරගයක දී  

4) පැනමාවට එරෙහිව 2016 වසරේ දී- කෝපා ඇමරිකා තරගාවලියේ තරගයක දී 

5) ඉක්වදෝරයට එරෙහිව 2017 වසරේ දී- 2018 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක දී 

6) හයිටියට එරෙහිව 2018 වසරේ දී- සුහද තරගයක දී 

ඉක්වදෝරයට එරෙහිව ලබාගත් ත්‍රිත්ව ගෝලයේ එක් අවස්ථාවක් (gettyimages)

3) ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගැනීම 

පසුගිය දශක කිහිපය තුළ ආජන්ටිනාවෙන් දක්ෂ පාපන්දු තරු රැසක් බිහිවුණා. මාරියෝ කෙම්පස්, දියාගෝ මැරඩෝනා, ගේබ්‍රියල් බැටිස්ටුටා, ක්ලෝඩියෝ කැනීගියා, හර්නන් ක්‍රෙස්පෝ, ලයනල් මෙසී, සර්ජියෝ ඇගියුරෝ යන ක්‍රීඩකයන් ඒ අතරින් කිහිපදෙනෙක්. ඔවුන් දැක්වූ සුපිරි දස්කම් නිසා පසුගිය දශක 5ක කාලය තුළ ආජන්ටිනාව දෙවරක් පාපන්දු ලෝක කුසලානය දිනාගත්තා සේම පාපන්දු ලෝක කුසලාන අවසන් තරග 2කට සුදුසුකම් ලබාගත්තා. එලෙස ආජන්ටිනාව බිහිකළ සුපිරිම පාපන්දු තරු අතරින් ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ලයනල් මෙසී යි. ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් පස් දෙනා වන්නේ:

1) ලයනල් මෙසී- ගෝල 71 (තරග 142)

2) ගේබ්‍රියල් බැටිස්ටුටා- ගෝල 54 (තරග 77)

3) සර්ජියෝ ඇගියුරෝ- ගෝල 41 (තරග 97)

4) හර්නන් ක්‍රෙස්පෝ- ගෝල 35 (තරග 64)

5) දියාගෝ මැරඩෝනා- ගෝල 34 (තරග 91) 

ආජන්ටිනාව වෙනුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

2) විරල ගණයේ පාපන්දු ලෝක කුසලාන වාර්තාවක් පිහිටුවයි 

ලයනල් මෙසී 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර විරල ගණයේ වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ යොවුන් වියේ දී (අවුරුදු 20ට පෙර), අවුරුදු 20 ගණන්වල දී, සහ අවුරුදු 30 ගණන්වල දී ලෝක කුසලාන පාපන්දු තරගවල දී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයා ලෙසින් තැබූ වාර්තාව යි. 2006 වසරේ දී මුල්ම වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වුණු මෙසී එහි දී සර්බියා සහ මොන්ටිනීග්‍රෝ රාජ්‍යයට එරෙහිව ගෝලයක් වාර්තා කළා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 දින 358ක් ලෙසින් සටහන් වුණා. මෙසී 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණත් එකදු ගෝලයක්වත් වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. 

නමුත් 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ආජන්ටිනාව මුහුණදුන් පළමු තරගයේ දීම මෙසී ගෝලයක් වාර්තා කළා. ඒ නයිජීරියා කණ්ඩායමට එරෙහිව යි. එම ගෝලය ලබාගන්නා විට මෙසීගේ වයස අවුරුදු 26 දින 357ක් ලෙසින් සටහන් වුණා. එය ඔහු අවුරුදු 20 ගණන්වල දී පාපන්දු ලෝක කුසලාන තරගයක දී ලබාගත් පළමු ගෝලය බවට පත්වුණා. එසේම 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති පළමු වටයේ තරගයක දී මෙසී නයිජීරියාවට එරෙහිව ගෝලයක් වාර්තා කළා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 31 යි දින 2ක් ලෙසින් සටහන් වුණා. එය ඔහු අවුරුදු 30 ගණන්වල දී පාපන්දු ලෝක කුසලාන තරගයක දී ලබාගත් පළමු ගෝලය ලෙස සටහන් වුණා. 

 2018 පාපන්දු ලෝක කුසලානයේ දී නයිජීරියාවට එරෙහිව ලබාගත් ගෝලය (gettyimages)

1) 2014 පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වීම 

1978 වසරේ දී ඩැනියල් පසරෙල්ලා නම් නායකයා මුල්ම වරට ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා දුන්නා. ඉන් වසර 8කට පසුව දියාගෝ මැරඩෝනාගේ නායකත්වය යටතේ ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානය දිනාගත්තා. එසේම දියාගෝ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා ක්‍රීඩකයන් 1990 වසරේ දී පාපන්දු ලෝක කුසලාන අනුශූරතාවය හිමිකර ගත්තා. එදා සිට ගෙවුණු දශක දෙක ඇතුළත ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගැනීමට හැකිවුණේ නැහැ.

නමුත් 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදුන් මෙසී සිය කණ්ඩායමට අනුශූරතාවය හිමිකර දුන්නා. එදා පළමු වටයේ දී සුපිරි දස්කම් දැක්වූ මෙසී බොස්නියා සහ හර්සගෝවිනා කණ්ඩායම හමුවේ ගෝලයක්, ඉරානය හමුවේ ගෝලයක්, නයිජීරියාව හමුවේ ගෝල 2ක් ලෙස ගෝල වාර්තා කළා. එහි දී පළමු වටයේ දී ආජන්ටිනාව ලබාගත් ගෝල 6න් 4ක්ම මෙසී ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ඉන් අනතුරුව දෙවන වටය යටතේ ස්විට්සර්ලන්තය සමග පැවති තරගයේ 117 වන විනාඩියේ දී ඒන්ජල් ඩි මරියා විසින් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එම අවස්ථාවේ මෙසී මරියා වෙත උපක්‍රමශීලීව පන්දුව යොමුකරමින් ගෝලය ලබාගැනීම සඳහා අවස්ථාව සකසාදීම අමතක නොවන සිදුවීමක් වුණා. නමුත් ඉන් පසුව ඔහුට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. එදා සමස්ත තරගාවලිය පුරාවට මෙසී වාර්තා කළ ගෝල ප්‍රමාණය 4ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව තරගාවලිය තුළ තෙවනියට වැඩිම ගෝල් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට ඔහු පත්වුණා. එසේම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පන්දුව ද මෙසීට හිමිවුණා.

2014 පාපන්දු ලෝක කුසලානයේ දී රන් පන්දුව ලබාගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය- මෙසී 2006 ලෝක කුසලාන තරගාවලියේ මුල්ම ගෝලය ලබාගනිමින් (gettyimages)

මූලාශ්‍රයයන්- fifa.com 

Related Articles