Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රග්බි පිටියේ නිහඬ සටන්කරු: ඕල්බ්ලැක්ස් රීචී මැකෝ

සුන්දර නවසීලන්තයේ Hakataramea සානුව ආශ්‍රිත ව හැදි වැඩුණු, රගර් ක්‍රීඩාවට ප්‍රිය කළ අවුරුදු 18 වයසැති කොලු ගැටයකුට සිය මාමා  1998 වසරේදි  අපූර්ව ප්‍රශ්නයක් යොමු කළේ ය. එම ප්‍රශ්නය නම් Do you want to be a all black ? යන්න යි.

එහි අර්ථය නම් ‘ඔබට නවසීලන්ත රගර් කණ්ඩායම නියෝජනය කිරිමට අවශ්‍ය ද?’ යන්න යි. ඒ වනවිටත් ඔටාගෝ පිරිමි පාසලේ කැපී පෙනෙන ම රග්බි ක්‍රීඩකයා වූ මෙම කොලු ගැටයා අසල තිබූ කොළ කැබැල්ලක සිය අනාගත සැලසුම සලකුණු කරන්නට විය. 
මුලින් ම 1999 වසර තුළ වයස අවුරුදු දහනවයෙන් පහළ නවසීලන්ත සංචිතය නියෝජනය කිරිම ද,  ඉන්පසු වසරේ කැන්ටබරි අවුරුදු දහනවයෙන් පහළ කණ්ඩායම නියෝජනය කිරිම ද, 2002 වසරේ කැන්ටබරි ජේෂ්ඨ කණ්ඩායම නියෝජනය කිරිම ද ඔහුගේ සැලසුමේ අන්තර්ගත විය.

කුඩා රිචී මැකෝ සිය පාසල් කණ්ඩායම සමඟ
කුඩා රිචී මැකෝ සිය පාසල් කණ්ඩායම සමඟ දකුණේ සිට දෙවැන්නා – images.app.goo.gl

 

2003 වසරෙදි  ඔහු Crushades කණ්ඩායම නියෝජනය කරන බවත් 2003 රග්බි ලෝක කුසලානයෙන් පසුව බොහෝ නවසීලන්ත ජේෂ්ඨයන් සිය සමු ගැනිම සටහන් කරන නිසා එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තමන් නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන බවත්  ලියා තැබු මෙම තරුණයා එකී කොළ කැබැල්ලේ අවසානයේ  අකුරු තුනක් ලියා තැබුවේ ය.

එම අකුරු තුන වූවේ  “GAB” යන්නඩයි. ඔහු එයින් අදහස් කළේ තමාගේ සැලසුමේ අවසානය ශ්‍රේෂ්ඨ ඕල්බ්ලැක්වරයකු (Great All black) විම බවයි.

එලෙසින් සැලසුම සටහන් කළ තරුණයා එයින් වසර 17 ට පසු ව තම ජාත්‍යන්තර රග්බි තරග දිවිය හමාර කරන විට ලෝක කුසලාන දෙකක් සමඟින් ශ්‍රේෂ්ඨ ඕල්බ්ලැක්වරයකු බවට පත්ව තිබිණි. ඔහු අන් කවරකු නොව රීචී හියුග් මැකෝ නොහොත් හිටපු නවසීලන්ත රග්බි නායක  රීචී මැකෝ යි. මෙම සටහන ඔහුගේ ක්‍රීඩා දිවියේ විශේෂිත සිදුවීම් කිහිපයක් අළලා සකස් වූවකි.

ළඳරුවකු සමයේ සිය පියාගේ ගොවිපළේ
කුඩා ළඳරුවකු සමයේ සිය පියාගේ ගොවිපළේදි -images.app.goo.gl

ක්‍රීඩාශීලී ආරම්භය

මිලියන පහක පමණ සුළු ජනගහනයක් ජිවත් වූව ද නවසීලන්ත වැසියන් සහ ක්‍රීඩාව අතර ඇත්තේ සුවිශේෂී බැඳියාවකි. ක්‍රිකට්, රග්බි සහ පාපන්දු එම සබැඳියාවේ සුවිශේෂී මං සලකුණු කිහිපයකි. බොහෝ නවසීලන්ත දරුවන්ගේ ප්‍රථම ප්‍රේමය වන්නේ ඕවලාකාරා රගර් පන්දුව යි. ගොවිපළක හිමිකරුවකු වූ ඩොනල්ඩ් මැකෝ සහ ගුරුවරියක වූ මාග්‍රට් මැකෝට දා ව උපත ලද පළමු දරුවාට ද එම කැමැත්තේ වෙනසක් නොවිණි.

මේ නිසා ම කුඩා  රීචී මැකෝ ඔටාගෝ උසස් නේවාසික පාසලේ අධ්‍යාපනය ලබන සමයේදී ම රගර් ක්‍රීඩාව ආරම්භ කළේ ය. පාසල තුළ ඔහු දක්ෂ ෆ්ලැන්කර් ක්‍රීඩකයකු වුව ද ඔහුට අවශ්‍යය වූවේ නොම්බර 08 ස්ථානයේ ක්‍රීඩා කිරීම යි. පුහුණුකරුට අනුව රීචීගේ ශරීර විශාලත්වය ඒ සඳහා සුදුසු නොවිණි. එතැන් සිට ඔහු ඔටාගෝ පිරිමි පාසල තුළ Open Side Flanker නොහොත් විවෘත පෙදෙසේ ෆ්ලැන්කර් ක්‍රීඩකයා බවට පත් විය. 

1998 වසරේදී ඔටාගෝ පාසල සහ රොටොරුආ (Rotorua) පාසල අතර පැවති රග්බි තරගයක රීචී මැකෝ ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට විය. ඔහූ ශරීර ප්‍රමාණයෙන් එතරම් විශාල නොවුණ ද ඉක්මන් චලනය සහ වේගවත් ක්‍රීඩා විලාසය හේතුවෙන් අනෙක් පාසල් ක්‍රීඩකයන් අතරින් වඩාත් ම කැපීපෙනෙන්නට විය. මෙම තරගය නැරඹිමට පැමිණි එවකට නවසීලන්ත රග්බි ඇකඩමියේ ප්‍රධානි වූ ස්ටීවන් හැන්සන්ට ඒ පළමු දසුනින් ම රීචී මැකෝ අවශ්‍ය විය. සාර්ථක පාසල් දිවියෙන් අනතුරු ව සිය අනාගත දීර්ඝකාලීන ගුරුවරයා වූ ස්ටීවන් හැන්සන් සමඟ ඔහූ නවසීලන්ත රග්බි ඇකඩමියට ඇතුළු විය. ඔටාගෝ හි තරුණයාගේ දෛවය වෙනස් විම  එයින් ඇරඹිණි.

Richie McCaw in action at the 2015 Rugby World Cup
රිචී මැකෝ – www.eurosport.com 

සිහිනය සැබෑ විම

රිචී මැකෝට රගර් ක්‍රීඩාව සඳහා ම උපන් හැකියාවක් හෝ විශේෂිත දක්ෂතාවක් නොතිබිණි. නමුත් ඔහු සෑම විට ම අතිශය කැපවීමකින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විය. මෙම ප්‍රකාශය ස්ටීවන් හැන්සන් Chasing Great නම් වාර්තාමය චිත්‍රපටයට ද සඳහන් කොට තිබිණි. එමෙන් ම  වරක් 2011 ලෝක ශූර නවසීලන්ත රගර් කණ්ඩායමේ පුහුණුකරු වූ “සර් ග්‍රැහැම් හෙන්රි”  පැවසුවේ ද එයම ය. All black ක්‍රීඩකයන්ට පුහුණුවිම්හි දි ලබාදෙන Bronco පුහුණුවීමේ අවසන් මොහොතවන විට සියලු ම ක්‍රීඩකයන් වෙහෙස නිසා ඇදවැටුණ ද රිචී මැකෝ පමණක් නොකඩවා ධාවනයේ යෙදිණි.  ඔහුගේ කැපවීම එතරම් ඉහළ මට්ටමක විය.

98-99 පාසල් වාරයෙන් පසු ව අවුරුදු දහනවයක තරුණ රිචී  නවසීලන්ත රගර් ඇකඩමියේ  පුහුණුවීම් ආරම්හ කළේ ය. පසුකලක  ඔහූගේ දිර්ඝකාලීන මිතුරා සේ ම ලෝක රග්බි පිටියේ වැඩි ම ටෙස්ට්  ලකුණු ලබා ඇති ක්‍රීඩකයා වන නවසීලන්ත සුපිරි ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩැනියෙල් කාටර් ද ඔහුට මුණගැසෙන්නේ 2000 වසරේදි ඇකඩමිය තුළදී ය.

මුල් ම ඕල්බ්ලැක්ස්  හිස්වැස්ම

ඇකඩමිය තුළ දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු   2001 වසරේ නොවැම්බර් 17 වන දින අයර්ලන්තය සමඟ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර Landsdowne road ක්‍රීඩාපිටියේදී පැවති තරගය තුළ සිය මුල්ම ඕල්බ්ලැක්ස්  හිස්වැස්ම පැළඳීමේ අවස්ථාව  හිමි කර ගත්තේ ය. එම තරගයේදී ද විස්මිත අයුරින් ඔහු ක්‍රීඩා කළ අතර තරගයේ වීරයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය .එදින විශේෂිත සිදුවීම නම්  ශ්‍රේෂ්ඨ නවසීලන්ත වි(න්)ගර් (Winger) ක්‍රීඩකයා වූ  ජෝනා ලෝමූ පවා මෙම තරගයට ක්‍රීඩා කිරිම යි. 

Former All Blacks captain Richie McCaw transports the Webb Ellis Cup to the trophy ceremony.
ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ හිටපු නායක රිචී මැකෝ වෙබ් එලිස් කුසලානය අතැතිව – www.stuff.co.nz 

1998 වසරේ සිය මාමාට පෙන්වූ සැලසුමට අනුව ඔහුගේ ජාතික කණ්ඩායමට එක්විමේ බලාපොරොත්තුව 2003 වසර වුව ද ඔහු එම ඉලක්කය වසර දෙකකට පෙර සාර්ථක කරගැනීමට සමත් විය. ඒ සඳහා ඔහුට  විශාල කැපකිරිමක් සිදුකිරිමට විය. 

රග්බි ක්‍රීඩාවේ ඉදිරිපෙළ (Forwards) ක්‍රීඩකයන් අතරින් ෆ්ලැන්කර් ස්ථාන ද්විත්වය  සඳහා හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි. තරගයේ පන්දුවේ  පාලනය තම කණ්ඩායම සතුවීමට නම් ෆ්ලැන්කර් ක්‍රීඩකයන් දෙදෙනා නොකඩවා පීඩනය යොදමින් ක්‍රීඩා කළ යුතු වේ. මෙම කටයුත්ත අඩි හයයි අඟල් දෙකක් උසැති  Oamaru (රිචී මැකෝ ගේ උපන් ප්‍රදේශය)  සිට පැමිණි තරුණයා ඉහටත් උඩින් සිදුකරමින් සිටියේ ය.

ශිල්පීය හැකියාව

රගර් ක්‍රීඩාවේ  Turn overs නොහොත් Jackal කිරිමක් ලෙස සැලකෙන ප්‍රතිවාදීන්ගෙන් පන්දුව සොරා ගැනීමේ ක්‍රම ශිල්පය ඔහු හොඳින් ම ප්‍රගුණ කළේ ය. ඔහුගේ මෙම ශිල්පීය හැකියාව මුල් යුගයේ රග්බි ඇකඩමියේ දි පවා වැඩිවශයෙන් ඉස්මතු විය. එවකට නවසීලන්ත ජාතික කණ්ඩායමේ අත්දෑකීම් බහුල ඉදිරි පෙළ ක්‍රීඩකයන්ට පවා හිසරදයක් වන තරමට රිචී මැකෝ සිය Turn Overs කිරිම් සිදුකළේ ය. 

සිය වෘත්තීයමය දිවිය අවසාන වනතුරු ම සෑම තරගයකට ම පෙර රිචී සිය සටහන් පොතක තමන් තරගයේ සිදු කළ යුතු වගකීම් ලියා තිබේ. එම වගකීම් අතර  පන්දුව සොරා ගැනිම, ටැකල් කිරිම, හඹා යෑම ආදී කරුණු කාරණා ලියා තිබූ අතර එම සෑම  සටහනක ම  අවසානයේ ලියා තිබුනේ  Just Play and Enjoy  එහි අරුත වූවේ “ක්‍රීඩාකරන්න! විනෝදවෙන්න ” යන්න යි. ඔහු සෑම තරගයක ම අවසානයේ බලාපොරොත්තු වුවේ එය යි.

 ක්‍රීඩාකරන්න! විනෝදවෙන්න

2000 වසරේ සිට 2006 කාල පරාසය දක්වා නවසීලන්ත රග්බි කණ්ඩායමේ කැපීපෙනෙන ම ක්‍රීඩකයකු බවට මැකෝ පත්ව තිබිණි. නවසීලන්ත රග්බි කණ්ඩායම 2003 වසරේ සිට ආරම්භ වූ රග්බි ලෝක ශ්‍රේණිගත කිරිම්හි සෑම වසරක ම  නොකඩවා ප්‍රථම ස්ථානය ද හිමි කර ගත්තේ ය. නවසීලන්ත මාධ්‍යයේ පවා  බොහෝ පැසසුම්  මෙම විසිපස් හැවිරිදි තරුණයා වෙතට නොඅඩුව ලැබිණි. 2007 වසරේ රග්බි  ලෝක කුසලානය තෙක් මේ සියල්ල හොඳින් සිදුවෙමින් තිබිණි.

තරුණ මැකෝ සිය ප්‍රථම ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින්
අයර්ලන්තය සමඟ තම ප්‍රථම රග්බි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් – images.app.goo.gl

 

අමිහිරි ලෝක කුසලානය

2006 වසරෙදි රිචී මැකෝට නවසීලන්ත ජාතික කණ්ඩායමේ නායකත්වය ලැබුණු අතර ඔහුගේ පුහුණුකරු ලෙස අත්දැකීම් බහුල ග්‍රැහැම් හෙන්රි 2004 වසරේ දී  පත් ව තිබිණි. ස්ටීව් හැන්සන් සහාය පුහුණුකරු වු අතර ඒ සියලු දෙනා ම මිළඟ  ලෝක කුසලානයට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටියහ.

නවසීලන්තය ලෝක රග්බි පිටියේ කොතරම් පෙරළිකාරයන් වුව ද ඔවුන් 2007 වසර වන විටත් දිනා තිබුණේ එක් ලෝක කුසලානයක් පමණි. 1995 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී  ලෝක රග්බි අනුශුරයන් වීම හැරෙන්නට ඔවුන් පසුගිය දශකය  පුරාවට අවසන් මහා තරගයකට හෝ  සුදුසුකම් ලබා නොතිබිණි. රීචී මැකෝ ප්‍රමුඛ ඕල්බ්ලැක්ස් ක්‍රීඩකයන් ප්‍රංශය බලා පියාසර කරන්නේ වෙබ් එලිස් කුසලානය නවසීලන්තයට දිනා දිමේ  පරම  බලාපොරොත්තුවත් සමඟ යි.

එවර තරගාවලියේ කණ්ඩායම් අතරින් දක්ෂත ම කණ්ඩායම වූවේ නවසීලන්ත කණ්ඩායම යි. බොහෝ විචාරකයන් තරගාවලිය ආරම්භයේ පටන් වැඩි ම අවධානයකින් සාකච්ඡා කළේ ඕල්බ්ලැක්ස් පිල පිළිබඳව යි. ක්‍රීඩාවේ අවිනිශ්චිත බව නැවත නැවතත් සනාථ කරමින්  අර්ධ අවසන් පුර්ව තරගයේ දී  සත්කාරක ප්‍රංශය හමුවේ ලකුණු 18-20 ලෙස පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් විමට ඔවුනට සිදුවිය.

එම තරගයේ අවසාන  මොහොතේ  ප්‍රංශය වාර්තා කළ උත්සාහක දිනුම පිළිබඳ විවාදාත්මක අදහසක් තිබුණ ද, තරගයේ  අවසන් ප්‍රතිඵලය එයින් වෙනස් නොවිණි.

එම තරගයේ අවශ්‍ය ම මොහොතේ රිචී මැකෝට ඩැනියෙල් කාටර් ගේ ඩ්‍රොප් ගෝලයක් ලබාගැනිමට අවශ්‍යය වුව ද, ඔහුගේ දණහිසේ ඇති වූ ආබාධය නිසා ඔහූ ඒ වනවිටත් ක්‍රීඩාගාරයට පිය නගා අවසන් ව තිබිණි. දිනයේ අවාසනාව සහ අයහපත් විනිසුරු තීරණ හේතු පාදක කොට  ඕල්බ්ලැක්ස් ක්‍රීඩකයන් අර්ධ අවසන් පුර්ව වටයෙන් සිය ලෝක කුසලානය හමාර කළ අතර බ්‍රයන් හබානා ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන් අවසන් මහා තරගයේදි එංගලන්තය පරදා 2007  රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ ය.

The New Zealand captain, Richie McCaw, holds aloft the Webb Ellis Cup
2011 ලෝක ශූර ඕල්බ්ලැක්ස් කණ්ඩායම සමඟ – www.theguardian.com 

සිහිනයක් බඳු  ලෝක කුසලානය

ප්‍රංශයේ සිට නැවත පැමිණි නවසීලන්ත කණ්ඩායම මාධ්‍යයේ දැඩි  විවේචනයට බඳුන් විය. එයින් වැඩි ම ප්‍රහාරය එල්ල වූවේ තරුණ නායක මැකෝ හට යි. ඔහු නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට ද මාධ්‍යය වාර්තා පළ විය. නමුත් විශිෂ්ට මානසික ශක්තියකින් හෙඹි ක්‍රීඩකයකු වන රිචී මැකෝ එම කඩාවැටීමේ  සිට 2011 ලෝක කුසලානයට අවශ්‍ය සැලසුම් සකස් කිරිම සහ නව කණ්ඩායමක් ප්‍රතිසංවිධානය කිරිම ආරම්භ කළේ ය. 

රිචී මැකෝගේ ක්‍රීඩා දිවිය අලලා 2016 වසරේ නිෂ්පාදනය වූ Chasing Great වාර්තාමය චිත්‍රපටයට අදහසක් ලබාදෙමින් 2011 ලෝක ශූර ඕල්බ්ලැක්ස් කණ්ඩායමේ ෆ්ලයි හාෆ් (Fly half )  ක්‍රීඩක ඩැනියෙල් කාටර් පවසන්නේ ලෝක කුසලාන කාල සීමාව පුරා ඔහුගේ සම්පූර්ණ අවධානය තරගාවලියට යොමු වූ බවත්, රග්බි ගැන හැරෙන්නට කිසිවක් ගැන ඔහු කතා නොකළ බවත් ය. 

ස්ටීවන් හැන්සන් සමඟ
2015 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව පුහුණුකරු ස්ටීවන් හැන්සන් සමඟ – images.app.goo.gl

 

එවැනි දැඩි අවධානයකින් ලෝක කුසලානය පුරා ක්‍රීඩා කළ ඔවුන් අවසන් මහා තරගයේ දී තම ආසන්නත ම ප්‍රතිවාදියා වු ප්‍රංශය පරදා ලකුණු 08 – 07 වශයෙන් තරගය ජයග්‍රහණය කළේ ය. එහි ජයග්‍රාහී උත්සාහක දිනුම ඕල්බ්ලැක්ස් ප්‍රොප් ක්‍රීඩක ටෝනි වුඩ්කොක් ලබාගත් අතර 1987 වසරෙන්  පසුව රග්බි ලෝක කුසලානයක් නවසීලන්තයට හිමිකරදිමට රිචී මැකෝයි ප්‍රමුඛ කණ්ඩායම සමත් විය.

2011 තරගවාරයෙන් පසුව දිර්ඝකාලීන  ප්‍රධාන පුහුණුකරු සර්  ග්‍රැහැම් හෙන්රි  සිය තනතුරට සමුදීමත් සමඟ ඔහුගේ සහාය පුහුණුකරු වූ ස්ටීවන් හැන්සන් සමඟ මැකෝ සිය අවසාන සටනට සුදානම් විය. ස්ටීවන් හැන්සන් යනු 1998 වසරේදි ඔටාගෝ පාසලේ ක්‍රීඩාකරමින් සිටි රිචී මැකෝ රග්බි ඇකඩමියට කැඳවාගත් පුහුණුකරු යි. සිය ආරම්භක ගුරුවරයා සමඟ ම තරග දිවිය අවසන් කිරිම රිචී සැලකූවේ තමන් ලද දෛවෝපගත අවස්ථාවක් ලෙස යි.

අවසන් සටන

2015 රගර් ලෝක කුසලානයට ලන්ඩන් නුවර  සුදානම් වන විට රිචී මැකෝ සිය තිස්පස්වන විය පසුකරමින් සිටියි. තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කිරිමට ඔහු සතු ව බලාපොරොත්තුවක් නොවිණි. මින් පෙර ඉතිහාසයේ වෙබ් එලිස් කුසලානයක් දෙවරක් ජයග්‍රහණය කළ නායකයකු සිට නොමැත. රිචී මැකෝයි තවත් ලෝක කුසලානයක් වෙනුවෙන්  සිය අවධානය යොමු කළේ ය. සිය රට වෙනුවෙන් උපරිම ගෞරවය ලබාදී සමුගැනීම ඔහුගේ අරමුණ විය.

රිචී මැකෝ සිය බිරිඳ සහ දියණිය සමඟ
රිචී මැකෝ සිය බිරිය හා දරුවා සමඟ – images.app.goo.gl

ඔවුන් තරගාවලිය ආරම්භයේ සිට ම සුපුරුදු රිද්මයකින් ක්‍රීඩා කළේ ය. අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සහ නවක ක්‍රීඩකයන්ගෙන් පරිපුර්ණ වූ කණ්ඩායම සෑම  අතින් ම සමබර විය. අවසන් පුර්ව තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කළ නවසීලන්තය සිය සදාකාලික ප්‍රතිවාදියා වූ අසල්වැසි ඕස්ට්‍රේලියාව සමඟ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබිය.

 

2015 ඔක්තෝබර් 31 වන දින Twickenham ක්‍රීඩාංගණය අවසන් තරගයට සුදානම් වී තිබිණි. අසූ දහසකට අධික ප්‍රේක්ෂක ප්‍රමාණයක් අවසාන මහා තරගයට නැරඹිමට පැමිණ සිටිය හ. ඒ අතර රිචී මැකෝගේ මව, පියා සහ බිරිය ද  සිටියහ.

අති ආක්‍රමණශීලී ක්‍රීඩාවිලාසයකින් ක්‍රීඩා කළ නවසීලන්තය තරගය අවසන් කළේ ලකුණු 34  ට 17  අන්දමිනි. වේල්ස් ජාතික විනිසුරු නයිජල් ඕවන්ස් අසූවන මිනිත්තුවේ දී තරග අවසාන කිරිමේ නළා හඬ නිකුත් කිරිමත් සමඟ රිචී මැකෝ නම්  නාමය රග්බි ඉතිහාසයේ තමාට හිමි  පරිච්ඡේදය ලියා අවසන් කළේ ය. ඔහු සිය අවුරුදු 15 රග්බි තරග දිවිය තුළ ටෙස්ට් තරග 148 ක්‍රීඩා කළ අතර එයින් තරග 102 නායකත්වය දරා තිබිණි. රග්බි ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කළ එකම සහ පළමු නායකයා ඔහු යි.

දශකයේ රග්බි ක්‍රීඩකයා – sarugbymag.co.za 

ඔහු බ්ලෙඩිස්ලෝ (Bledislo) කුසලාන  (නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර සෑම වසරක ම පැවැත්වෙන තරග තුනකින් යුත් තරගාවලියක්) දහයක් ජයග්‍රහණය කිරිමට නායකත්වය සැපයු අතර ලෝක රග්බි ශුරතාවලි තුනක් ජයග්‍රහණය කිරිමට ද  සමත් විය. 2006 වසරේ සිට 2015 වසර දක්වා ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්ත කණ්ඩායමේ තරග ජයග්‍රහණ ප්‍රතිශතය 89% තරම් ඉහළ අගයකි.

හිස්වැසුම් 100ක් ලබා ගත් පළමු ඕල්බ්ලැක්වරයා

ඔහුගේ මංගල තරගයෙන් පසු ව විශ්‍රාම ලබා ගන්නා තෙක් ඔහුට ක්‍රීඩා කිරිමට නොහැකි වූ රග්බි ටෙස්ට් තරග සංඛ්‍යාව 32 පමණි .ඔහු රග්බි ටෙස්ට්  හිස්වැසුම් 100ක් ලබා ගත් පළමු ඕල්බ්ලැක්වරයා වන අතර රග්බි ටෙස්ට් තරග 100ක් ජයග්‍රහණය කළ ලොව පළමු ක්‍රීඩකයා ද ඔහු යි. නවසීලන්තයේ සුපර් රග්බි තරගාවලියේ Crusaders කණ්ඩායම සමඟ වසර 15 අඛණ්ඩ ව ක්‍රීඩා කළ ඔහු එහිදි ලකුණු 135ක් වාර්තා කොට ඇත.  නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ද තරග 148ක් පුරාවට ඔහු ලකුණු 135 ලබා ඇත.

රිචී මැකෝ යනු  නවසීලන්තයේ බලපත්‍රලාභි ගුවන් නියමුවෙකි.ඔහුට පෞද්ගලික ගුවන් යානා සහ හෙලිකොප්ටර් පැදවිමට බලපත්‍රයක් තිබේ. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටිය ද තවමත් බොහෝ ක්‍රිඩාශීලී ඉසව් සඳහා සිය දායකත්වය සපයමින් සිටි.

DR MCCAW: Richie McCaw receives his honorary doctorate at Lincoln University from Chancellor Tom Lambie today.
සිය පැරණි විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් – www.stuff.co.nz

ගෞරව ආචාර්ය උපාධියක්

ඔහු නවසීලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට ක්‍රීඩාකිරිමට පෙරාතු ව Lincoln විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය හා සම්බන්ධ උපාධි පාඨාමාලාවකට සහභාගි වූ අතර ඔහූ ඉගැනීමට ද අතිශය දක්ෂ විය. රිචී මැකෝ සැලකෙන්නේ Lincoln විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ මැකෝ පරම්පරාවේ සිවු වන පුරුක ලෙස යි. රග්බි ක්‍රීඩාව නිසා  ඔහුගේ  ඉගෙනිම අතරමඟ නැවැත්විමට සිදුවුව ද සිය පැරණි විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් 2012 වසරේ දී ලබා දුන්නේ ය.

පසුගිය වසරේ දී ඔහු දශකයේ රග්බි ක්‍රීඩකයා ලෙස නම් කළ ද  බොහෝ විචාරක මත අනුව රිචී මැකෝ යනු සරල භාෂාවෙන් GOAT ලෙස සැලකෙන එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨත ම රග්බි ක්‍රීඩකයා යි.

ඔහුට අනුව නම් ඒ සියල්ලෙහි ම සැඟවුණු රහස “කැපවීම යි”.

කවරයේ ඡායාරූපය : 2015 ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමෙන් පසු රිචී මැකෝ සහ කණ්ඩායම - images.app.goo.gl

මූලාශ්‍ර:

www.britannica.com

i.stuff.co.nz

www.bbc.com

Related Articles