Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිස් ගේල්ගේ IPL ශතක හයක මතක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත් තරගාවලියක්. එම නිසාම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවල දී වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන්ට ක්‍රිකට් රසිකයන් දක්වන්නේ පුදුම ආදරයක්. එලෙස නරඹන්නන් කුල්මත් කරන පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රිස් ගේල්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ශතක ලබාගත් පිතිකරුවා ලෙසින් වැජඹෙනවා. එසේ නම්, ගේල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ලබාගත් එම ශතක 6 පිළිබඳව අපි මෙම ලිපිය තුළින් කතා කරමු. 

සතුරු පිලක සිට පැරණි මිතුරන්ට බැටදුන් දඩබ්බරයා 

ක්‍රිස් ගේල් 2009 සහ 2010 වසරවල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වුණා. නමුත් ඔහු 2011 වසරේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්වුණු  අතර, තරගාවලියේ පළමු තරගයේ දී ඔහුට හමුවූයේ ඔහුගේ පැරණි මිතුරා වුණු කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම යි. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් කල්කටා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබාගත්තා. ඉන්පසුව ලකුණු 172ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්, සිය පැරණි මිතුරන්ට අමතක නොවන සංග්‍රහයක් ලබාදුන්නේ හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමග පන්දු 55කින් නොදැවී ලකුණු 102ක් ලබාගනිමින්.

ක්‍රිස් ගේල් ශතකය ලබාගත් අවස්ථාව (gyanwala.com)

පංජාබ් කණ්ඩායමට එරෙහිව ගේල් ලබාගත් වේගවත් ශතකය 

2011 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 47 වැනි තරගය පැවැත්වුණේ කිංග්ස් Xi පංජාබ් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් පංජාබ් නායක ඇඩම් ගිල්ක්‍රිස්ට් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබාදුන්නා. නමුත් ඔහු එදා ගත් තීරණය වැරදි බව ඔහුට අවබෝධ වන්නට වැඩි වෙලාවක් ගත නොවුණේ, බැංගලෝර් ආරම්භක පිතිකරු ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්ගේ ගිනිකෙළි සංදර්ශනය ආරම්භ වීමත් සමග යි. එදා පංජාබ් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහරදුන් ක්‍රිස් ගේල්, පන්දු 49කින් හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 107ක් ලබාගත්තේ බැංගලෝර් කණ්ඩායම ලබාගත් ලකුණු 85ක ජයග්‍රහණයේ නියමුවා වෙමින්.

ක්‍රිස් ගේල් ශතකය ලබාගැනීමේ සතුට සමරමින් (cricketcountry.com)

දිල්ලි කණ්ඩායමට එරෙහිව ක්‍රිස් ගේල්ගෙන් හයේ පහර සංදර්ශනයක් 

2012 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතර තරගයක් දිල්ලි නුවර ෆෙරෝසා කොට්ලා පිටියේ දී පැවැත්වුණා. දිල්ලි කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි බැංගලෝර් කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ තිලකරත්න දිල්ෂාන් සහ ක්‍රිස් ගේල් යන ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනා යි. එදා දිල්ෂාන් වේලාසනින්ම ලකුණු 10කට දැවීගියත්, දිල්ලි පන්දු යවන්නන්ට හයේ පහර සංග්‍රහයක් ලබාදුන් ගේල් හතරේ පහර 7ක් සහ හයේ පහර 13ක් සමගින් පන්දු 62ක දී නොදැවී ලකුණු 128ක් ලබාගත්තා. එදා ගේල්ගේ ඉනිම නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී බැංගලෝර් පිලේ ලකුණු තත්ත්වය 215/1 ලෙස සටහන් වුණා.

ගේල්ගේ ප්‍රවේගකාරී ඉනිමේ අවස්ථාවක් (news18.com)

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ හොඳම ඉනිම ගේල්ගේ පිත්තෙන් 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම ක්‍රිස් ගේල්ගේ පිත්තෙන් වාර්තා වුණේ 2013 තරගාවලියේ දී පූනේ කණ්ඩායමට එරෙහිව බැංගලෝර් නුවර M චින්නස්වාමී පිටියේ දී යි. තරගයේ කාසියේ වාසිය දිනූ පූනේ නායක ඇරොන් ෆින්ච් එදා සිදුවන්නට තිබුණු විපත කලින් දැන සිටියා නම් බැංගලෝර් කණ්ඩායමට කිසිදිනක මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා නොදීමට ඉඩ තිබුණා. නමුත් එදා පූනේ පන්දු යවන්නන්ගේ අවසානාවට බැංගලෝර් පිලට ලැබුණු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ගේල් සමත් වුණා. එහි දී පූනේ පන්දු යවන්නන් අන්ත අසරණ කළ ගේල් හතරේ පහර 13ක් සහ හයේ පහර 17ක් සමඟින් පන්දු 66කින් නොදැවී ලකුණු 175ක් ලබාගත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්. එදා ගේල්ගේ එම ඉනිම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ ඉනිම බවට පත්වුණා. එසේම ඔහුගේ එම ඉනිම නිසා බැංගලෝර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 263, තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවටත් පත්වුණා.

ක්‍රිස් ගේල්ගේ සුපිරි ඉනිම අවසානයේ දී ඔහුට සුබ පතන පූනේ ක්‍රීඩකයන් (sportskeeda)

පංජාබ් කණ්ඩායමට එරෙහිව ගේල්ගේ පිත්තෙන් තවත් ශතකයක් 

ක්‍රිස් ගේල් පංජාබ් කණ්ඩායමට එරෙහිව මුල්ම ශතකය ලබාගත්තේ 2011 වසරේ මැයි 6 වැනිදා, බැංගලෝර් නුවර M. චින්නස්වාමී පිටියේ දී යි. එම ඉනිම ක්‍රීඩා කර හරියටම වසර 4කට පසුව එනම්, 2015 වසරේ මැයි 6 වැනිදා එම පිටියේ දී ම නැවතත් ගේල්ට පංජාබ් කණ්ඩායමේ පන්දු යවන්නන්ව හමුවුණා. එහි දී ගේල් වසර 4කට පෙර මතකය යළි අලුත් කරමින් පන්දු 57කින් ලකුණු 117ක් ලබාගත්තේ, හතරේ පහර 7ක් සහ හයේ පහර 12ක් සමග යි. ඊට අමතරව මෙම තරග 2ම බැංගලෝර් කණ්ඩායමේ පන්දු යවන්නෙකු වූ ශ්‍රීසාන්ත් අරවින්ද්ට අමතක නොවන තරග 2ක් වුණා. ඊට හේතු වුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔහු වාර්තා කළ හොඳම පන්දු යැවීම් ද්විත්වය වුණු 14/4 සහ 27/4 ඉහත තරග දෙකේ දී වාර්තා කර තිබීම යි.

ක්‍රිස් ගේල් ශතකය ලබාගැනීමෙන් අනතුරුව එය සමරමින් (ESPNcricinfo)

පංජාබ් කණ්ඩායමට එක්වීමෙන් පසුව ගේල් ලබාගත් එකම ශතකය 

2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රිස් ගේල්, කිංග්ස් Xi පංජාබ් කණ්ඩායමට එක්වීමෙන් අනතුරුව ගේල් ලබාගත් එකම ශතකය ලබාගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් හතරේ පහර 1ක් සහ හයේ පහර 11ක් සමග පන්දු 63කින් නොදැවී ලකුණු 104ක් ලබාගත්තා. එහි දී ඔහු එම ලකුණු ලබාගත්තේ බුවනේෂ්වර් කුමාර්, රෂීඩ් ඛාන්, ක්‍රිස් ජෝර්ඩන් සහ ශකිබ් අල් හසන් යන ප්‍රබල පන්දු යවන්නන් හමුවේ යි.

ගේල් ශතකය ලබාගැනීමෙන් අනතුරුව (IPLt20.com)

කවරයේ ඡායාරූපය: හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ගේල් ශතකයක් ලබාගත් ඉනිමේ දසුනක් (Scroll.in)

Related Articles