Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටළු

ශ්‍රී ලාංකිකයන් අතීතයේ සිට ම ක්‍රීඩාවෙන් සුවිශේෂී ජයග්‍රහණයන් ලබාගත්තා. එදා මෙදා තුර ක්‍රිකට්, මළල ක්‍රීඩා, බිලියඩ්, කැරම් වැනි ක්‍රීඩාවලින් ලබාගත් ලෝක මට්ටමේ ජයග්‍රහණයන් නිසා ශ්‍රී ලංකා නාමය ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. නමුත් පසුගිය දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ අර්බුද රැසක් නිර්මාණය වෙමින් පවතිනු දකින්නට ලැබෙනවා. බොහෝ ක්‍රීඩාවලින් රටට අපේක්ෂිත ජයග්‍රහණයන් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ උද්ගතව පවතින ගැටළු කිහිපයක් මෙසේ දැක්විය හැකියි. 

යටිතල පහසුකම් පිළිබඳ ගැටළු 

අපේක්ෂාවෙන් පිරුණු ප්‍රාර්ථනා (olympic.lk)

ශ්‍රී ලංකාව පුරාම විවිධ ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්නට ලැබෙනවා. නමුත් ඉහළ තත්ත්වයේ අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ සෑම ප්‍රදේශයක් තුළම දක්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ක්‍රිකට් වැනි ක්‍රීඩා සඳහා තණතීරුවක් සැකසූ ක්‍රීඩාංගණ තිබෙන්නේ ප්‍රධාන නගර කිහිපයෙහි පමණ යි. එම නිසා දුෂ්කර ප්‍රදේශවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. 

දුෂ්කර ප්‍රදේශවල සිටින දරුවන්ට උසස් තත්ත්වයේ ක්‍රීඩා භාණ්ඩ මිල දී ගැනීමට වත්කමක් ද නැහැ. එවැනි ප්‍රදේශවල තිබෙන බොහෝ පාසල්වල ක්‍රීඩා භාණ්ඩ හිඟයක් පවතිනවා. එම නිසා ක්‍රීඩාවට දක්ෂ බොහෝ දරුවන් අකාලයේ ක්‍රීඩාවට සමුදෙනවා. එලෙස ගමෙන් බිහිවන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් ඉදිරියේ දී ඇති වුණොත් මෙරට ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත වනු ඇති.

පෝෂණය සහ ආර්ථික ගැටළු 

බොහෝ ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන්ට සිය ක්‍රීඩා කටයුතු හොඳින් කරගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට පෝෂ්‍යදායි ආහාර වේලක් ගත යුතු වනවා. නමුත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. එමඟින් ඔවුන්ට විවිධ ආබාධවලින් පීඩා විඳීමට පවා සිදුවනවා. එම නිසා අප රට තුළ ක්‍රීඩාවේ නියැලී සිටින පිරිසට නිසි පෝෂණයක් ලබා දීම තුළින් ඔවුන්ගේ දක්ෂතා මතුකර ගැනීමේ හැකියාව පවතිනවා.

ආර්ථික අපහසුතාවන්හි තවත් ගැටළුවක් වන්නේ, බොහෝ ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය වන ක්‍රීඩා උපකරණ අධික මිල දරාගත නොහැකි බව යි. ආර්ථික අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම ක්‍රීඩා භාණ්ඩ මිල දී ගැනීමට තරම් වත්කමක් නැහැ. එසේම ඔවුන්ට විදෙස් ක්‍රීඩා සංචාර සඳහා යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමට නොහැකි වන අවස්ථාවන් නිතරම අසන්නට ලැබෙනවා. එවැනි අවස්ථාවල දී ඔවුන්ට එම ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට  තිබෙන අවස්ථාව අහිමිව යනවා. එම නිසා ක්‍රීඩාවට දක්ෂ, ආර්ථික අපහසුතා තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුයි.

පුහුණුව සහ තාක්ෂණික ක්‍රම පිළිබඳව පවතින ගැටළු 

2018 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනූ 17 හැවිරිදි පාරමී (@asianathletics)

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී දස්කම් දැක්වීමට නම් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා, ඉහළ මට්ටමේ තාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රගුණ කර තිබිය යුතුයි. අතීතයේ සිටම දේශීය පුහුණුකරුවන් ලංකාවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ බව අපි කවුරුත් හොඳින්ම දන්නා කරුණක්.

එම පුහුණුකරුවන්ගේ දැඩි කැපවීම තුළින් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී දස්කම් දැක්වීමට නම් ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය තවත් දියුණු කළ යුතුයි. ඒ සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සහාය ලබාගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඇතැම් ක්‍රීඩා සඳහා එවැනි වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වුණත් බොහෝ ක්‍රීඩාවන් සඳහා තවමත් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එම නිසා ක්‍රීඩාවට දක්ෂ දරුවන්ට සහ පුහුණුකරුවන්ට විදෙස් රටවලට ගොස් එහි සිටින ජාත්‍යන්තර මට්ටමේ  පුහුණුකරුවන් යටතේ නව තාක්ෂණික ක්‍රම, පුහුණු ක්‍රම වැනි දේවල් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණොත් ඉදිරියේ දී මෙරට ක්‍රීඩාව තවත් දියුණු මට්ටමට පත්වනු ඇති. 

ක්‍රීඩා පරිපාලනය ආශ්‍රිත ගැටළු 

දැනට ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩා ආයතන, සම්මේලන, සහ පාසල් ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වන අතර, ඒවා ආශ්‍රිතව දූෂණ සහ අක්‍රමිකතා සිදු වුණු බව පසුගිය කාලයේ දී නිතර අසන්නට ලැබුණා. යම් ක්‍රීඩාවක් දියුණු වීමට නම්, එම ක්‍රීඩාවට සම්බන්ධව සිටින නිලධාරින් ක්‍රමවත්ව එහි පරිපාලන කටයුතු කළ යුතු වේ.

පරිපාලකයන් අතින් දූෂණ සහ අක්‍රමිකතා සිදුවන විට ක්‍රීඩාව ක්‍රමයෙන් විනාශය කරා යාම නැවැත්වීමට හැකියාවක් නොමැතියි. එම නිසාම මෙරට ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කාලීන අවශ්‍යතාවකි.

තේරීම් කමිටුවල ඇති අර්බුද

පිටිය තුළ දිලෙන ක්‍රීඩක සතුට (espncdn.com)

තේරීම් කමිටුවක් සතු ප්‍රධාන වගකීම වන්නේ, දේශය නියෝජනය කිරීම සඳහා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම යි. නමුත් තේරීම් කමිටු වලින් එය නිසි පරිදි සිදුවන්නේ ද යන්න ක්‍රීඩා ලෝලීන්ගේ නිරන්තර කතිකාවතට ලක් වන්නක්. 

දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු වේ. පසුගිය කාල සමයේ තේරීම් කමිටුවේ තීරණ නිසා කලකිරීමෙන් කතා කළ ක්‍රීඩකයන් පිළිබඳ පුවත් දේශීය මාධ්‍යය තුළින් නිතර අසන්නට ලැබුණා. එසේම තේරීම් කමිටු මගින් දිගින් දිගටම අසාධාරණයන් සිදුවීම නිසා අකාලයේ ක්‍රීඩා පිටියට සමුදුන් ක්‍රීඩකයන් ද මෙරට ක්‍රීඩා ඉතිහාසය තුළ හමුවනවා.

ගුණාත්මක මට්ටමේ ක්‍රීඩා තරගාවලිවල අවශ්‍යතාව 

ශ්‍රී ලංකාව තුළ දැනට පැවැත්වෙන දේශීය ක්‍රීඩා තරගාවලිවල ගුණාත්මක බව වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව තිබෙනවා. එසේම දේශීය තරගාවලි සඳහා විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරවා ගැනීමට උත්සාහ කිරීම මඟින් මෙරට ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගත හැකියි.

විශේෂයෙන්ම ක්‍රිකට්, රග්බි, පැසිපන්දු, පාපන්දු, දැල්පන්දු වැනි ක්‍රීඩාවන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහභාගිත්වය ඇතිව ලීග් තරගාවලි පැවැත්වීම මඟින් එම ක්‍රීඩාවන් දියුණු මට්ටමකට පත් කළ හැකි වනු ඇති.

ක්‍රීඩා නාලිකාවක අවශ්‍යතාවය 

අතීතයේ දී දේශිය රූපවාහිනි නාලිකා තුළින් විකානශය කළ ක්‍රීඩා තරග නිසා මෙරට දරු දැරියන් ක්‍රීඩාවට ඇලුම් කරන්නට වුණා. නමුත් වර්තමානය වන විට ක්‍රීඩා තරග විකාශනය කිරීම සඳහා දේශීය රූපවාහිනි නාලිකාවක් නැහැ. එවැන්නක් හරහා හැකිතාක් දේශීය තරග විකාශනය කිරීම මඟින් නවකයන් ක්‍රීඩාව සඳහා දක්වන උනන්දුව වැඩි වනු ඇති. එසේම ක්‍රීඩාවන් සම්බන්ධ චිත්‍රපට නිෂ්පාදනය සහ විකාශයත් එහි තවත් අදියරක් වනු ඇති.

මේවා කවදා විසඳ‍ේවි ද?

ජාතික ක්‍රීඩා සභාව රැස් වුණු අවස්ථාව (News Wire)

ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් ජාතික ක්‍රීඩා සභාවක් පත්කරනු ලැබුවා. එම ජාතික ක්‍රීඩා සභාව සඳහා ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කීර්තියට පත්ව සිටින අය, ආරක්ෂක අංශවලට සම්බන්ධව සිටින නිලධාරින් ඇතුලත් වුණා.

ඉතින්, අදාල බලධාරීන් මෙන්ම ක්‍රීඩකයන්ගේ ස්වෝත්සාහයත්, ඔවුන්ගේ පවුල්වල දායකත්වයත් හරහා ධෛර්යවාන්විතව දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමේ වගකීම අප සෑම කෙනෙක් සතුව ම පවතිනවා. ජාත්‍යන්තර ක්‍රීඩා තරග ජයකණු අසල ශ්‍රී ලංකා ධජය එසැවෙද්දී ඇඟ කිළිපොළා යන අත්දැකීම ලබන්නට කවුද අකමැති!

කවරයේ ඡායාරූපය- athletesportsmagazine.com

Related Articles