Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවසන් පන්දුව ඉරණම විසඳූ 2007 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගය

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත තරගය එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ හමුවන තියුණුම තරගවලින් එකක්. එදා වරින්වර දෙපසට දෝලනය වෙමින් පැවතුණු මෙම තරගයේ තීරණය තරගයේ අවසන් පන්දුවේ දී ලැබුණු නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට මෙය  අමතක නොවන තරගයක්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ එදා දිල්හාර ප්‍රනාන්දු අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ගෙනදුන් මෙම තරගය පිළිබඳව අපගේ සුන්දර මතකය අවදි කිරීමට යි.

සජිඩ් මහමුඩ් ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කරයි

ඇන්ටිගුවාහි විවියන් රිචඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය ලෙසින් පිටියට පිවිසි ජයසූරිය සහ තරංග පිටියට පිවිසියා. එහිදී ඔවුන් දෙදෙනා ලකුණු 37ක ආරම්භක සබඳතාවයක් ගොඩනැගුවත් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සජිඩ් මහමුඩ් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණා. එහිදී ඔහු ජයසූරියව ලකුණු 25කට සහ සංගක්කාරව ලකුණු 17කට දවාගත් නිසා  ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69/2 බවට බවට පත්වුණා.

මහමුඩ් ජයසූරියව දවාගත් අවස්ථාව (gettyimages)

මහේල සහ තරංග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනගයි

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69/2ක් ලෙස සටහන්ව තිබිය දී පිටියේ එක්වුණු නායක මහේල ජයවර්ධන සහ උපුල් තරංග ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදෙමින් ගොඩනැගූ ලකුණු 91ක සබඳතාවය නිසා, ශ්‍රී ලංකා ලකුණු පුවරුව 160/2 බවට පත්වුණේ තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හරවා ගනිමින්.

ලකුණු 62ක් ලබාගත් තරංගගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරංග-මහේල යුගලය දැවීයාමෙන් අනතුරුව එංගලන්තය තරගයට අවතීර්ණ වෙයි

ලකුණු 62ක් ලබා සිටි තරංග ෆ්ලින්ටොප්ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 15ක් එකතු වද්දී මහේල ලකුණු 56කට කොලින්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 175/4ක් බවට පත්කරමින්. ඉතාමත් ඉක්මනින් කඩුලු 2ක් දැවීගිය එම අවස්ථාවේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා හොඳ සබඳතාවයක් අවශ්‍ය වුවත්, දිල්ෂාන් ලකුණු 5කට දුවද්දී දැවීගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 193 සටහන් වන විට 5වන කඩුල්ලත් ඔවුන්ට අහිමි කරමින්.

ලකුණු 56ක් ලබාගත් මහේල පන්දුවට පහරදෙමින් (gettyimages)

මහමුඩ්-ෆ්ලින්ටොප් සුසංයෝගය එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 235කට සීමා කරයි

පන්දුවාර 42.1ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දු 47 තුළ උපරිම ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් බලාපොරොත්තුවෙන් සිටියා. නමුත්  ඔවුන්ගේ එම බලාපොරොත්තු සුන්කළ ෆ්ලින්ටොප් සහ මහමුඩ් ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 50 තුළ 235කට සීමා කළේ තරගය දෙපිලටම විවෘත කරමින්.

ශ්‍රී ලංකා ඉනිම නිමාවීමෙන් පසු ෆ්ලින්ටොප් සහ මහමුඩ් ක්‍රීඩාගාරය වෙත ගමන් කරන අයුරු(gettyimages)

වාස් එංගලන්ත නායකයාව කලින්ම ගෙදර යවයි

ලකුණු 236ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් වුණු මයිකල් වෝන් සහ එඩ් ජොයිස් මුල සිටම වාස් සහ මාලිංගගේ මනරම් පන්දු යැවීම හමුවේ පන්දුවට පහරදුන්නේ ඉතාමත් අසීරුවෙන්. එලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් යොමුකළ පීඩනය නිසාම වාස් යැවූ තෙවන පන්දුවාරයේ මුල්ම පන්දුවෙන් මයිකල් වෝන් ලකුණු නොලබා දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුවේ සටහන් වුණේ ලකුණු 1ක් පමණ යි.

මයිකල් වෝන් දැවීගිය අවස්ථාව (gettyimages)

එංගලන්ත කණ්ඩායම අසීරු අඩියකට වැටෙයි

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල දැවීයාමෙන් අනතුරුව පිටියේ එක්වුණු ජොයිස් සහ බෙල්ගෙන් හොඳ සබඳතාවයක් බලාපොරොත්තු වුණත්, වාස් සහ මාලිංගගෙන් ඔවුන්ට කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එදා මාලිංග ජොයිස්ට දිගින් දිගටම එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙසින් ජොයිස් ලකුණු 11ක් ලබා සිටිය දී මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියේ එංගලන්ත ලකුණු පුවරුව 11/2 බවට පත් කරමින්.

මාලිංග ජොයිස් දවාගැනීමේ සතුට සමරමින්(gettyimages)

පීටර්සන් සහ බෙල් තරගය ශ්‍රී ලංකා පිලෙන් උදුරාගනියි

එංගලන්ත කණ්ඩායම අසීරු අඩියක වැටී සිටි අවස්ථාවේ දී පිටියේ එක්වුණු කෙවින් පීටර්සන් සහ ඉයන් බෙල් පන්දු 99කින් අගනා ලකුණු 90ක සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස ඔවුන් දෙදෙනා ගොඩනැගූ සබඳතාවය නිසා ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට අවශ්‍ය වුණේ පන්දු 149කින් ලකුණු 135ක් පමණයි.

පීටර්සන් සහ බෙල්ගේ සබඳතාවය අතරතුර දසුනක් (gettyimages)

බෙල්ගේ දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ වෙයි

ලකුණු 47ක් ලබා සිටි ඉයන් බෙල්, ජයසූරියගේ දක්ෂ පන්දු රැකීම නිසා දුවද්දී දැවීයාමෙන් පසුව එංගලන්ත ලකුණු පුවරුව 101/3ක් බවට පත්වුණු අතර, එම අවස්ථාවේ දී එම කඩුල්ල ශ්‍රී ලංකාවට අවශ්‍යම එකක් බවට පත්වී තිබුණා.

බෙල් දුවද්දී දැවීගිය අවස්ථාව (gettyimages)

බෙල්ගේ නික්මයාමෙන් පසුව පීටර්සන් සහ කොලින්වුඩ් එක්ව එංගලන්ත ලකුණු පුවරුව 126/3 දක්වා ඉහළ නැංවුවත්, මුරලිදරන් ඉතාමත් දක්ෂ උඩපන්දුවක් රැකගනිමින් ලකුණු 58ක් ලබා සිටි පීටර්සන්ව දවාගැනීමත් සමග නැවතත් තරගය දෙපිලටම විවෘත වුණා.

මුරලිදරන් විසින් පීටර්සන්ගේ උඩපන්දුව රැකගත් අවස්ථාව(gettyimages)

එංගලන්ත කණ්ඩායමේ ලකුණු තත්වය 126/4ක් බවට පත්වුණු අවස්ථාවේ ඔවුන්ගේ කණ්ඩායමේ සිටි අත්දැකීම් බහුල පිතිකරුවන් යුගලය වුණේ ෆිලින්ටොප් සහ කොලින්වුඩ් යන පිතිකරුවන් දෙදෙනා යි. නමුත් එම අවස්ථාවේ දිල්හාර ප්‍රනාන්දු ක්‍රියාත්මක වෙමින් එකම පන්දු වාරයක් තුළ ඔවුන් දෙදෙනාවම දවාගත් නිසා එංගලන්ත ලකුණු පුවරුව 133/6 දක්වා පසුබෑමට ලක්වුණේ ශ්‍රි ලංකා පිල දෙසට තරගය දෝලනය වෙමින්.

ෆ්ලින්ටොප්ව දවාගැනීමේ සතුට සමරණ දිල්හාර (gettyimages)

බොපාරා සහ නික්සන් සිය සටන අත් නොහරියි

බලාපොරොත්තු නොවුණු අවස්ථාවක ඉක්මනින්ම කඩුලු 2ක් බිඳ වැටුණත් සිය සටන අත්නොහැරි බෝපරා සහ නික්සන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට නොභියව පහරදෙමින් පන්දු 92කින් ගොඩනැගූ ලකුණු 87ක සබඳතාවය නිසා, අවසන් පන්දුවාරය තුළ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 12ක්. ඒ වන විට නික්සන් ලකුණු මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගොස් තිබුණත් ලකුණු 45ක් ලබා සිටි බොපාරා නොදැවී කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයයක් වුණා.

බොපාරා සහ නික්සන් පන්දුවට පහරදෙමින් (gettyimages)

කිසිදා අමතක නොවන දිල්හාරගේ අවසන් පන්දුවාරය

ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍ය වුණු අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට මහමුඩ් ලකුණක් ලබාගෙන පන්දුවට පහරදීමේ අවස්ථාව බොපාරාට ලබාදුන් අතර, බොපාරා පන්දු 2ක් තුළ ලකුණු 6ක් ලබාගනිමින් අවසන් පන්දු 3 තුළ ලබාගැනීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය 5 දක්වා අඩු කළා. ඉන්පසුව එම පන්දුවාරයේ 4 සහ 5 පන්දුවල දී තවත් ලකුණු 2ක් ලබාගත් එංගලන්ත පිතිකරුවන්ට අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු ලකුණු ප්‍රමාණය 3ක්. තරගයේ ජය/ පරාජය තීරණය කිරීම සඳහා දිල්හාර යැවූ  එම අවසන් පන්දුවේ දී වේගවත් පහරක් එල්ල කිරීමට ගිය බොපාරා කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු 52කට දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයක් උරුමකර දෙමින්.

අවසන් පන්දුවේදී බොපාරා දැවීගිය අවස්ථාව (gettyimages)

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – 235/8(50), (තරංග-62, මහේල-56, මහමුඩ්-50/4, ෆ්ලින්ටොප්-35/3)

එංගලන්තය – 233/8(50), (පීටර්සන්-48, බොපාරා-52, දිල්හාර-41/3)

තරගයේ වීරයා – රවී බොපාරා

කවරයේ ඡායාරූපය - බොපාරා දැවීගිය අවස්ථාව (gettyimages)

Related Articles