Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියේ වීරයෝ

7 වන ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වුණා. එනිසා මේ වන විට ක්‍රිකට් උණුසුම ලොව පුරාජම පැතිරෙමින් පවතිනවා. එවැනි වටපිටාවක පසුගිය 20/20 ලෝක කුසලාන තරගාවලිවල දී සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනකු පිළිබඳ යළි සිහිපත් කිරීමට අප කල්පනා කළා. ඒ යටතේ මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ  නිමාවට පත්වුණු 20/20 ලෝක කුසලාන හයේ දී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් විශිෂ්ට ක්‍රීඩකයන් පිළිබඳව යි. 

2007 T20 ලෝක කුසලානය- ෂහිඩ් අෆ්රිඩී (පාකිස්තානය)

2007 වසරේ දී පැවති මංගල 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකාව සත්කාරකත්වය ලබා දුන්නා. රටවල් 12ක සහභාගිත්වයෙන් පැවැත්වුණු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් ද්විත්වය යි. එහි දී පාකිස්තාන කණ්ඩායම අවසන් තරගයට රැගෙන යාම සඳහා පිත්තෙන් සහ පන්දුවෙන් අගනා මෙහෙයක් ඉටු කළේ ෂහිඩ් අෆ්රිඩී නම් සුපිරි තරුව යි.

අෆ්රිඩි බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

වේගයෙන් පන්දුවට පහර දීමට වැඩි කැමැත්තක් දැක්වූ අෆ්රිඩී එවර තරගාවලියේ දී 197.82ක් තරම් ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව පන්දු 15කින් ලබා ගත් ලකුණු 39 යි. 

එදා පිත්තට වඩා පන්දුවෙන් දස්කම් පෑ අෆ්රිඩි තරගාවලිය පුරාවට පන්දුවාර 28ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 189ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 12ක් දවා ගත්තා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට දවාගත් කඩුලු 4යි.

අෆ්රිඩී තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් අවස්ථාව – gettyimages.com

ඊට අමතර ව සුපිරි 8 වටය යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකාට එරෙහි ව ලකුණු 18කට දවා ගත් කඩුලු 3 අෆ්රිඩී පන්දුවෙන් පෑ අමතක නොවන දස්කමක් බවට පත්වුණා. එවර තරගාවලියේ දී අෆ්රිඩීගේ පන්දු යැවීමේ සාමාන්‍ය 15.75ක් ලෙසින් සටහන් වෙද්දී ඔහු පන්දුවාරයක දී ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ලකුණු 6.75ක් පමණ යි. එලෙස තරගාවලිය පුරාවට තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ෂහිඩ් අෆ්රිඩි නම් සුපිරි තරුවට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

2009 T20 ලෝක කුසලානය- තිලකරත්න දිල්ෂාන් (ශ්‍රී ලංකාව) 

එංගලන්ත බිමේ පැවති 2009 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට තියුණු මුහුණුවරක් ගත්තා. එදා මූලික වටයේ තරග ද්විත්වයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකාව පහසුවෙන් ම සුපිරි කණ්ඩායම් 8 තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම තරග වටයේ දී සුපුරුදු රිද්මය පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානය, අයර්ලන්තය, සහ නවසීලන්තය යන කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව තරගයේ දී කොදෙව්වන් හමුවේ යළිත් වරක් සුපිරි දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ම වරට 20/20 ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා පාකිස්තානය හා සුදුසුකම් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අයුරින් අවසන් තරගය කරා පැමිණි ගමනේ දී ලබාගත් ජයග්‍රහණ සඳහා පිත්තෙන් වැඩි දායකත්වයක් ලබාදුන්නේ තිලකරත්න දිල්ෂාන් නම් සුපිරි පිතිකරුවා යි.

දිල්ෂාන් 2009 ලෝක කුසලාන තරගාවලියේ දී – gettyimages.com

 

පහතින් දක්වා තිබෙන්නේ මූලික වටයේ සිට අවසන් පූර්ව තරගය දක්වා පැවති තරගවල දී දිල්ෂාන් ලකුණු ලබා ගත් ආකාරය යි.

මූලික වටයේ තරගවල දී

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 53 (32)

කොදෙව්වන්ට එරෙහිව- 74 (47)

සුපිරි අට වටයේ තරගවල දී 

පාකිස්තානයට එරෙහිව- 46 (39)

අයර්ලන්තයට එරෙහිව- 0 (2)

නවසීලන්තයට එරෙහිව- 48 (37)

අවසන් පූර්ව තරගයේ දී 

කොදෙව්වන්ට එරෙහිව- 96* (57)

දිල්ෂාන් අවසන් පූර්ව තරගයේ දී  – gettyimages.com

 

දිල්ෂාන් අවසන් පූර්ව තරගයේ දී දියත් කළ ඉනිම අති විශිෂ්ට එකක් වුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 158න් 96ක් දිල්ෂාන්ගේ පිත්තෙන් වාර්තා වීම විශේෂත්වයක් වුණා. දිල්ෂාන් ඉතාමත් හොඳ රිද්මයක සිටි නිසා 20/20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම සඳහා ඉදිරියෙන් ම සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

අවසන් තරගයේ දී අවාසනාවන්ත අයුරින් දිල්ෂාන් ලකුණු නොලබා දැවී යාම ශ්‍රී ලංකා පරාජයට විශාල හේතුවක් වුණා. එලෙස අවසන් තරගයේ දී අසාර්ථක වුණු දිල්ෂාන් සමස්ත තරගාවලිය තුළ දී ඉනිම් 7ක් ක්‍රීඩා කරමින් ලකුණු 317ක් ලබාගෙන තිබුණා. එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 52.83ක් ලෙසින් ද ප්‍රහාරක වේගය 144.74ක් ලෙසින් ද සටහන් වුණා. ඒ අයුරින් තරගාවලිය පුරාවට පිත්තෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා දිල්ෂාන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

2010 T20 ලෝක කුසලානය- කෙවින් පීටර්සන් (එංගලන්තය) 

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවති  2010 T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ එංගලන්ත කණ්ඩායම යි. එදා එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ කෙවින් පීටර්සන් නම් සුපිරි පිතිකරුවා යි. එහි දී එංගලන්ත කණ්ඩායම මූලික වටයේ තරගවල දී උරෙනුර ගැටුණේ බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය යන කණ්ඩායම් සමඟ යි.

එම තරගවල දී පීටර්සන්ට ලබා ගැනීමට හැකිවුණේ පිළිවෙළින් ලකුණු 24ක් සහ 9ක් පමණ යි. ඉන් අනතුරුව පැවති සුපිරි 8 තරග වටයේ දී පීටර්සන්ගේ පිත්ත හොඳින් කතා කළා. එහි දී ඔහු ක්‍රීඩා කළ තරග ද්විත්වයේ දී පහත අයුරින් ලකුණු ලබාගෙන තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

පාකිස්තානයට එරෙහිව- 73* (52)

දකුණු අප්‍රිකාවට එරෙහිව- 53 (33)

පීටර්සන් පාකිස්තානයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

 

ඉන් නොනැවතුණු පීටර්සන් අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් තරගයේ දීත් පිත්තෙන් සාර්ථක වුණා. එහි දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී පන්දු 26කින් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක අවසන් තරගයේ දී පන්දු 31කින් ලකුණු 47ක් ද වාර්තා කළා. පහතින් දක්වා තිබෙන්නේ සමස්ත තරගාවලියේ දී පීටර්සන්ගේ පිතිකරණ දක්ෂතාවල සාරාංශය යි.

ඉනිම්- 6,  නොදැවීම්- 2,  ලකුණු 248,  අර්ධ ශතක- 2,  හොඳම ඉනිම- 73* (52) පාකිස්තානයට එරෙහිව පිතිකරණ සාමාන්‍ය- 62.00,  ප්‍රහාරාත්මක වේගය- 137.77

එලෙස පීටර්සන් සිය පිත්තෙන් දැක්වූ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

පීටර්සන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමිවුණු අවස්ථාව – gettyimages.com

2012 T20 ලෝක කුසලානය- ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව)

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ යම් තරගාවලියක දී තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්ව සිටින්නේ ෂේන් වොට්සන් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා යි. ඔහු එලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එදා මූලික වටයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය යන කණ්ඩායම්වලට එරෙහිව යි.

එහි දී වොට්සන් දැක්වූ දස්කම් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

අයර්ලන්තයට එරෙහිව- 51 (30) සහ 26/3 (4)

කොදෙව්වන්ට එරෙහිව- 41* (24) සහ 29/2 (4)

වොට්සන් කොදෙව් තරගයේ දී පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉහත තරග ද්විත්වයේ දී ම තරගයේ වීරයා සම්මානය ෂේන් වොට්සන්ට හිමි වුණා. එම දස්කම්වලින් සෑහීමකට පත් නොවුණු වොට්සන් සුපිරි 8 වටයේ තරගවල දීත් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. පහතින් දක්වා තිබෙන්නේ ඒ පිළිබඳව යි.

ඉන්දියාවට එරෙහිව- 72 (42) සහ 34/3 (4)

දකුණු අප්‍රිකාවට එරෙහිව- 70 (47) සහ 29/2 (4)

පාකිස්තානයට එරෙහිව- 8 (14) සහ 23/1 (4)

ඉහත තරග ත්‍රිත්වයෙන් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග දෙක පමණ යි. එම තරගවල තරගයේ වීරයා සම්මානය ෂේට් වොට්සන්ට හිමි වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

ඉන්දියාවට එරෙහිව තරගයේ දී පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉන් අනතුරු ව පැවති අවසන් පූර්ව තරගයේ දී වොට්සන් පිත්තෙන් මෙන් ම  පන්දුවෙන් ද අසාර්ථක වුණා. එහි දී සිය පන්දුවාර 4 තුළ ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් වොට්සන් පිත්තෙන් ලබා ගත්තේ ලකුණු 7ක් පමණ යි. එදා වොට්සන් සමස්ත තරගාවලියේ දී පෙන්වූ දස්කම් මේ අයුරින් දක්වන්නට පුළුවන්. 

ඉනිම්- 6,  නොදැවීම්- 1,  ලකුණු 249,  අර්ධ ශතක- 3,  හොඳම ඉනිම- 72 (42), ඉන්දියාවට එරෙහිව,  පිතිකරණ සාමාන්‍ය- 49.80,  ප්‍රහාරාත්මක වේගය- 150.00

පන්දුවාර- 24,  ලකුණු 176,  කඩුලු- 11,  හොඳම පන්දු යැවීම- 26/3 අයර්ලන්තයට එරෙහිව, පන්දු යැවීමේ සාමාන්‍ය- 16.00, පන්දුවාරයකට ලකුණු- 7.33

ඒ අයුරින් තරගාවලිය පුරා වොට්සන් දැක්වූ සුපිරි දස්කම් නිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. එය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් තරගය සඳහා ක්‍රීඩා නො කළ ක්‍රීඩකයකුට තරගාවලියේ වීරයා සම්මානය හිමිවුණු මුල් ම අවස්ථාව ලෙසින් සටහන් වුණා. 

2014 T20 ලෝක කුසලානය- විරාත් කෝලි (ඉන්දියාව)

2014 T20 ලෝක කුසලාන තරගාවලිය බංගලිදේශයේ දී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා ඉතාමත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් සහභාගි වුණා. එදා ඔවුන් මූලික වටයේ තරග 4 පහසුවෙන් ජයග්‍රහණය කරමින් අවසන් 

පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා. එහි දී ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු විරාත් කෝලි ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව ලකුණු ලබාගත්තේ පහත දැක්වෙන ආකාරයට යි.

පාකිස්තානයට එරෙහිව- 36* (32)

කොදෙව්වන්ට එරෙහිව- 54 (41)

බංග්ලාදේශයට එරෙහිව- 57 (50)

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 23 (22)

කෝලි කොදෙව්වන්ට එරෙහිව දස්කම් දක්වමින්- gettyimages.com

 

ඉන් පසුව පැවති අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් තරගයේ දී කෝලි විශිෂ්ට අයුරින් පන්දුවට පහර දුන්නා. එහි දී ඔහු ලකුණු ලබා ගත් ආකාරය පහත අයුරින් දක්වන්නට පුළුවන්.

අවසන් පූර්ව තරගය-  දකුණු අප්‍රිකාවට එරෙහිව- 72* (44)

අවසන් තරගය- ශ්‍රී ලංකාවට එරෙහිව- 77 (58)

ඒ අයුරින් තරගාවලිය පුරාවටම පිත්තෙන් දස්කම් දැක්වූ විරාත් කෝලිගේ පිතිකරණ දත්ත පහතින් දක්වා තිබෙනවා.

ඉනිම්- 6,  නොදැවීම්- 2,  ලකුණු 319,  අර්ධ ශතක- 4,  හොඳම ඉනිම- 77 (58) ශ්‍රී ලංකාවට එරෙහි ව,  පිතිකරණ සාමාන්‍ය- 79.75,  ප්‍රහාරාත්මක වේගය- 129.14

එවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී විරාත් කෝලි සිය පිත්තෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණත් ඉන්දීය කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා. තරගාවලිය පුරාවට සිය පිත්තෙන් හපන්කම් පෑ විරාත් කෝලිට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. 

කෝලි තරගාවලියේ වීරයා සම්මානය සමඟින් – gettyimages.com

2016 T20 ලෝක කුසලානය- විරාත් කෝලි (ඉන්දියාව)

2016 T20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබාදුන්නේ ඉන්දියාව යි. එනිසා ඉන්දියාව එවර 20/20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා. එදා  තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී කොදෙව්වන් හමුවේ ලද පරාජයත් සමඟින් ඉන්දියාවේ ලෝක කුසලාන ගමන නිමාවට පත්වුණා. එලෙස ඉන්දියාවේ 20/20 ලෝක කුසලාන බොඳවී ගියත් ඔවුන්ට සතුටු විය හැකි එක් කාරණයක් තිබුණා. ඒ පිට පිට ම දෙවන වරටත් විරාත් කෝලිට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණු නිසා යි. පහතින් දක්වා තිබෙන්නේ එවර තරගාවලියේ කෝලි පෑ හපන්කම් පිළිබඳව යි.

නවසීලන්තයට එරෙහිව- 23 (27)

පාකිස්ථානයට එරෙහිව- 55* (37)

බංග්ලාදේශයට එරෙහිව- 24 (24)

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 82* (51)

අවසන් පූර්ව තරගය- කොදෙව්වන්ට එරෙහිව- 89* (47) 

ඉනිම්- 5,  නොදැවීම්- 3,  ලකුණු 273,  අර්ධ ශතක- 3,  හොඳම ඉනිම- 89* (47) කොදෙව්වන්ට එරෙහිව පිතිකරණ සාමාන්‍ය- 136.50,  ප්‍රහාරාත්මක වේගය- 146.77

කෝලි අවසන් පූර්ව තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

කවරයේ ඡායාරූපය - දිල්ෂාන් 2009 T20 ලෝක කුසලානයේ දී - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

icccricket.com 

Related Articles