Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වුණු සුවිශේෂී ක්‍රීඩා ජයග්‍රහණ

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග පසුගිය දිනවල ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වුණා. එහි දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයට සහභාගි වුණු දිනේෂ් ප්‍රියන්ත නම් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා නව ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අයුරින් දිනේෂ් ලබා ගත් ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වුණු විශිෂ්ටත ම ජයග්‍රහණක් බවට පත්වුණා.

දිනේෂ් එලෙස ලබා ගත් සුපිරි ජයග්‍රහණයත් සමඟ ම මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වුණු එවැනි ජයග්‍රහණ පිළිබඳ ව බොහෝ දෙනකු තොරතුරු සොයන්නට පටන් ගත්තා.  ඒ නිසා එදාමෙදා තුර ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳ ව ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා. 

9) 1973 බිලියඩ් ලෝක ශූරතාව 

1973 ලෝක ආධුනික බිලියඩ් සහ ස්නූකර් ශූරතාවලිය බොම්බායේ ව්රෝජ් සක්ලාට්වලා ශාලාවේ දී පැවැත්වුණා. ඒ සඳහා රටවල් රටවල් 6කින් ක්‍රීඩකයන් 9 දෙනකු සහභාගි වුණා. ඔවුන්ගේ නම් පහත දක්වා තිබෙනවා.

මොහොමඩ් ලාෆීර්- ශ්‍රී ලංකාව 

සතිෂ් ටොහාන්- ඉන්දියාව 

මයිකල් පෙරෙයිරා- ඉන්දියාව 

ඇල්ප්‍රඩ් නෝලන්- එංගලන්තය

එල්.යූ ටාකෝ- ස්කොට්ලන්තය 

එරික් සිමන්ස්- නවසීලන්තය

බ්‍රයන් හර්ක්නස්- නවසීලන්තය

ක්ලයිව් එවර්ටන්- වේල්ස් 

ෆිල් ටෙරන්ට්- ඕස්ට්‍රේලියාව 

මෙම තරගාවලියේ දී එක් ක්‍රීඩකයකු අනිත් ක්‍රීඩකයන් 8දෙනා සමඟ ම තරග වැදුණා. එහි දී තමන් සහභාගි වුණු තරග 8 ම ජයග්‍රහණය කළ මොහොමඩ් ලාෆීර් ලෝක බිලියඩ් ශූරතාව හිමි කර ගත්තා. එය ශ්‍රී ලංකාවට හිමි වුණු මුල් ම ලෝක ශූරතාව ලෙසින් ඉතිහාසගත වුණා. 

මොහොමඩ් ලාෆීර් – silumina

8) 2018 කායවර්ධන ලෝක ශූරයා- ලූෂන් පුෂ්පරාජ් 

2018 ලෝක කායවර්ධන ශූරතාවලිය තායිලන්තයේ දී පැවැත්වුණා. දෙසැම්බර් 14-16 දක්වා පැවැත්වුණු එම තරගාවලිය සඳහා රටවල් 52කින් මුල් පෙළේ ක්‍රීඩකයන් 600කට වැඩි පිරිසක් සහභාගි වුණා. එහි දී ශ්‍රී ලාංකීය ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් කිලෝ ග්‍රෑම් 100ට වැඩි බර පංතිය යටතේ තරග වැදුණා.

එදා ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අභිබවා ගිය පුෂ්පරාජ් තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා. ඒ අනුව ඔහු කිලෝ ග්‍රෑම් 100ට වැඩි බර පංතියේ කායවර්ධන ලෝක ශූරයා ලෙසින් අභිෂේක ලබමින් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමි කර දුන්නා. 

ලූෂන් පුෂ්පරාජ් ජයග්‍රහණය ලබාගත් මොහොත – Twitter

 

7) කැරම් ක්‍රීඩාවෙන් දිනා ගත් ලෝක ශූරතා 

1991 වසරේ දී මුල් ම කැරම් ලෝක ශූරතා තරගාවලිය නවදිල්ලියේ දී පැවැත්වුණා. එදා සිට 2004 වසර දක්වා පැවැත්වුණු කැරම් ලෝක ශූරතා තරගාවලිවල දී ඉන්දියානු ආධිපත්‍යයට අභියෝග කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණේ නැහැ.

2008 වසරේ ප්‍රංශයේ කෑන්ස් හි දී පැවැත්වුණු කැරම් ලෝක ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් පිරිමි කණ්ඩායම් කැරම් ලෝක ශූරතාව දිනා ගත්තා. එදා ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සිව්දෙනා පහත දක්වා තිබෙනවා. 

*2008 පිරිමි කණ්ඩායම් ලෝක ශූරතාව 

චමිල් කුරේ- නායක 

නිශාන්ත ප්‍රනාන්දු 

ජර්මේන් ගුණවර්ධන 

විරාජ් ප්‍රනාන්දු 

ඉන් වසර 4කට පසුව එනම් 2012 වසරේ කොළඹ දී පැවැත්වුණු ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන්ත ප්‍රනාන්දු කැරම් ඒකල ලෝක ශූරතාව දිනා ගත්තා. එය ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු කැරම් ඒකල ලෝක ශූරතාවක් දිනා ගත් මුල් ම සහ එක ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා. 

*2012 පිරිමි කැරම් ඒකල ලෝක ශුරයා 

නිශාන්ත ප්‍රනාන්දු 

ඉන් පසුව 2016 වසරේ පැවති 7 වන කැරම් ලෝක ශූරතාවලියේ දී සහ 2018 වසරේ දී පැවැත්වුණු පස්වන කැරම් ලෝක කුසලාන තරගාවලියේ දී පිරිමි කණ්ඩායම් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

එම අවස්ථා 2දී ම ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ශූරතා දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් ශ්‍රී ලංකාවට කැරම් ලෝක ශූරතා උරුම කරදුන් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් පහත දක්වා තිබෙනවා.   

*2016 පිරිමි කණ්ඩායම් ලෝක ශූරතාව 

චමිල් කුරේ- නායක 

නිශාන්ත ප්‍රනාන්දු 

මොහොමඩ් හලාල්ඩීන් 

මොහොමඩ් හිල්මි 

*2018 පිරිමි කණ්ඩායම් ලෝක කුසලානය 

චමිල් කුරේ- නායක 

නිශාන්ත ප්‍රනාන්දු 

මොහොමඩ් හිල්මි 

උදේෂ් චන්දිම 

2018 කැරම් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම – Twitter

6) පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම් 

ශ්‍රී ලංකාව මුල් ම වරට පැරා ඔලිම්පික් තරගාවලියකට සහභාගි වුණේ 1996 වසරේ දීයි. ඉන් වසර 16කට පසුව මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී පැවැත්වුණු 14 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙලේ දී මුල් ම වරට ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වුණා.

එහි දී T46 කාණ්ඩයේ පිරිමි මීටර් 400 තරගයෙන් ප්‍රදීප් සංජය ක්‍රීඩකයා ලෝකඩ පදක්කමක් ලබා ගත්තා. 

ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කම සමඟ – (getty images

 

ඉන් අනතුරුව පැවැත්වුණු පැරා ඔලිම්පික් උළෙලවල් ද්විත්වයේ දී හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෝකඩ පදක්කම් දිනා ගත්තා. ඔවුන්ගේ නම් පහතින් දක්වා තිබෙනවා. 

2016 රියෝ ඔලිම්පික් උළෙල- දිනේෂ් ප්‍රියන්ත හේරත්- හෙල්ල විසි කිරීම (F46 කාණ්ඩය)

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල- සමිත දුලාන් කොඩිතුවක්කු- හෙල්ල විසිකිරීම (F44 කාණ්ඩය) 

සමිත දුලාන් ලෝකඩ පදක්කම සමඟ -getty images 

5) සුසන්තිකා ජයසිංහගේ ලෝක මලල ක්‍රීඩා ශූරතා පදක්කම් 

1983 වසරේ පින්ලන්තයේ හෙල්සිංකි නුවර දී මුල් ම ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වුණා. එදා සිට අද දක්වා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලි 17ක් පවත්වා තිබෙනවා.

එම තරගාවලිවල දී ශ්‍රී ලංකාවට හිමි වුණේ පදක්කම් 2ක් පමණ යි. එම පදක්කම් ද්විත්වය ම දිනා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂත ම කෙටිදුර ධාවන ශූරිය වුණු සුසන්තිකා ජයසිංහ යි. පහත දක්වා තිබෙන්නේ ඇය ලබා ගත් ජයග්‍රහණය යුගළය පිළිබඳව යි.

1997 ඇතන්ස් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය- කාන්තා මීටර් 200 ඉසව්ව- රිදී පදක්කම 

2007 ඔසාකා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය- කාන්තා මීටර් 200 ඉසව්ව- ලෝකඩ පදක්කම 

1997 වසරේ දී සුසන්තිකා තරගය අවසන් කළ මොහොත – gettyimages   

 

4) ඔලිම්පික් රිදී පදක්කම් යුගළය 

1948 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා මුල් ම වරට ලංකා කණ්ඩායමක් සහභාගි වුණා. එදා සිට දී අඛණ්ඩව ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකාවට ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ වරම් අහිමි වුණේ 1976 වසරේ දී පමණ යි.

ඒ අයුරින් ගෙවුණු වසර 73ක කාල සමය තුළ ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩාවෙන් රිදී පදක්කම් 2ක් ලබා ගත්තා. ඉන් පළමු රිදී පදක්කම 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ඩන්කන් වයිට් දිනා ගත්තා. ඒ මීටර් 400 කඩුලු පැනීමේ තරග ඉසව්ව යටතේ යි.

ඩන්කන් වයිට් ඔලිම්පික් තරග බිමේ – getty images

 

ඩන්කන් වයිට් එම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගෙන වසර 52ක් ගත වන තුරු ම ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් හිමි වුණේ නැහැ. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී වසර 52ක ඔලිම්පික් පදක්කම් ඉඩෝරය නිමාවට පත් කළ සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තා.

පසු කලෙක එම ඉසව්වේ ජයග්‍රාහිකාව වුණු අමෙරිකාවේ මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක චෝදනාවට වරදකාරිය වී ඇයගේ රන් පදක්කම අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමි වුණා.

සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී සුසන්තිකා පදක්කම හිමිකරගත් අවස්ථාව – getty images

 

3) 2014 – T20 ලෝක කුසලාන ජයග්‍රහණය

2014 T20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වුණා. තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් සමඟ උරෙනුර ගැටීමට සිදු වුණා. එම තරග වටයේ දී ශ්‍රී ලංකාව තරග හතරෙන් 3ක් ජයග්‍රහණය කරමින් සිය කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගත්තා.

එහි දී නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 39කට දැවී යාම සුවිශේෂී සිදුවීමක් වුණා. එය එම අවධියේ දී යම් කණ්ඩායමක් 20/20 තරගයක දී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට අමතර ව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 60කට දවා ගෙන පෑ සුපිරි හපන්කමත් අමතක කරන්නට බැහැ. පහත දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාව මූලික වටයේ තරගවල දී දස්කම් පෑ ආකාරය යි. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව- ලකුණු 5ක ජයක්- තරගයේ වීරයා- කුසල් පෙරේරා 

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය- කඩුලු 9ක ජයක්-  තරගයේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස් 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය- කඩුලු 6ක පරාජයක්- තරගයේ වීරයා- ඇලෙක්ස් හේල්ස් 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය- ලකුණු 59ක ජයක්- තරගයේ වීරයා- රංගන හේරත් 

රංගන නවසීලන්ත තරගයේ දී දස්කම් දක්වමින් – getty images

 

පළමු වටයේ දී සුපිරි දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසන් තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් සිය රටට මුල් ම වරට 20/20 ලෝක කුසලානයක් උරුම කර දුන්නා.

පළමු අවසන් පූර්ව තරගය 

ශ්‍රී ලංකාව- 160/6 (20)

බටහිර ඉන්දීය කොදෙව්- 80/4 (13.5)

තරගයේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස් 

අවසන් තරගය

ඉන්දියාව- 130/4 (20)

ශ්‍රී ලංකාව- 134/4 (17.5)

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – getty images

 

2) පැරා ඔලිම්පික් රන් පදක්කම 

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් තරගාවලිය ජපානයේ ටෝකියෝ නුවර දී පසුගිය දිනවල පැවැත්වුණා. එහි දී F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ තරගය සඳහා සහභාගි වුණු දිනේෂ් ප්‍රියන්ත මීටර් 67.79ක් තරම් දුරකට හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එය ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් තරග ඉතිහාසයේ දිනාගත් මුල් ම  රන් පදක්කම ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් දිනේෂ් ලබා ගත් රන් පදක්කම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ගීය ටෝකියෝ ඔලිම්පික් තරග බිමේ දී වාදනය වීම අමතක නොවන සිදුවීමක් වුණා.

දිනේෂ් ප්‍රියන්ත ඔලිම්පික් රන් පදක්කම සමඟින්  – getty images

1) 1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් ත්‍රිත්වයේ සම සත්කාරකත්වයෙන් පැවැත්වුණා. තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ දී ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ කෙන්යාව යන කණ්ඩායම් සමඟින් තරග වැදීමට සිදුවුණා.

ලංකාවේ පැවති අයහපත් වාතාවරණය නිසා ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් අප රටට පැමිණීම ප්‍රතිකේෂ්ප කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට එම තරගවලින් නිතරග ජයක් හිමි වුණා. මූලික වටය යටතේ පැවති ඉතිරි තරග 3 ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව සිය කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගත්තා. එහි දී ඔවුන් කෙන්යාවට එරෙහි ව ලකුණු 398ක් ලබාගනිමින් එවකට එක්දින පිටියේ වැඩිම කණ්ඩායම් ලකුණු ප්‍රමාණය වාර්තා කළා. 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ- කඩුලු 6ක ජයක්- තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව- කඩුලු 6ක ජයක්- තරගයේ වීරයා- සනත් ජයසූරිය 

ශ්‍රී ලංකාව සහ කෙන්යාව- ලකුණු 144ක ජයක්- තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා

මූලික වටයේ දී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය ද, අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව ද පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. අවසන් තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වුණා.

පළමු අර්ධ අවසන් පූර්ව තරගය 

එංගලන්තය- 235/8 (50)

ශ්‍රී ලංකාව- 236/5 (40.4)

තරගයේ වීරයා- සනත් ජයසූරිය

සනත් ජයසූරිය එංගලන්තයට එරෙහි ව පන්දුවට පහරදෙමින් – getty images

 

පළමු අවසන් පූර්ව තරගය 

ශ්‍රී ලංකාව- 251/8 (50)

ඉන්දියාව- 120/8 (34.1)

තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

අවසන් තරගය 

ඕස්ට්‍රේලියාව- 241/3 (50)

ශ්‍රී ලංකාව- 245/3 (46.2)

තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

තරගාවලියේ වීරයා- සනත් ජයසූරිය 

අවසන් තරගයේ දී අරවින්ද ශතකය ලබාගත් මොහොත – getty images

 

කවරයේ ඡායාරූපය: අර්ජුන රණතුංග විල්ස් ලෝක කුසලානය අතැතිව - getty images 

මූලාශ්‍ර:

espncricinfo

olympic.org

The Hindu

icfcarrom.com

Related Articles