Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝද පුටුවට සීමා වූ ෆොර්මියුලා වන් ශූරයා- මයිකල් ෂූමාකර්

ෆොර්මියුලා වන් ශූරතා හතක්  දිනාගෙන ලොව පුරා ජනප්‍රිය වූ ෆොර්මියුලා වන් මෝටර් රථ ධාවකයෙකු වූ මයිකල් ෂූමාකර් පිළිබඳ ව ඔබ අසා ඇති. ෆොර්මියුලා වන් තරග හි සදාතනික වීරයා ලෙස අදටත් නම් දරා සිටින්නේ ඔහු යි. ෆොර්මියුලා වන් වෙබ් අඩවියට අනුව ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි ම ප්‍රමාණයක් හිමිකරගෙන සිටින ක්‍රීඩකයා වන්නේත් ඔහු යි.

අවුරුදු 22ක් පුරාවට ෆොර්මියුලා ධාවන පථයේ තම දස්කම් විහිදා දැක් වූ මයිකල්, ලොව මෙතෙක් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම ෆොර්මියුලා මෝටර් රථ ධාවකයා ලෙස අවිවාදයෙන් ම පිළිගනු ලබනවා. 2013 වසරේ දී ෆොර්මියුලා ධාවන පථයෙන් විවේක ගැනීමට තීරණය කරන ඔහු, එම වසරේ ම අවාසනාවන්ත ලෙස හිම මත ලිස්සා යන ක්‍රීඩාවක දී බරපතල අනතුරකට මුහුණ දෙනවා.

මොළයට සිදු වූ දරුණු හානිය හේතුවෙන් ඔහු කෝමා තත්ත්වයට පත්වෙන අතර, 2014 වසරේ මයිකල් ව රෝහලෙන් නිවසට රැගෙන යනවා. ඒ අතරවාරයේ ඔහු කෝමා තත්ත්වයෙන් මිදෙමින් සිටන බව පවුලේ සමීපතමයන් පවසනවා. මයිකල් ගැන හරි හැටි තොරතුරක් ඉන්පසු වාර්තා නොවෙන අතර, සිට ගැනීමට හැකියාව නොමැති බව 2016 වසරේ දී ඔහුගේ නීතිඥයා විසින් පවසනවා. ඉන්පසු ව, මයිකල් පිළිබඳ ව විශ්වාසවන්ත තොරතුරු මාධ්‍යට නිරාවරණය වී නෑ.

කාර්ට් රේස් හි ළදරුවා

මයිකල් 1991 දී (Daily Star)

1969 වසරේ දී ජර්මනියේ  Hürth හි උපත ලබන මයිකල්, කුඩා කාලයේ දී ම කාර්ට් රේස්වලට (පැතලි කාර් විශේෂයක් යොදා ගනිමින් සිදුකරන තරග) යොමු කරන්නේ ඔහුගේ පියා විසින්. ළදරු වියේ සිටිය දී ඔහු සතු ව තිබූ දෙපාවලින් පදවාගෙන යන කාර්ට් රථයකට මෝටර් බයිසිකලයක කුඩා එන්ජිමක් සවිකර දීමට ඔහුගේ පියා කටයුතු කරනවා.

ඔහුගේ මව ද කාර්ට් ධාවන පථයක ආපනශලාවක සේවය කළ අතර, මේ දෙදෙනාගේ ම සහයෝගය මත ඔහු ඉතා කුඩා කාලයේ දී කාර්ට් ක්‍රීඩා සමාජයකට බැඳෙනවා. ඔහු පළමු ක්‍රීඩා සමාජ ජයග්‍රහණය ලබා ගන්නේ වයස අවුරුදු 6 දී යි.

වයස අවුරුදු 14 වන විට ජර්මනියේ ජූනියර් කාර්ට් ශූරතාවය දිනා ගැනීමට මයිකල්ට හැකියාව ලැබෙන අතර, ඉන්පසු ව ජර්මනියේ හා යුරෝපයේ පැවති කාර්ට් තරගාවලි හි ශූරතා විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට ද සමත් වෙනවා.

1988 වසරේ දී ඔහු තම ප්‍රථම තනි අසුනේ මොටර් රථ ධාවන තරගය සමග එකතු වෙන අතර, ඒවා Formula Ford හා  Formula König නම් තරග යි. එම තරගාවලි කාර්ට් තරගවල සිට ෆොර්මියුලා වන් තරග අතර අතරමැද ව පැවැත්වෙන තරග යි.

ෆෝර්මියුලා වන් තරග සඳහා

තම මෝටර් රථය සමග (Grand Prix 247)

ෆොර්මියුලා වන් තරගයක් සඳහා ඔහු මුලින්ම සහභාගී වෙන්නේ 1991 වසරේ දී යි. ඒ Jordan-Ford කණ්ඩායම සමග යි.

ඔහු තම ප්‍රථම ෆොර්මියුලා වන් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරන්නේ 1994 වසරේ දී යි. ඒ 1994 ලෝක ෆොර්මියුලා තරගාවලියට (FIA Formula One World Championship) සහභාගී වෙමින්. මෙම තරගාවලිය සඳහා ඔහු සහභාගී වෙන්නේ  Benetton-Ford නියෝජනය කරමින්.

1994 වසරේ මාර්තු මාසයේ දී තරගාවලිය ආරම්භ වන අතර, එය තරග 16කින් සමන්විත වෙනවා. තරග 16න් තරග 8ක ජයග්‍රාහී රියදුරු බවට පත්වෙන්නේ මයිකල්. ඒ හේතුවෙන් 1994 ෆොර්මියුලා වන් සමස්ත ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

1995 වසරේ දී ලෝක ෆොර්මියුලා වන් තරගාවලිය ජය ගැනීමට ද සමත් වෙන්නේ ඔහු යි. තරග 17කින් යුක්ත තරගාවලියේ තරග 9ක් ජයගන්නා මයිකල්, එවර ද ලෝක ශූරතාවයට හිමිකම් කියනවා

පිටපිට හිමිකර ගත් ෆොර්මියුලා වන් ශූරතා

2000 වසරේ ශූරතාවය හිමි කර ගනිමින් (Fox Sports)

2000 වසරේ දී ෆෙරාරි කණ්ඩායම සමග ලෝක ෆොර්මියුලා තරගාවලිය සඳහා අවතීරණය වන මයිකල් එම වසරේ මාර්තු 12 සිට ඔක්තෝම්බර් 22 දක්වා තරග 17කින් සමන්විත තරගාවලිය සඳහා එකතු වෙනවා. එම තරග 17න් තරග 9ක් ජයග්‍රහණය කරමින් ඔහු ජයග්‍රාහකයා බවට පත්වෙනවා.

2001 වසරේ ලෝක ෆොර්මියුලා තරගාවලියේ තරග මාර්තු 4 සිට ඔක්තෝම්බර් 14 වන දා දක්වා පැවති අතර, ඉන් තරග 9ක් ජයග්‍රහණය කරමින් එවර ද ශූරයා බවට පත්වෙනවා.

2002 වසරේ තරග 17කින් යුක්ත ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත් වෙන්නේ ඉන් තරග 11 ක් ජයග්‍රහණය කරමින්. 2003 වසරේ ද ලෝක ශූරතාවය දිනා ගන්නා අතර, එහි දී තරග 6ක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වෙනවා.

2004 වසරේ ෆොර්මියුලා වන් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වෙන්නේ පිට පිට පස් වතාව සලකුණු කරමින්. එහි දී පැවති තරග 18න් 13ක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වෙනවා.

වාර්තා තබා නික්මුණු ක්‍රීඩකයා

ධාවන පථයේ (Sky Sports)

2005 ලෝක ශූරතාවලියේ දී ඔහු ජයග්‍රහණය කරන්නේ ඇමෙරිකාවේ පැවති තරගය පමණ යි. 2006 දී තරග 7ක් ජයග්‍රහණය කර, ලෝක ශූරතා තරගාවලියේ අනුශූරයා බවට පත් වීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඉන්පසු ඔහු කිසිදු ජයග්‍රහණයක් වාර්තා නොකරන අතර, 2012 ෆොර්මියුලා ලෝක තරගාවලියෙන් පසු ව ෆොර්මියුලා තරගවලින් සමුගැනීමට ඔහු තීරණය කරනවා.

ඔහු සමුගන්නා විට ෆොර්මියුලා වන් ශූරතාවලිය වැඩි ම වාරයක් දිනාගත් ක්‍රීඩකයා ලෙස (7 වතාවක්) වාර්තාවක් තැබූ අතර, මේ වනතුරු එම වාර්තාව බිඳ හෙළීමට කිසිවෙක් සමත් වී නෑ. 2018 වසරේ ජයග්‍රාහකයා වන බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් ද තව ම දිනා ඇති ශූරතා ගණන 5ක් පමණ යි.

ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී 14 හැවිරිදි තම පුතු සමග ප්‍රංශය වෙත යනවා. එහි දී  අයිස් කඳු මත ලිස්සා යෑමේ විනෝද ක්‍රීඩාවල නිරත වෙමින් සිටිය දී අනතුරට ලක් වීමෙන් හිසට බරපතල තුවාල සිදුවෙන අතර, ඉන් වසර කිහිපයක් කොමා තත්ත්වයේ පසු වෙනවා. මේ වන විට ඔහුගේ නිවසේ සිටිමින් ප්‍රතිකාර ලබා ගන්නා ඔහුට තව ම ඇවිදිය නොහැකි බවත්, රෝද පුටුවකට සීමා වී ඇති බවත් ඔහුගේ නීතිඥයා විසින් 2016 වසරේ දී පවසනවා.

කවරයේ පින්තූරය: Essentially Sports

මූලාශ්‍රයයන්:

foxsports.com

stuff.co.nz

theguardian.com

mschumacher.com

telegraph.co.uk

Related Articles