Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවට නැතිවම බැරි ලෙදර් පන්දුව

පාපන්දු ක්‍රීඩාව තරම් ජනප්‍රිය නොවුණත් ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ සැලකිය යුතු පිරිසකගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. ක්‍රිකට් පිත්ත, ක්‍රිකට් පන්දුව, අත් ආවරණ, පා අවරණ, හිස් ආවරණ වැනි ආම්පන්නයන් මෙම ක්‍රීඩාව සඳහා යොදාගනු ලබනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම සඳහා යොදාගන්නා ආම්පන්න අතුරින් ක්‍රිකට් පන්දුවට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලෙදර් පන්දුව නමින් හඳුන්වන මෙය විවිධ සමාගම් විසින් එකිනෙකට වෙනස් වර්ණ යටතේ නිපදවනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අවශ්‍ය වන පරිදි යි.

ලෙදර් පන්දුවේ බර සහ ප්‍රමාණය 

ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා නිපදවන ක්‍රිකට් පන්දුවක ප්‍රමාණය හා බර කාන්තා හා පිරිමි තරග අනුව වෙනස් වෙනවා. පිරිමි තරගයක් සඳහා යොදාගන්නා පන්දුව බරින් අවුන්ස 5.5 සිට 5.75 දක්වාත්, විෂ්කම්භය අඟල් 8 13/16 සිට 9 දක්වාත් අතර අගයක් ගත යුතු යි. කාන්තා තරගයක් සඳහා යොදාගන්න පන්දුව බර අවුන්ස 4 15/16 සිට 5 1/16 දක්වාත්, විෂ්කම්භය සෙන්ටිමීටර 8.3 සිට 8.9 දක්වාත් විය යුතු වනවා. එසේම පිරිමි ක්‍රිකට් තරගයක් සඳහා යොදාගන්නා පන්දුවේ බර ග්‍රෑම් 156ක් වන විට කාන්තා ක්‍රිකට් තරගයක් සඳහා යොදාගන්නා පන්දුවෙහි බර ග්‍රෑම් 142ක් වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්  පිටියේ දී භාවිතා කරන ලෙදර් පන්දු (Quora)

විවිධ වර්ණයේ ලෙදර් පන්දු

වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී වර්ණ 3ක ලෙදර් පන්දු භාවිතා කරනු ලබනවා. රතු පැහැති ලෙදර් පන්දුව අතීතයේ සිට මේ දක්වාම සාමාන්‍ය ටෙස්ට් තරගවල දී භාවිතා කරනු ලබනවා. එම පන්දුව බොහෝ කාලයක් දිවා එක්දින තරග සඳහා ද යොදාගනු ලැබුවා. නමුත් පසු කලෙක දිවා/රාත්‍රී එක්දින තරග ආරම්භ වීමත් සමගම රතු පන්දුව යොදාගැනීමේ  ප්‍රායෝගික ගැටළු මතු වුණා. විශේෂයෙන්ම රතු පන්දුවේ ඔපය මැකීයාමෙන් පසුව අඳුරු දුඹුරු පැහැයකට හැරෙන නිසා රාත්‍රියේ දී පන්දුව දර්ශනය කර ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් වුණා. එම නිසාම සුදු ලෙදර් පන්දුව පසුකලෙක ජාත්‍යන්තර එක්දින තරගවලට හඳුන්වා දෙනු ලැබුවා. 1977 වසරේ කෙරී පැකර් නම් ධන කුවේරයා ආරම්භ කළ world series නම් ක්‍රිකට් තරගමාලාවේ දී මුල්මවරට සුදු පන්දුව භාවිතා කරනු ලැබුවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හඳුන්වා දෙනු ලැබුවේ 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි. දිවා/රාත්‍රී එක්දින තරග සඳහා පමණක් හඳුන්වා දුන් සුදු පන්දුව පසුව සියළුම සීමිත ඕවර තරග සඳහා භාවිතා කිරීමට නිර්දේශ වුණා. ඒ අනුව වර්තමානය වන විට එක්දින සහ 20/20 තරග සඳහා යොදාගන්නේ සුදු පැහැති පන්දුව යි. එසේම පසු ගිය දශකයේ ක්‍රිකට් පිටිය තුළ පෙරළියක් සිදුවෙමින් දිවා/රාත්‍රී ටෙස්ට් තරග ආ‍රම්භ වුණා. එම තරග සඳහා භාවිතා කිරීමට නිර්දේශ වුණේ රෝස පැහැති පන්දුවක්.

1977 world series තරගාවලිය සඳහා භාවිතා කළ සුදු ලෙදර් පන්දු (Wisden cricket)

විවිධ රටවල් භාවිතා කරන ලෙදර් පන්දු

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී විවිධ සමාගම් නිපදවන ලෙදර් පන්දු වර්ග 3ක් භාවිතා කරනු ලබනවා. එම පන්දු වර්ග තුන කුකුබුරා, ඩියුක්, සහ SG ලෙසින් හඳුන්වනු ලබනවා. එම පන්දු අතුරින් එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සහ අයර්ලන්තය යන්ස් රටවල් ඩියුක් පන්දුව භාවිතා කරන විට ඉන්දියාව පමණක් SG පන්දුව භාවිතා කරනු ලබනවා. ටෙස්ට් තත්ත්වය ලද ඉතිරි රටවල් සියල්ලම කුකුබුරා පන්දුවෙන් ක්‍රීඩා කරන නිසා ලොව වඩාත් ජනප්‍රියම පන්දුව වන්නේ කුකුබුරා ලෙදර් පන්දුව යි.

කුකුබුරා, ඩියුක් සහ SG පන්දු එකම ඡායාරූපයක (jagranjosh.com)

කුකුබුරා පන්දුව

ලෝකයේ අංක එකේ ක්‍රිකට් පන්දුව වන කුකුබුරා ක්‍රිකට් පන්දුව නිෂ්පාදනය කිරීම ආරම්භ වුණේ 1890 වසරේ යි. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන මෙම ක්‍රිකට් පන්දුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය භාවිතා කිරීම ඇරඹුවේ 1946/47 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ සිට යි. බරින් ග්‍රෑම් 156ක් පමණ වන කුකුබුරා පන්දුව යන්ත්‍ර මඟින් නිපදවනු ලබනවා. මෙම පන්දුවේ සීමයේ එතරම් මැහුම් ප්‍රමාණයක් නොතිබුණත් පන්දුවාර 30ක් පමණ පන්දුව මනාව දෝලනය වනවා. එසේම මෙම පන්දුව දඟ පන්දු යවන්නන්ට විශේෂ සහායක් ලබාදෙන්නේ නැහැ. කුකුබුරා පන්දුව තරමක් පරණ වන විට ඉන් පන්දු යවන්නන්ට ලැබෙන සහාය නැතිවී ගොස් පිතිකරුවන්ට පහසුවෙන්ම පන්දුවට පහරදීමට හැකියාව ලැබෙනවා. කුකුබුරා පන්දුව මුල්ම වරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සඳහා භාවිතා කරනු ලැබුවේ 1992 වසරේ දී යි. එදා සිට අද දක්වා 1999 ලෝක කුසලාන තරගාවලිය හැර සෙසු සියළුම එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී භාවිතා කරනු ලැබුවේ කුකුබුරා පන්දුව යි.

කුකුබුරා පන්දුව (Twitter)

ඩියුක් පන්දුව

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී භාවිතා කරන ක්‍රිකට් පන්දු තුන අතුරින් වඩාත්ම පැරණි පන්දුව වන්නේ ඩියුක් පන්දුව යි. 1760 වසරේ එංගලන්තයේ ටොන්බ්‍රොජ්හි මුල්ම වරට නිෂ්පාදනය කළ මෙම පන්දුව කුකුබුරා පන්දුවට වඩා තද පැහැයෙන් යුක්ත යි. වර්තමානය වන විට එක්සත් රාජධානිය තුළ නිපදවන මෙම පන්දුව අතින් නිපදවන පන්දුවක් නිසා එහි ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතිනවා. එම නිසා කුකුබුරා සහ SG පන්දුවලට වඩා වැඩි කාලයක් ඩියුක් පන්දුවේ අළුත් ගතිය පවතිනවා. වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර පන්දුව ලෙසින් සැලකෙන මෙම පන්දුවේ සීමය පන්දුවාර 50-55 අතර කාලයක් හොඳ තත්ත්වයේ පවතිනවා. 1975-1987 අතර පැවති සියළුම එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා භාවිතා කරනු ලැබුවේ රතු ඩියුක් පන්දුව යි. 1999 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී සුදු ඩියුක් පන්දුව භාවිතා කරනු ලැබුවා.

ඩියුක් පන්දුව (Sportsballshop.co.uk)

SG පන්දුව

SG යන්නෙන් අදහස් වන්නේ Sanspareils Greenlands යන්න යි. 1931 වසරේ දී සියල්කොට්හි දී (වර්තමානයයේ පාකිස්ථානයට අයත් නගරයක්) ද්වාර්කනාත් සහ කේදර්නාත් විසින් ආරම්භ කළ Sanspareils සමාගම මුල්.යුගයේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබුවා. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව ඉන්දියාවේ මීරට්හි ස්ථාපනය කළ මෙම සමාගම 90 දශකය පමණ වන විට ගුණාත්මක SG පන්දු නිෂ්පාදනය කරමින් සිටියා. එම නිසාම 1991 වසරේ දී SG පන්දුව ටෙස්ට් තරග සඳහා භාවිතා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. කුකුබුරා සහ ඩියුක් පන්දුවලට වඩා විශාල සීමයක් තිබෙන SG පන්දුව දඟපන්දු යවන්නන්ට වඩාත්ම හිතකර පන්දුව යි. එසේම අතින් නිපදවන මෙම පන්දුව දිනක් ක්‍රීඩා කිරීමෙන් පසුව වුව ද හොඳ තත්ත්වයක පවතිනවා. ඉන්දියාවේ තිබෙන දැඩි වියළි ගතිය නිසා මෙම පන්දුවේ අළුත් ගතිය ඉක්මනින්ම නැතිවී යනවා. එම නිසාම පන්දුවාර 40ක් ඉක්මවා ගිය විට වේගපන්දු යවන්නන්ට පන්දුව ප්‍රතිදෝලනය කිරීමට අවස්ථාව ලැබෙනවා. 

SG පන්දුව (Twitter)

කවරයේ ඡායාරූපය- ලෙදර් පන්දුවක් (gettyimages)

මූලාශ්‍රයයන්- Wisden cricket Monthly

Related Articles