Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ජයගත් එක්දින අවසන් තරගවල ජයග්‍රාහී සලකුණ

1995-2008 කාලසමය තුළ කණ්ඩායම් 2කට වඩා සහභාගි වුණු එක්දින තරගාවලි රැසක් දක්නට ලැබුණා. එලෙස පැවැත්වුණු එක්දින තරගාවලි විශාල ප්‍රමාණයක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එසේ ජයග්‍රහණය කළ අවස්ථාවල දී සුවිශේෂී දස්කම් දැක්වූ පිතිකරුවෙකු සිටියා. එම අවදියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ බොහෝ එක්දින අවසන් තරගවල දී සිය පිත්ත ක්‍රියාත්මක කළ මෙම සුපිරි පිතිකරුවා සිය රටට වටිනා ජයග්‍රහණ රැසක් ලබාදුන්නා. එසේ නම් මෙම ලිපිය වෙන් වන්නේ සනත් ජයසූරිය නම් සුපිරි පිතිකරුවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක්දින අවසන් තරගවල දී පිත්තෙන් දැක්වූ දස්කම් පිළිබඳව ඉදිරිපත් කිරීමට යි. 

1995 සාජා තුන්කොන් තරගාවලිය- 57 (82)

1995 වසරේ පැවති සාජා තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්ථානය යන රටවල් ත්‍රිත්වය සහභාගි වුණා. ඉතාමත් තරගකාරී අයුරින් පැවති මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙක යි. එලෙස එම කණ්ඩායම් අතර පැවැත්වුණු අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 111ක සාර්ථක ආරම්භයක් ලබාගත්තා. එහි දී දක්ෂ පිති හරඹයක නිරත වුණු සනත් ජයසූරිය පන්දු 82කින් ලකුණු 57ක් ලබාගත්තේ හයේ පහර 3ක් ද එල්ල කරමින්.

සනත් ජයසූරිය (gettyimages) 

1997 ඉන්දීය නිදහස් කුසලාන පළමු අවසන් තරගය- 96 (67)

ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ නවසීලන්තය මෙම තරගාවලියට සහභාගි වුණා. පළමු වටයේ තරග අවසන් වීමෙන් පසුව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යි. මෙම කණ්ඩායම් දෙක මූලික වටයේ දී තරග වැදුණු අවස්ථාවේ දී පාකිස්ථානය ජයග්‍රහණය කළා. එම නිසාම තරගාවලියේ පළමු අවසන් තරගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වුණේ එහි වාඩුව ගැනීම සඳහා යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ජයසූරිය පන්දු 67කින් ලකුණු 96ක් ලබාගත්තේ දර්ශනීය හතරේ පහර 12ක් සහ හයේ පහරක් එල්ල කරමින්. එලෙස සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ජයසූරිය, අවසානයේ දී තරගයේ වීරයා ලෙසින් නම් කරනු ලැබුවා.

1997 ඉන්දීය නිදහස් කුසලාන දෙවන අවසන් තරගය- 55 (40)

ඉන්දීය නිදහස් කුසලාන තරගාවලියේ පළමු අවසන් තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජයසූරිය දෙවන අවසන් තරගයේ දීත් පාකිස්ථානු පන්දු යවන්නන්ව අසරණ කළා. එහි දී හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් සිය ඉනිම වර්ණවත් කරගත් ජයසූරිය ලකුණු 55ක් ලබාගත්තේ පන්දු 40කට පමණක් මුහුණදෙමින්. 

1997 ආසියානු කුසලාන තරගාවලිය- 63 (52)

1997 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙක යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබාගත්තා. ඉන්පසුව ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබාදුන් ජයසූරිය, හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 63ක් ලබාගත්තේ පන්දු 52ක් පමණක් වැය කරමින්. 

2000 සිංගර් කුසලානය- 68 (86)

2000 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති සිංගර් තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය සහභාගි වුණා. එම තරගාවලිය යටතේ පැවැත්වුණු මූලික වටයේ තරගවල දී ඉහළම දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. ඉන් අනතුරුව පැවති අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජයසූරිය පන්දු 86කින් ලකුණු 68ක් ලබාගැනීමට සමත් වුණා.

2000 කොකාකෝලා ශූරයන්ගේ කුසලානය- 189 (161)

2000 වසරේ පැවති කොකාකෝලා ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ සිම්බාබ්වේ යන රටවල් තරග වැදුණා. එම තරගාවලියේ පළමු වටයේ තරගවලින් පසුව පැවති අවසන් තරගය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. එදා විශාල ජනකායක් ඉදිරියේ පැවති එම අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 116ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකාව අසරණව සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු ජයසූරිය ඉන්දීය පන්දු යවන්නන්ට හමුවේ ලකුණු 189ක් ලබාගත්තේ ඔහුගේ එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්. එසේම එදා ජයසූරිය හතරේ පහර 21ක් සහ හයේ පහර 4ක් සමගින් ලබාගත් එම ලකුණු 189 අදටත් ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් ඉහළම එක්දින ලකුණු ප්‍රමාණය යි.

ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

2001 සාජා ARY රන් කුසලාන තරගාවලිය- 70 (90)

2001 වසරේ දී සාජා නුවර පැවති ARY රන් කුසලාන තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේ දී හමුවුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යි. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජයසූරිය හයේ පහර 3ක් සමගින් ලකුණු 70ක් ලබාගත්තේ පන්දු 90කට මුහුණදෙමින්.

2001 කොකාකෝලා කුසලාන තරගාවලිය- 99 (102)

2001 කොකාකෝලා කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා තරග වැදුණේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය යි. ඉතාමත් තරගකාරී අයුරින් පැවති මූලික වටයේ තරග අවසන් වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති එම අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 295ක් ලබාගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණු ජයසූරිය පන්දු 102ක දී ලකුණු 99ක් ලබාගත්තේ හතරේ පහර 11ක් එල්ල කරමින්.

ජයසූරිය තරගාවලියේ වීරයාට හිමිවුණු මෝටර් රථය පදවමින් (gettyimages) 

2001 LG අබාන්ස් තුන්කොන් තරගාවලිය- 64 (85)

2001 වසරේ අග භාගයේ දී පැවැත්වුණු මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වුණා. එහි දී සිම්බාබ්වේ කණ්ඩායම අබිබවමින් ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අවසන් සටනට පිවිසියා. එදා කාසියේ වාසිය ජයග්‍රහණය කර මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉවසිලිමත් පිතිහරඹයක යෙදුණු ජයසූරිය, ලකුණු 64ක් ලබාගත්තේ පන්දු 85ක් වැය කරමින්.

2002 මොරොක්කෝ කුසලාන තරගාවලිය- 71 (71)

2002 වසරේ දී මොරොක්කෝවේ පැවති තුන්කොන් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව යි. එම අවසන් තරගයේ දී මුලින්ම පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් ජයසූරිය පන්දු 71කින් ලකුණු 71ක් ලබාගත්තා. පිතිකරුවන්ට පන්දුවට පහරදීමට තරමක් අසීරු පිටියක ජයසූරිය දියත් කළ එම ඉනිම විශිෂ්ට එකක් වුණා.

2005 ඉන්දියන් ඔයිල් තුන්කොන් තරගාවලිය- 67 (77)

2005 වසරේ දී පැවති ඉන්දියන් ඔයිල් තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේ දී හමුවුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම බිඳවැටුණු අවස්ථාවක අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජයසූරිය පන්දු 77කින් ලකුණු 67ක් ලබාගත්තා. 

ජයසූරිය අර්ධ ශතකය ලබාගත් අවස්ථාව (gettyimages) 

2008 ආසියානු කුසලාන තරගාවලිය- 125 (114)

2008 වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී තරග වැදුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යි. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 66ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසරණව සිටි මොහොතක සිය පිත්ත ක්‍රියාත්මක කළ ජයසූරිය, පන්දු 114ක් තුළ වේගවත් ලකුණු 125ක් ලබාගත්තේ හයේ පහර 5ක් එල්ල කරමින්.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

කවරයේ ඡායාරූපය- ජයසූරිය 2008 ආසියානු කුසලාන අවසන් තරගයේ දී (gettyimages)

Related Articles