Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙසී ගේ ආර්ජන්ටිනා බළඇණිය සහිත පාපන්දු ලෝක කුසලානයේ C කාණ්ඩය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම් කාණ්ඩ අටක් යටතේ තරග වැදීමට නියමිත යි. මීට ප්‍රථම අප එම කාණ්ඩවල A කාණ්ඩය සහ B කාණ්ඩය සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙතට රැගෙන ආවා. මෙම ලිපියෙන් මෙවර පාපන්දු ලෝක කුසලානයේ C කාණ්ඩය පිළිබඳව සාකච්ඡා කෙරනවා.

1. ආර්ජන්ටිනාව

වත්මන් පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවන ස්ථානය හිමිවන්නේ ආර්ජන්ටිනාවට යි. ඔවුන් 2019 සිට මේ දක්වා ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරගයක් පරාජය වී නෑ. වසර 28 කට පසුව 2021 වර්ෂයේ කොපා අමෙරිකා තරගාවලිය ද ජයග්‍රහණය කළ ඔවුන් මේ වන විට පාපන්දු පිටියේ හොඳ රිද්මයක් පවත්වාගෙන සිටිනවා. සමස්ත ආර්ජන්ටිනාව ම මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වන අයුරු පෙර සිට ම දකින්නට ලැබුණා.

මෙම ලිපිය පළ වන විට ආර්ජන්ටිනා⁣වේ තරග 36 ක අපරාජිත වාර්තාව සෞදි අරාබිය හමුවේ පසුගිය දා අවසන් වුණා. ඒ  සෞදි අරාබියට එරෙහි තරගය ගෝල 2-1ක් ලෙස පරාජයට පත්යවීමත් සමඟ යි. ආර්ජන්ටිනා⁣ව අවසන් වරට පරාජයට පත් වූයේ 2019 ජූලි 3 වැනි දින බ්‍රසීලය හමුවේ යි.

2021 වසරේ පැවති කොපා අමෙරිකා ශූරයන් බවට පත් වූ ආර්ජන්ටිනාව – www.thestatesman.com

1930 දී පළමු ලෝක කුසලාන තරගාවලියේ ම අනුශූරතාව දිනා ගත් ඔවුන් එතැන් පටන් මේ දක්වා ලෝක පාපන්දු කුසලාන තරගාවලි 17ක් නියෝජනය කොට තිබෙනවා. 1978 සහ 1986 දි ලෝක පාපන්දු ශූරයන් බවට පත් වීම ආර්ජන්ටිනාව දැක්වූ ඉහළත ම ලෝක කුසලාන දක්ෂතාව යි. මීට අමතර ව ඔවුන් 1930, 1990 සහ 2014 යන වර්ෂවල අනුශූරතාව ද දිනා ගත්තා. 2022 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දකුණු අමෙරිකානු ලීග් වටයේ තරඟ 17ක් ක්‍රීඩා කොට 11ක් ජය ගෙන තවත් තරග 6ක් ජය පරාජයෙන් තොර ව නිමා කරගෙන ආර්ජන්ටිනාව මෙවර ලෝක කුසලාන වරම් හිමි කර ගත්තා. ඒ ලීග් සටහනේ බ්‍රසීලයට පමණක් දෙවැනි වෙමින්. 44 හැවිරිදි පුහුණුකරු ලියොනල් ස්කැලෝනි යටතේ ඔවුන් මෙවර ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

එදා මෙදා තුර පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ටත ම ක්‍රීඩකයා යැයි බොහොමයක් දෙනා මත පළ කරනා ලියොනල් මෙසී මෙවර තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ ඔහු මේ වන විට 35 හැවිරිදි වියේ පසු වීම නිසා යි. 2014 ලෝක කුසලාන අනුශූරතාව දිනූ ආර්ජන්ටිනා කණ්ඩයාමේ නායකයා ද වෙමින් තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා වීමට ද ඔහුට හැකියාව ලැබුණා.

වර්තමානයේ දී ප්‍රංශයේ PSG සමඟින් වෘත්තීයමය පාපන්දු ක්‍රීඩා කරන ඔහු, 2021 කොපා අමෙරිකා ජයග්‍රහණයේදී ද තරගාවලියේ වැඩිම ගෝල ලාභියා මෙන් ම හොඳ ම ක්‍රීඩකයා බවට ද පත් වුණා. 2005 සිට ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 164 ක දී ඔහු ලබා සිටිනා ගෝල සංඛ්‍යාව 90ක්. එය පාපන්දු ඉතිහාසයේ ම දකුණු අමෙරිකානු ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩි ම ජාත්‍යන්තර ගෝල වාර්තාව ද වනවා.

සමස්ථ ආර්ජන්ටිනාවේ ම බලාපොරොත්තුව වන මෙසීආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝල 90ක් ලබා ගෙන සිටිනවා – www.mscfootball.com

ආර්ජන්ටිනා මැද පෙළ සිටිනා පාලනය කිරීමට අපහසු ක්‍රීඩකයෙක් ලෙසින් රොඩ්රිගෝ ඩි පවුල් හඳුන්වා දිය හැකි යි. ඔහු මෑත කාලීන ආර්ජන්ටිනා සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වුණා. ඔහු සතු විශේෂත්වය වන්නේ සෑම විටෙක ම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට උත්සාහ දැරීම යි. මීට අමතර ව ආක්‍රමණශීලී සහ ආරක්ෂාකාරී යන පියවර දෙක තුළ ම ක්‍රීඩා කිරීමේ හැකියාව ඩි පවුල් සතු වනවා. ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් සමඟ ක්‍රීඩා කරන ඔහු 2018 සිට ආර්ජන්ටිනාව සමඟ ක්‍රීඩා කරමින් තරග 43 කදී ගෝල 2ක් වාර්තා කළා.

පසුගිය වසර කිහිපය පුරාවට ම සාර්ථක දැල් රකින්නෙක් නොමැති වීම නිසා ආර්ජන්ටිනාව තරග ගණනාවක් ම පරාජයට පත් වුණා. එය ඔවුන්ට තිබූ විශාල අඩුපාඩුවක්. ඒ සඳහා ලැබුණු හොඳම විකල්පය බවට පත් වූ එමිලියානෝ මාර්ටිනෙස් පසුගියේ වසරේ සිට එරට ප්‍රධාන දැල් රකින්නා ලෙසින් කටයුතු කරනවා. ඔහු 2021 කොපා අමෙරිකා තරගාවලියේ හොඳ ම දැල් රකින්නා සම්මානයට ද පාත්‍ර වුණා. 2021 සිට ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම සමඟින් මාර්ටිනෙස් තරග 18ක් ක්‍රීඩා කොට තිබෙනවා.

ලියොනල් මෙසී, එමිලියානෝ මාර්ටිනෙස් සහ ලවුටාරෝ මාර්ටිනෙස් – www.goal.com

මෙම ක්‍රීඩකයන්ට අමතර ව ඈන්හෙල් ඩි මරියා, ක්‍රිස්ටියන් රොමේරෝ, ලවුටාරෝ මාර්ටිනෙස්, ලිසන්ඩ්‍රෝ මාර්ටිනෙස්, නිකලස් ඔටමෙන්ඩි වැනි ප්‍රබලයන් රැසක් ම ආර්ජන්ටිනාව සතු යි. ඔවුන් සියල්ලන්ගේම සාර්ථකත්වය මත 2022 පාපන්දු ලෝක කුසලානයේ දී ආර්ජන්ටිනාව ගමන් කරන දුර තහවුරු වනු ඇති.

මූලික වටයේ ආර්ජන්ටිනා තරග කාල සටහන

නොවැම්බර් 22 සෞදි අරාබිය සමඟ – අවසන්

නොවැම්බර් 27 මෙක්සිකෝව සමඟ

දෙසැම්බර් 01 පෝලන්තය සමඟ

2. සෞදි අරාබිය

මෙවර පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යය සත්කාරකත්වය දරනවා. ඒ අරාබි රාජ්‍යයක් පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන ප්‍රථම අවස්ථාව යි. එම අරාබි සත්කාරකත්වය යටතේ තමන්ට හුරුපුරුදු පරිසරයක ලෝක කුසලානයක් නියෝජනය කිරීමේ වරම් සෞදි අරාබියට ද හිමි වුණා. 1994 දි මුලින් ම ලෝක කුසලාන වරම් දිනා ගත් ඔවුන් මේ දක්වා ක්‍රීඩා කළ ලෝක කුසලාන තරගාවලි සංඛ්‍යාව 5ක්. 1994 දී ම අවසන් 16 දෙනා අතරට පිවිසීම සෞදි අරාබිය දැක්වූ ඉහළත ම දක්ෂතාව වනවා.

සෞදි අරාබි පාපන්දු කණ්ඩායම – www.timeoutriyadh.com

ආසියානු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් ලීග් අදියරේ තමන් සහභාගී වූ තරග 10න් 7ක් ජයග්‍රහණය කොට 2ක් ජය පරාජයෙන් තොරව සහ එක් තරගයක් පරාජය වී අවසන් කිරීමට සෞදි අරාබියට හැකියාව ලැබුණා. එම දක්ෂතාව මත B කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් ඔවුන් ලෝක කුසලාන වරම් දිනා ගත්තා. වත්මන් පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි 51 වෙනියා වන ඔවුන් මෙවර තමන්ට හුරුපුරුදු පරිසර යටතේ පෙරළියක් කළ හැකි කණ්ඩායමක්. හර්ව් රෙනාඩ් ගේ පුහුණුකාරිත්වය යටතේ සෞදි අරාබිය මෙවර ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

අල් හිලාල් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පෙළේ ප්‍රහාරක ක්‍රීඩකයෙක් වන සලීම් අල් දව්සාරි එරට ප්‍රධානත ම ගෝල ලබා ගැනීමේ බලාපොරොත්තුව වී තිබෙනවා. ආසියානු පාපන්දු ක්‍රීඩා සමාජ අතරේ ඔහු ප්‍රබල මට්ටමේ ප්‍රහාරක ක්‍රීඩකයෙක්. 31 හැවිරිදි දව්සාරි 2011 සිට සෞදි අරාබිය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කර මේ දක්වා තරග 66 ක දී ලබා සිටිනා ගෝල සංඛ්‍යාව 17ක්.

සල්මන් අල් ෆරාජ් යනු සෞදි අරාබිය සතු තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඔහු ද අල් හිලාල් ක්‍රීඩා සමාජයේ මැද පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරනවා. ඔහුගේ අත්දැකීම් මත සෞදි පාපන්දු කණ්ඩායමේ මැද පෙළ සාර්ථකත්වය රඳා පවතිනවා. සල්මන් සෞදි අරාබිය සමඟින් ක්‍රීඩා කරන්නේ 2012 වසරේ සිට වීම ද විශේෂත්වයක්. 33 හැවිරිදි වියේ පසුවන ඔහු මේ දක්වා තරග 68 ක දී ගෝල 8ක් ලබා ගෙන සිටිනවා.

සල්මන් අල් ෆරාජ් (දකුණේ) 2018 ලෝක කුසලානයේ ක්‍රීඩා කරමින් – www.afc.com

ලෙෆ්ට් බැක් මෙන් ම සෙන්ටර් බැක් ක්‍රීඩකයෙක් ආකාරයෙන් ස්ථාන දෙකේ ම ක්‍රීඩා කිරීමට හැකි ආසියානු කලාපයේ තවත් ජනප්‍රිය ආරක්ෂක ක්‍රීඩකයෙක් වන යසීර් අල් ශහ්රානි එරට පසුපෙළ බලාපොරොත්තුව යි. ඔහු 2018 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ සෞදි අරාබි කණ්ඩායම පවා නියෝජනය කළා. යසීර් ද වෘත්තීයමය වශයෙන් අල් හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. 2012 දී ජාතික කණ්ඩායම් වරම් ලැබූ ඔහු මේ දක්වා තරග 70ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 2ක්.

මූලික වටයේ සෞදි අරාබි තරග කාලසටහන

නොවැම්බර් 22 ආර්ජන්ටිනාව සමඟ – ජයග්‍රහණය කළා

නොවැම්බර් 26 පෝලන්තය සමඟ

දෙසැම්බර් 01 මෙක්සිකෝව සමඟ

3. මෙක්සිකෝව

උතුරු අමෙරිකානු දැවැන්තයන් වන මෙක්සිකෝව මෙවර තම 17 වන පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. මීට ප්‍රථම ව ක්‍රීඩා කළ තරගාවලි 16 දී, 1970 සහ 1986 අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම ඔවුන් දැක්වූ ඉහළත ම දක්ෂතාව යි. 1930 පළමු ලෝක කුසලානයේ සිට ම ක්‍රීඩා කරනා මෙක්සිකෝව යනු පාපන්දු ලෝක කුසලානයකට නැතිව ම බැරි කණ්ඩායමක්. 2018 ලෝක කුසලානයේ දී ජර්මනිය පරාජයට පත් කරමින් මෙක්සිකෝව දැක්වූ දස්කම් පිළිබඳ ව පාපන්දු ලෝකයේ ම අවධානය හිමි වුණා. ඔවුන් තරගයක් වෙනස් කිරීමට හැකි කණ්ඩායමක් බවට ප්‍රසිද්ධ යි.

2018 ලෝක කුසලානයේ පෙරළිකාර දස්කම් දැක්වූ මෙක්සිකෝව – www.marca.com

උතුරු අමෙරිකානු පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් ලීග් අදියරේ තරග 14 කින් 8ක් ජයග්‍රහණය කොට 4ක් ජය පරාජයෙන් තොර ව සහ තරග 2ක් පරාජයට පත් වී මෙක්සිකෝව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා. ඒ කැනඩාවට පමණක් දෙවැනි වෙමින්. පාපන්දු උන්මාදකින් පෙළෙන ජනතාවක් වාසය කරනා මෙක්සිකෝව මෙවර ආර්ජන්ටිනා ජාතික පුහුණුකරු ජෙරාඩෝ මාර්ටිනෝ යටතේ තරගාවලියට සහභාගී වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

ඉතාලියේ ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක් මෙන් ම මෙවර තරග වාරයේ දී අතිශය සාර්ථක වී සිටිනා නපොලි සමඟ ක්‍රීඩා කරනා හර්වින්ග් ලොසානෝ එරට ප්‍රහාරක ක්‍රීඩකයන් අතරේ වඩාත් විශාල වගකීමක් දරනවා. අනෙක් ක්‍රීඩකයන් අතරේ සිටි තීරණාත්මක ක්‍රීඩකයෙක් වූ රාවුල් හෙමෙනෙස්ට ආබාධයක් නිසා ලෝක කුසලානය අහිමි වුණා. මේ නිසා ලොසානෝ පිට විශාල වගකීමක් පැවරී තිබෙනවා. 2016 සිට මෙක්සිකෝව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන ඔහු තරග 59ක් තුළ ගෝල 16ක් ලබාගෙන තිබෙනවා.

එඩ්සන් අල්වාරෙස් යනු මේ වන විට පාපන්දු පිටියේ නැගී එන තරුවක්. ඔහු වර්තමානයේ දී නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අයෑක්ස් සමඟින් ක්‍රීඩා කරමින් සිටිනවා. තවමත් 25 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝ ජාතිකයා මේ වන විට සුපිරි ක්‍රීඩකයෙක් ලෙසින් පාපන්දු පිටිය තුළ තම නම රැඳ විය හැකි බවට වන ඉඟි පළ කරමින් සිටිනවා. ඔහු වඩාත් ආරක්ෂක ක්‍රීඩා රටාවකට බර මැදපෙළ ක්‍රීඩකයෙක්. 2018 සිට මෙක්සිකෝව වෙනුවෙන් තරග 58ක් තුළ ගෝල 3ක් ලබා ගැනීමට අල්වාරෙස් සමත් වුණා.

එඩ්සන් අල්වාරෙස් යනු මෙක්සිකෝ මැදපෙළ සිටිනා තීරණාත්මක ක්‍රීඩකයෙක් – www.goal.com

මෙක්සිකෝව පසුගිය ලෝක කුසලාන තරගාවලිවලදී සාර්ථක වූ ආකාරය සොයා බැලීමේ දී ගුලෙර්මෝ ඔචෝආ යන නාමය වඩාත් ප්‍රසිද්ධයි. එයට හේතුව වන්නේ දැල් රකින්නෙක් වශයෙන් ඔචෝආ දැක්වූ දක්ෂතාව යි. 2014 ලෝක කුසලානයේ දී බ්‍රසීල තරගය 0-0 වශයෙන් අවසන් කිරීමට මෙන් ම පසුගිය ලෝක කුසලානයේ ජර්මනිය පරාජය කිරීමට ද ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා. සෑම විටෙක ම පාහේ ලෝක කුසලානවලදී ඔචෝආ මෙක්සිකෝව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. 2005 සිට මෙක්සිකෝව නියෝජනය කරමින් තරග 130ක් ක්‍රීඩා කර ඇති 37 හැවිරිදි ගුලෙර්මෝ ඔචෝආ ගේ ද අවසන් ලෝක කුසලාන සහභාගීත්වය මෙය වීමට විශාල ඉඩකඩක් තිබෙනවා.

මූලික වටයේ මෙක්සිකෝ තරග කාලසටහන

නොවැම්බර් 22 පෝලන්තයට එරෙහිව – තරගය ජය පරාජයෙන් තොරව අවසන්

නොවැම්බර් 27 ආර්ජන්ටිනාවට එරෙහිව

දෙසැම්බර් 01 සෞදි අරාබියට එරෙහිව

4. පෝලන්තය

1938 දි මුලින් ම පාපන්දු ලෝක කුසලානයක් සඳහා සහභාගී වූ පෝලන්තය මෙවර තම 9 වන ලෝක කුසලාන තරගාවලියට එක් වනවා. 1974 සහ 1982 දී තෙවන ස්ථානය දිනා ගැනීම එහිදී ඔවුන් දැක්වූ ඉහළත ම දක්ෂතාව යි. ඉතිහාසය පුරාවට ම දක්ෂ පාපන්දු තරු රැසක් ම පෝලන්තයෙන් බිහි වුණා. 2018 ලෝක කුසලානයට ද පෝලන්තය එක් වූ නමුත් එවර මූලික වටයෙන් ම පරාජයට පත් වීමට ඔවුන්ට සිදුවුණා.

පෝලන්තයට මෙවර තරගාවලිය තුළ වෙනසක් සිදු කළ හැකියි – www.tvpworld.com

යුරෝපීය පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ I කාණ්ඩයෙන් දෙවන ස්ථානයට පත් වීම නිසා පෝලන්තය Play Offs වටයක් දක්වා ගමන් කළා. එහිදී ස්වීඩනය ගෝල 2-0 කින් පරාජයට පත් කළ ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 26 වන ස්ථානයේ සිටිනා ඔවුන් චෙශ්ලොව් මික්ශිනොවිච් ගේ පුහුණුකාරිත්වය යටතේ 2022 ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

මෑතකාලීන ව ලෝක පාපන්දු පිටියේ සිටිනා වඩාත් සාර්ථක ම ප්‍රහාරක ක්‍රීඩකයෙක් වන රොබට් ලෙවන්ඩොස්කි එරට ප්‍රධානත ම තුරුම්පුව බවට පත්ව තිබෙනවා. කලක් බයන් මියුනිච් සමඟත් වර්තමානයේ දී බාසිලෝනා සමඟත් ක්‍රීඩා කරන ඔහු ගෝල මැෂිමක් බවට හඳුන්වා දිය හැකි යි. 34 හැවිරිදි ලෙවන්ඩොස්කි පෝලන්ත පාපන්දු ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා වෙමින් තරග 134ක දී ගෝල 76 ක් ලබා ගෙන තිබෙනවා. ඔහුගේ සාර්ථකත්වය පෝලන්තය වඩාත් අපේක්ෂා කරනු ඇතැයි විශ්වාස කළ හැකි යි.

ඉතාලියේ නපොලි ක්‍රීඩා සමාජයේ සිටිනා ආක්‍රමණශීලී මැදපෙළ ක්‍රීඩකයන් අතර වඩාත් දක්ෂ අයෙක් වන පියොටර් සියෙලින්ස්කි පෝලන්තයේද මැද පෙළ බර කරට ගන්නා ක්‍රීඩකයා යි. යුරෝපය තුළ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ ගණනාවක් නියෝජනය කරමින් ලබා ගත් අත්දැකීම් සම්භාරයක් ද ඔහු සතු යි. පෝලන්තය සමඟ ද 2013 සිට ම ක්‍රීඩා කරනා සියෙලින්ස්කි තරග 74 ක දී ගෝල 9ක් ලබා ගැනීමට ද සමත් වුණා.

පෝලන්ත ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වන රොබට් ලෙවන්ඩොව්ස්කි – www.sportsbrief.com

පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයන් අතරින් යෑන් බෙඩ්නරෑක්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා. වත්මන් පාපන්දු පිටියේ පෝලන්තය සතුව සිටිනා වඩාත් දක්ෂ පසු පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු හැඳින්වීමට පුළුවන්. බෙඩ්නරෑක් මේ වනවිට වෘත්තීයමය වශයෙන් එංගලන්තයේ ඇස්ටන් විලා පාපන්දු ක්‍රීඩා සමාජයත් සමඟින් ක්‍රීඩා කරනවා. 2018 ලෝක කුසලානය ද ක්‍රීඩා කළ ඔහු තරග 44 ක දී පෝලන්තය වෙනුවෙන් ලබා ගත් ගෝල සංඛ්‍යාව 1ක්.

මූලික වටයේ පෝලන්ත තරග කාලසටහන

නොවැම්බර් 22 මෙක්සිකෝව සමඟ – තරගය ජය පරාජයෙන් තොරව අවසන්

නොවැම්බර් 26 සෞදි අරාබිය සමඟ

දෙසැම්බර් 01 ආර්ජන්ටිනාව සමඟ

කවරයේ ඡායාරූපය - මෙක්සිකෝවේ ගුලෙර්මෝ ඔචෝආ, පෝලන්තයේ රොබට් ලෙවන්ඩොස්කි, ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහ සෞදි අරාබියේ සලීම් අල් දව්සාරි - www.concacaf.com, www.goal.com,www.beinsports.com
මූලාශ්‍ර - www.fifa.com
www.allfootball.com
www.qatar22.com

Related Articles