Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයේදී දෙදෙනාටම හඬන්නට සිදුවේද?

පසුගිය දශකයෙහි ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය වූ පාපන්දු ක්‍රීඩකයින් යුගලය වන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජෙන්ටිනාවේ ලියනල් මෙස්සි ය. පසුගිය කාලය පුරාවටම සෑම වසරකදී ම, සෑම තරඟ සමයකදී ම ගෝල පිට ගෝල වාර්තා කල මෙම විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා, තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් හිමිකරගෙන සිටින සම්මාන සහ ජයග්‍රහණ අති විශාලය. මෙම ක්‍රීඩකයින් දෙදෙනා සතුව බොහෝ වාර්තා ප්‍රමාණයක් තිබෙන අතර එම සමහර වාර්තා අභිබවා යාමට අනාගතයේ හෝ ක්‍රීඩකයෙකුට හැකිවේදැයි සැක සහිතය. පසුගිය වසර කිහිපයේ සිට මේ දක්වාම සමාජ ජාල වෙබ් අඩවි වල උණුසුම්ම මාතෘකාවක් වන්නේ Messi vs Ronaldo මාතෘකාවය. මෙම ක්‍රීඩකයියි දෙදෙනාගේ මුහුණුපොතෙහි නිල පිටු වලට තිබෙන Like ප්‍රමාණයේ එකතුව මිලියන 210 ට අධිකය. ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල ඔවුන් දෙදෙනාට සිටින Followers ප්‍රමාණයෙහි එකතුවද මිලියන 220 ට ආසන්නය.

“මෙස්සි සහ රොනාල්ඩෝ බැලෝන් ඩෝර් සම්මානය අතැතිව” (mirror.co.uk)

සෑම වසරකම යුරෝපයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් හොඳම ක්‍රීඩකයාට ලබාදෙන බැලෝන් ඩෝර් සම්මානය මෙම ක්‍රීඩකයින් දෙදෙනා 5 වතාව බැගින් හිමිකරගෙන ඇත. මෙස්සි සහ රොනාල්ඩෝ හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් මේ වනතෙක් බැලෝන් ඩෝර් සම්මානය 3 වරකට වැඩියෙන් හිමිකරගෙන නැත. 2008 වසරේ සිට මෙස්සි හෝ රොනාල්ඩෝ හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් බැලෝන් ඩෝර් සම්මානය හිමිකරගෙන නැත. මෙස්සි සහ රොනාල්ඩෝ පිලිවෙලින් ආර්ජෙන්ටිනා සහ පෘතුගාල ජාතික කණ්ඩායම් වල ද වැඩිම ගෝල ලාභීන් දෙදෙනා වේ.

තත්ත්වය මෙසේ වූවද මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේ වනවිට ලෝක කුසලාන තරඟාවලි තුන බැගින් ක්‍රීඩාකර ඇති නමුත් එම එක් අවස්තාවක හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ආර්ජෙන්ටිනාවට හෝ පෘතුගාලයට නොහැකි විය. මෙවර ද මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරඟාවලියේ දී දක්වන දක්ෂතා පිලිබඳ බොහෝ දෙනා සැක පහල කරන අතර ඒ අනුව මෙස්සි හෝ රොනාල්ඩෝ ගේ මෙවර ලෝක කුසලාන සිහිනයද බොඳ වනුඇත. ඒ අනුව අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් සාකාච්ඡා කරන්නේ මෙම ක්‍රීඩකයින් දෙදෙනා සහ ඔවුන් නියෝජනය කරන රටවල් පසුගිය ලෝක කුසලාන වල දී දැක්වූ දක්ෂතා සහ මෙවරත් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට දුක්බර ආකාරයට ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇතිද යන්නයි.

ආරම්භය

“මෙස්සි සිය පළමු ලෝක කුසලානය රැස් කල පසු” (Getty Images)

පාපන්දු ලෝකයේ එතෙක් මෙතෙක් සිටි හොඳම ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනා වන මෙස්සි සහ රොනාල්ඩෝ ප්‍රථම වරට පාපන්දු ලෝක කුසලානයකට ක්‍රීඩා කර තිබෙන්නේ 2006 දීය. 2006 ලෝක කුසලානයේ දී මෙස්සි එක් තරඟයක ආරම්භයේ සිට ක්‍රීඩා කර තිබෙන අතර (Start) තවත් තරඟ දෙකක දී ආදේශ ක්‍රීඩකයෙකු (Substitute) ලෙසින් ක්‍රීඩා කර තිබේ. 2006 ජූනි මස 16 වැනිදා සර්බියා සහ මොන්ටෙනේග්‍රෝ කණ්ඩායමට එරෙහිව එවකට 18 හැවිරිදි ලියනල් මෙසී විසින් ගෝලයක් රැස් කරනු ලැබුවේ ආර්ජෙන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන තරඟාවලියක දී ගෝලයක් රැස් කල ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මෙස්සි සිය පළමු ලෝක කුසලාන ගෝලය රැස් කර එක් දිනකට පසු, එනම් 2006 ජූනි මස 17 වැනි දින එවකට 21 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉරාන කණ්ඩායමට එරෙහිව ඔහුගේ සිය පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කිරීමට සමත්වූයේය. එම තරඟාවලියේ තරඟ 6 ක් ක්‍රීඩා කිරීමට රොනාල්ඩෝට හැකිවිය. කෙසේවෙතත් අර්ධ අවසාන පූර්ව වටයේ දී ආර්ජෙන්ටිනාව, ජර්මනිය හමුවේ ද පෘතුගාලය අවසන් පූර්ව වටයේ දී ප්‍රංශය හමුවේ ද තරඟාවලියෙන් ඉවත්විය.

2010 ලෝක කුසලානය

“2010 ලෝක කුසලානය තරඟාවලියේ රොනාල්ඩෝ බ්‍රසීලයට එරෙහිව දක්ෂතා දක්වමින් (දකුණේ), එම ලෝක කුසලානයේ බ්‍රසීලයේ නායකත්වය දැරූ ලුසියෝ (වමේ) ද මෙහි සිටී” (Jamie McDonald/Getty Images Europe)

2008 වසරේ සිට පෘතුගාල කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2010 ලෝක කුසලානයේ දී මූලික වටයේ පෘතුගාලය මුහුණදුන් තරඟ ත්‍රිත්වයේ ම තරඟයේ වීරයා සම්මානය ලැබීය. ඒ අයිවරි කෝස්ට්, උතුරු කොරියාව සහ බ්‍රසීලයට එරෙහිව පැවති තරඟ වලදීය. උතුරු කොරියාවට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ද රොනාල්ඩෝ සමත්විය. නමුත් 16 දෙනාගේ වටයේ දී ස්පාඤ්ඤය හමුවේ තරඟාවලියෙන් ඉවත්වීමට රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලයට සිදුවිය.

2010 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටින රටක් වශයෙන් තරඟාවලියට සහභාගී වූ ලියනල් මෙස්සි ඇතුළු ආර්ජෙන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණියද එහිදී ජර්මනිය හමුවේ පරාජය වී තරඟාවලියෙන් ඉවත්වීමට ආර්ජෙන්ටිනාවට සිදුවිය. තරඟාවලියේ දී මෙස්සි හට ගෝල වාර්තා කිරීමට නොහැකි වූ නමුත් වෙනත් අංශ වලින් දක්ෂතා දැක්වීමට ඔහුට හැකිවිය. (Dribbles, Passes)

2014 ලෝක කුසලානය

“2014 සැබෑ නොවූ මෙස්සිගේ ලෝක කුසලාන සිහිනය” (mundialrusia-2018.com)

2014 වනවිට මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පරිනත වී සිටියහ. ඔවුන් අතර ප්‍රතිවාදීත්වය ද උපරිම තලයක තිබුණි. (මෙය දෙදෙනාගේ දක්ෂතා අතර තිබෙන ප්‍රතිවාදීත්වයකි. ක්‍රීඩකයින් දෙදෙනා අතර පෞද්ගලිකව තිබෙන ප්‍රතිවාදීත්වයක් නොවේ.) මෙස්සි නියෝජනය කරන බාර්සිලෝනා කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් වැඩි වශයෙන් ආර්ජෙන්ටිනාවටත් රොනාල්ඩෝ නියෝජනය කරන රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් වැඩිවශයෙන් පෘතුගාල කණ්ඩායමටත් සහය දක්වන ආකාරය පැහැදිලිවම දැකගත හැකිවිය. (මේ වනවිට ද එය එසේමය.)

ආබාධයක් හේතුකොටගෙන තරඟාවලියට ක්‍රීඩා නොකරන්නැයි රොනාල්ඩෝ හට උපදෙස් ලැබුණු නමුත් ආබාධය පසෙකින් තබා ලෝක කුසලානයේ දී සිය රට නියෝජනය කරන්නට රොනාල්ඩෝ ගත තීරණය බොහෝ පැසසුම් සහගත එකක් විය. එහිදී මූලික වටයේ ඝානා කණ්ඩායමට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට රොනාල්ඩෝට හැකිවූ අතර ඒ අනුව පෘතුගාල පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තුනකදී ගෝල ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකිවිය. නමුත් මූලික වටයේ ඇමරිකාවත් සමඟින් ප්‍රසාද ලකුණු සමවීම නිසා ගෝල වෙනස අනුව ඇමරිකාව ඉදිරියෙන් සිටි හෙයින් තරඟාවලියෙන් ඉවත් වීමට පෘතුගාලයට සිදුවිය.

මෙස්සි 2011 වසරේ සිට ආර්ජෙන්ටිනා කණ්ඩායමේ නායකත්වය දරන අතර 2014 ලෝක කුසලානය ආර්ජෙන්ටිනා කණ්ඩායම විසින් ජයගනු ඇතැයි බොහෝ ක්‍රීඩා ලෝලීන් විශ්වාස කලහ. එම ලෝක කුසලානය මෙස්සි ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවට ඉතා හොඳ ලෝක කුසලානයක් විය. තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වාම පැමිණීමට ආර්ජෙන්ටිනාවට හැකිවූවත් අවසාන මහා තරඟයේ දී ජර්මනිය හමුවේ පරාජය වන්නට ඔවුන්ට සිදුවිය. තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව දිනාගැනීමට මෙස්සිට හැකිවිය. තරඟාවලිය පුරා ගෝල 4 ක්, සහය දැක්වීම් 1 ක් වාර්තා කිරීමට මෙස්සිට හැකිවිය. අනෙකුත් විවිධ දක්ෂතා වලින් (Dribbles, Chances created, Through balls, Deliveries to penalty area යන සියලුම දක්ෂතා වලින් තරඟාවලියේ ඉදිරියෙන් සිටියේ මෙස්සිය) ඉදිරියෙන් සිටීමට ද මෙස්සිට හැකිවිය. තරඟ 4 ක තරඟයේ වීරයා සම්මානය ලැබීමට ද ඔහුට හැකිවිය. නමුත් ඔහුගේ ලෝක කුසලාන සිහිනය සැබෑ වූයේ නැත.

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම් දෙකට තිබෙන හැකියාව

“රොනාල්ඩෝ 2016 යුරෝ ශූරතාවයත් සමඟින්” (Francisco Leong/AFP/Getty Images)

ආර්ජෙන්ටිනාව සහ පෘතුගාලය ඇතුළු මෙවර සිටින ප්‍රබල කණ්ඩායම් කිහිපයක් පිළිබඳවම මීට පෙර මෙම විශේෂාංගය යටතේ ලිපි ඉදිරිපත් කර ඇති අතර එම ලිපි වලින් කණ්ඩායම් පිළිබඳ හොඳ අදහසක් ලබාගත හැක. මෙම කණ්ඩායම් දෙක මුහුණදුන් අවසාන තරඟ පහ පිලිබඳ අවධානය යොමු කළහොත් පෘතුගාලය ඉන් ඊජිප්තුවට එරෙහිව පැවති තරඟය 2-1 ක් ලෙසින් ජයගැනීමට සමත්වී ඇත. නෙදර්ලන්තයට එරෙහිව පැවති තරඟයෙන් 3-0 ක් ලෙසින් පරාජය වී ඇත. බෙල්ජියම, ඇ.එ.ජ සහ ටියුනීසියාවට එරෙහිව පැවති තරඟ පිලිවෙලින් 0-0, 1-1 සහ 2-2 ලෙසින් ජය පරාජයෙන් තොරව නිමවී ඇත. ඒ අනුව පසුගිය අවධියේ දී පෘතුගාලය සැලකිව යුතු මට්ටමෙන් දස්කම් දක්වා නැති බව පෙනේ. (මෙම තරඟ තරඟකාරී මට්ටමේ තරඟ නොවන බැවින් කණ්ඩායම් උපරිම මට්ටමෙන් ක්‍රීඩා කරන්නේ නැත. එහෙත් එම කණ්ඩායම ක්‍රීඩා කර තිබෙන ආකාරය පිලිබඳ දළ අදහසක් ලබාගැනීමට හැක.)

ආර්ජෙන්ටිනාවද පසුගිය අවධියේ දී සැලකිය යුතු දස්කම් දැක්වීමට අපොහොසත් වී තිබේ. රුසියාවට එරෙහිව 1-0 ක් ලෙසින් ද, ඉතාලියට එරෙහිව 2-0 ක් ලෙසින් ද, හයිටි රාජ්‍යයට එරෙහිව 4-0 ක් ලෙසින් ද ජයගෙන තිබෙන ආර්ජෙන්ටිනාව ස්පාඤ්ඤයට එරෙහිව 6-1 ක් ලෙසින් සහ නයිජීරියාවට එරෙහිව 4-2 ක් ලෙසින් පරාජය වී තිබේ. ඒ අනුව ආර්ජෙන්ටිනාවද සුපුරුදු රිද්මයේ නොමැති බව පෙනේ.

දෙදෙනාටම හඬන්නට වේද?

“මෙස්සි සහ රොනාල්ඩෝ” (The Canadian Press)

මෙම ක්‍රීඩකයින් දෙදෙනා ලෝක කුසලාන තරඟාවලි වලදී දක්වා තිබෙන දස්කම් පිළිබඳ සැලකීමේ දී එම දස්කම් කිසිසේත්ම අවම ප්‍රමාණයේ දස්කම් නොවන බව පැහැදිලිය. අනෙක් අතින් එක් ක්‍රීඩකයෙකුට හෝ දෙදෙනෙකුට සමස්ත කණ්ඩායමක් ජයග්‍රහණය කරවීම ද අපහසු කටයුත්තකි. නමුත් මතක තබාගත යුතුම කාරණය වන්නේ ලෝක කුසලාන තරඟාවලි 3 කදීම පිලිමළුන් පිටුදැකීමේ (Knock out) තරඟවලදී මෙම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු හෝ ගෝල වාර්තා කර නොමැති බවය.

මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 4 වැනි ස්ථානයේ පෘතුගාලය සහ 5 වැනි ස්ථානයේ ආර්ජෙන්ටිනාව පසුවූවත් මෙවර ලෝක කුසලානයේ දී මූලික වටයේ දී මෙන්ම පිලිමළුන් පිටුදැකීමේ වටයේ දී ද මෙම ක්‍රීඩකයින් දෙදෙනාගෙන්ම විශේෂ දස්කම් ඔවුන්ගේ කණ්ඩායම් විසින් අපේක්ෂා කරන අතර එය සිදුකිරීම හෝ නොකිරීම මත එම කණ්ඩායම් වල ඉදිරිය තීරණය වනුඇත. මෙම ලෝක කුසලානය බොහෝ දුරට ලියනල් මෙස්සිගේ සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසාන ලෝක කුසලානය වන්නට ඉඩ ඇති බැවින් ඔවුන් දෙදෙනා කඳුළු සලමින් පිටියෙන් ඉවත්වනවාට මෙම විශිෂ්ටයින් දෙදෙනාට ආදරය කරන මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් කිසිසේත්ම කැමැත්තක් නොදක්වනු ඇත. එමනිසා මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මෙවර ලෝක කුසාලානයේ දී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරනු ඇති බව ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවයි.

Related Articles