Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මංගල ටෙස්ට් තරගයේ දී ශතක ලබාගත් ලාංකීය පිතිකරුවෝ

පසුගිය මාර්තු 21 වැනිදා ඇන්ටිගුවාවේ විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වුණා. එම තරගයේ දී කොදෙව්වන්ට වඩා ලකුණු 102ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ලකළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සිය දෙවන ඉනිම සඳහා ලකුණු 476ක් ලබාගනිමින් කොදෙව්වන්ට ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නා. 

මේ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුණු පැතුම් නිශ්ශංක, අගනා ලකුණු 103ක් වාර්තා කළා. පැතුම් ලබාගත් එම ශතකය ඔහුගේ මංගල ටෙස්ට් තරගයේ දීම වාර්තාවීම සුවිශේෂී සිදුවීමක්. ඒ අනුව ඔහු මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කළ සිව්වන ලාංකීය පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වෙනවා. 

එසේ නම්, තම මංගල ටෙස්ට් තරගයේ දී ශතක ලබාගත් ලාංකීය පිතිකරුවන් ගැන මේ ලිපියෙන් කතාකරමු.

බ්‍රෙන්ඩන් කුරුප්පු – 201* නවසීලන්තයට එරෙහිව (1987 වසරේ දී)

බ්‍රෙන්ඩන් මංගල ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදෙමින් (Benson and hedges Yearbook 1987)

1987 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියට පෙර පැවති ඉන්දු-ලංකා ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කඩුලු රකින්නා ලෙස කටයුතු කළ ගයි ද අල්විස් පිත්තෙන් අසාර්ථක වුණා. එදා ඔහු ඉනිම් 5ක  දී ලබාගත්තේ ලකුණු 14ක් පමණ යි. ගයි පිට පිටම ඉනිම් 3ක දී ලකුණු නොලබා දැවීයාම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ගයි පිත්තෙන් අසාර්ථක වුණු නිසා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී බ්‍රෙන්ඩන් කුරුප්පුට ශ්‍රී ලංකා කඩුලු රකින්නා මෙන්ම ආරම්භක පිතිකරුවා ලෙසින් ද ක්‍රීඩා කිරීමේ වරම් හිමිවුණා. ඒ වන විට සිය රට වෙනුවෙන් එක්දින තරග 23කට ක්‍රීඩාකර තිබුණු බ්‍රෙන්ඩන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගයක දී ඉහළම ලකුණු ප්‍රමාණය ලබාගත් පිත්කරුවා බවට පත්ව සිටියා. ඒ, 1983 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 72ක් ලබාගනිමින්. එය බ්‍රෙන්ඩන් එක්දින තරගයක දී පන්දුවට පහරදුන් මුල්ම අවස්ථාව වීමත් විශේෂත්වයක්.

එදා කොළඹ CCC පිටියේ දී ආරම්භ වුණු තරගයේ මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවුණු තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු තත්ත්වය 141/3 ලෙසින් සටහන් වුණා. ඒ වන විට බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 66ක් ලබාගෙන සිටියා. දෙවන දිනයේ දීත් හොඳින්ම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 5ක් ලකුණු 317ක් ලබාගැනීමට සමත්වුණා. එදින දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 153ක් ලබාගැනීම යි. එය ලාංකීය පිතිකරුවෙකු මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් සටහන් වුණා.

තරගයේ තෙවන දිනයේ දීත් සුපුරුදු පරිදි පන්දුවට පහරදුන් බ්‍රෙන්ඩන් සිය ද්විත්ව ශතකය කරා ක්‍රමයෙන් ළඟාවෙමින් සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වන කඩුල්ල ද දැවිගියා. නමුත් එම අවස්ථාවේ දී වගකීමෙන් ක්‍රීඩාකළ කෝසල කුරුප්පුආරච්චි සිය සගයාට මංගල ද්විත්ව ශතකය ලබාගැනීමට සහාය ලබාදුන්නා. ඒ අනුව පන්දු 548ක දී හතරේ පහර 24ක් සමගින් නොදැවී ලකුණු 201ක් ලබාගත් බ්‍රෙන්ඩන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. එම කාල වකවානුව වන විට සිය මංගල ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් ලබාගෙන සමත්ව තිබුණේ ලකුණු 287ක් ලබාගත්  එංගලන්තයේ රෙජිනල්ඩ් පෝස්ටර්, සහ ලකුණු 214ක් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ලෝරන්ස් රෝ පමණ යි. 

ඊට අමතරව මෙම තරගයේ දී බ්‍රෙන්ඩන් තවත් අපූරු වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ, ටෙස්ට් තරගයේ දින 5 තුළම පා ආවරණ පැළඳගෙන සිටිමින් පිහිටවනු ලැබූ දුර්ලභ ගණයේ වාර්තාව යි. ඔහුට එම අපූරු වාර්තාව තැබීමට වරම් ලැබුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමෙන් පසුව තරගය අවසන් වන තුරුම නවසීලන්ත පිතිකරුවන් පන්දුවට පහරදුන් නිසා යි. ඒ අනුව බ්‍රෙන්ඩන් කුරුප්පු  සිය මංගල ටෙස්ට් තරගයේ දී අමතක නොවන වාර්තා කිහිපයක් බිහිකිරීමට සමත් වුණා. 

රොමේෂ් කළුවිතාරණ – 132* ඕස්ට්‍රේලියාවට එරෙහිව (1992 වසරේ දී)

රොමේෂ් කළුවිතාරණ (gettyimages)

1987 අප්‍රේල් 21 පිටකොටුව බස් නැවතුම්පොළ අසල කොටි ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරියා. එම නිසා ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන සහ තුන්වන තරග අවලංගුකර දැමුනා. ඉන් වසර 5ක් ගතවන තුරු කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේ නැහැ. එම නිසා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් තරග ඉඩෝරයකට මුහුණ දුන්නා.  

වසර 5කටත් වැඩි කාලයක් පුරාවට පැවති ක්‍රිකට් තරග ඉඩෝරය නිමාකරමින් ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1992 වසරේ අගෝස්තු මාසයේ දී ලංකාවට පැමිණියා. එම තරග සංචාරය යටතේ කොළඹ SSC පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී රොමේෂ් කළුවිතාරණ නම් කඩුලු රකින්නාට ටෙස්ට් වරම් හිමිවුණා. 

තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිම සඳහා සියලුදෙනාම දැවී ලකුණු 256ක් ලබාගත්තා. එහි දී එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 124/7 ලෙසින් දිස්වුණත් ඉයන් හීලි නොදැවී ලබාගත් සටන්කාමී ලකුණු 66 නිසා ඔවුන්ගේ ගෞරවය යම් තරමකට ආරක්ෂා වුණා. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 367ක් ලබා සිටියේ අර්ජුණ රණතුංග සහ අසංක ගුරුසිංහ ශතක ලබාගනිමින් ගොඩනැගූ ලකුණු 230ක වටිනා සබඳතාවය නිසා යි. නමුත් එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ග්‍රේග් මැතිව්ස් පිට පිට පන්දු 2ක දී අර්ජුණ සහ මාවන් අතපත්තු දවාගත්තා. 

ග්‍රේග් මැතිව්ස් කඩුලු ත්‍රිත්වයක් කරා ළඟාවෙමින් සිටි අවස්ථාවේ රොමේෂ් කළුවිතාරණ පිටියට පිවිසියා. ඒ මොහොතේ දී ඕස්ට්‍රේලියානු නායකයා සහ පන්දු යවන්නන් කළුවිතාරණට දැඩි පීඩනයක් එල්ල කළත් ඔහු එය තඹ දොයිතුවකට මායිම් කළේ නැහැ. එම නිසා ඔහුගේ පිත්තෙන් පන්දු 158ක දී හතරේ පහර 26ක් සමගින් වේගවත් ලකුණු 132ක් වාර්තා වුණා. කළුවිතාරණ නොදැවී ලබාගත් ලකුණු 132 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 547/8 බවට පත්ව තිබුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක ලකුණු 500 ඉක්මවා ගිය මුල්ම අවස්ථාව යි. එදා කළුවිතාරණ  සිය මංගල ටෙස්ට් තරගයේ දී එවැනි ආකාරයේ ඉනිමක් ක්‍රීඩාකළත් ඔහුට එහි සතුට භුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක අනපේක්ෂිත පරාජයක් උරුම කරගත් නිසා යි. 

තිලාන් සමරවීර – 103* ඉන්දියාවට එරෙහිව (2001 වසරේ දී)

තිලාන්ගේ ඉනිමේ අවස්ථාවක් (Sportstar)

2001 ඉන්දු-ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය කොළඹ SSC පිටියේ දී පැවැත්වුණා. ඒ වන විට කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණු නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානුවන් සිය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 234ක් පමණ යි. එහි දී ඉන්දීය ඉනිම සුණුවිසුණු කළ මුත්තයියා මුරලිදරන් ලකුණු 87කට කඩුලු 8ක් දවාගත්තා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 416ක් ලබා සිටියේ මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ලබාගත් ශතක නිසා යි. එම අවස්ථාවේ දී ලකුණු 139ක් ලබා සිටි මහේල දැවීයාමත් සමග තිලාන් සමරවීර පිටියට පිවිසියා. එදා සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකළ තිලාන්, පිටියට පිවිසි මොහොතේ සිටම ඉතාමත් විශ්වාසයෙන් පන්දුවට පහරදුන්නා. එම නිසා සහීර් ඛාන්, වෙන්කටේෂ් ප්‍රසාද්, සහ හර්බජාන් සිං වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ අපහසුවකින් තොරව ලකුණු ලබාගැනීමට ඔහුට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තිලාන් සිය මංගල ටෙස්ට් තරගයේ දීම අගනා ශතකයක් ලබාගත්තා. එදා පන්දු 175කින් ඔහු නොදැවී ලබාගත් ලකුණු 103 සඳහා අලංකාර හතරේ පහරවල් 10ක් අන්තර්ගත වුණා. එහි දී ඔහු හතරේ පහරකින් සිය ශතකය සම්පූර්ණ කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පැතුම් නිස්සංක- 103 කොදෙව්වන්ට එරෙහිව (2021 වසරේ දී)

පැතුම් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් මොහොත (gettyimages)

2021 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 21 වැනිදා විවියන් රිචඩ්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 169ට පිළිතුරු වශයෙන් කොදෙව්වන් ලකුණු 271ක් ලබාගත්තා. අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 189ක් තුළ බිඳ වැටුණා. එලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් යම්කිසි පීඩනයකට ලක්ව සිටි අවස්ථාවේ සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පිටියට පිවිසියා.

එම අවස්ථාවේ දී ඔහුගෙන් ඉටුවීමට තිබුණු යුතුකම මනාව තේරුම්ගත් පැතුම් වගකීමෙන් යුතුව පන්දුවට පහරදෙන ආකාරය දක්නට ලැබුණා. ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන පිතිකරු යුගලයෙන් ඔහුට විශාල සහායක් ද ලැබුණා. එම නිසා පැතුම් හතරේ පහර 6ක් සමගින් අගනා ලකුණු 103ක් ලබාගනිමින් ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලබාගන්නට සමත්වුණා. එය ලාංකීය පිතිකරුවෙකු විදෙස් රටක දී මංගල ටෙස්ට් තරගයේ දීම ශතකයක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා.

මංගල ටෙස්ට් ශතකය පෙනි පෙනී දැවීගිය අවාසනාවන්තයන් යුගලය 

ඉහත සඳහන් කළ පිතිකරුවන් සිව්දෙනා සිය මංගල ටෙස්ට් තරගයේ දීම ශතක ලබාගන්නා විට, එම කඩයිම පෙනන නොපෙනෙන මානයට පැමිණ සිටිය දී අවාසනාවන්ත ලෙස දැවීගිය ලාංකීය පිතිකරුවන් දෙදෙනෙකු සිටිනවා. ඒ අතරින් පළමු පිතිකරුවා වුණු චාමර දුනුසිංහ එම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවුණේ 1995 වසරේ නවසීලන්තයට එරෙහිව නේපියර්හි දී පැවති ටෙස්ට් තරගයේ දී යි. ශ්‍රී ලංකාව විදෙස් රටක දී පළමු ටෙස්ට් ජයග්‍රහණය හිමිකරගත් එම තරගයේ දී අගනා ඉනිමක් ක්‍රීඩාකළ දුනුසිංහ පන්දු 240කින් ලකුණු 91ක් ලබා සිටිය දී ඩැනී මොරිසන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගියා. 

දිල්රුවන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

 

ඔහුට අමතරව එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණු අනිත් පිතිකරුවා බවට පත්වුණේ දිල්රුවන් පෙරේරා යි. 2014 වසරේ පාකිස්ථානයට එරෙහිව සාජා පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී දිල්රුවන්ට ටෙස්ට් වරම් හිමිවුණා. එදා අංක 8 පිතිකරුවා ලෙසින් ක්‍රීඩාකළ ඔහු ලකුණු 95ක් ලබාගෙන සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට මාන බලමින් සිටිය දී මොහොමඩ් තල්හාගේ පන්දුවක් හමුවේ දැවීගියා. එදා ටෙස්ට් ශතක අහිමිකරගත් එම පිතිකරු යුගලයට යළි කිසිදු දිනක ටෙස්ට් ශතක ලබාගැනීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

කවරයේ ඡායාරූපය- කළුවිතාරණ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක දී පන්දුවට පහරදෙමින්

Related Articles