Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆෝමියුලා වන් 2023 ලෝක ශූරතාවේ නිමා වූ උණුසුම

2023 ෆෝමියුලා වන් ලෝක ශූරතාව ආරම්භ වී මේ වන විට අදියර ත්‍රිත්වයක් නිමාවට පත් වී තිබෙනවා. මෙම අදියර අවසන් වෙද්දී සම්පූර්ණයෙන් ම ලෝක ශූරතාව තුළ තම ආධිපත්‍යය විහිදුවාගෙන සිටීමට තවදුරටත් රෙඩ්බුල් කණ්ඩායමට හැකියාව ලැබී තිබීම විශේෂත්වයක්.

ඔවුන් පසුගිය වසරේ ද කණ්ඩායම් ශූරතාව ජයග්‍රහණය කළා.

2023 ලෝක ශූරතාවයට කණ්ඩායම් 10 ක ධාවකයන් 20 ක් එක් වනවා – www.topgear.com

මෙවර ලෝක ශූරතාව යටතේ තවත් අදියර 20 ක් ඉතිරි ව තිබුණ ද නිමා වූ ගෝන් ප්‍රී අදියර තුළ සුවිශේෂී සිදුවීම් ගණනාවක් දකින්නට ලැබුණා. පැවති තරගවල කණ්ඩායම් සහ ධාවකයන් ගේ දක්ෂතා සහ පසුබැසීම් ද දැකගන්නට හැකි වූවා. මෙම ලිපියෙන් මේ වන විට ලෝක ශූරතාව ගමන් කරන දිශානතිය පිළිබඳ ව අවධානය යොමු කෙරෙනවා.

2022 ලෝක ශූරතාව

2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාව නිමාව දුටුවේ රෙඩ්බුල් කණ්ඩායම නියෝජනය කළ නෙදර්ලන්ත ජාතික මැක්ස් වර්ස්ටාපන්ට ශූරතාව හිමිකර දෙමින්. ඔහු පසුගිය වසරේ ඉතාමත් සාර්ථක ධාවනයක නිරත වුණා. මැක්ස් පැවති අදියර 22 න් 15 ක් ම ජයග්‍රහණය කිරීම ඔහුගේ සාර්ථකත්වයට සාක්ෂි සපයනවා. ඔහු 2022 ලෝක ශූරතාවයේ ප්‍රසාද ලකුණු 454 ක් වාර්තා කළා.

මැක්ස් වර්ස්ටාපන්ට දෙවනි වූ ෆෙරාරි ධාවක ශෝල් ලෙක්රක් ප්‍රසාද ලකුණු 308 ක් ද සමඟින් දෙවන ස්ථානය දිනා ගත්තා. ඔහු 2022 දී අදියර 3 ක ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ෆෙරාරි මෝටර් රථයේ තිබූ අඩුපාඩු සම්බන්ධයෙන් පසුගිය වසරේ ලෝක ශූරතා තරගාවලියේ දී වැඩි කතාබහක් නිර්මාණය වුණා. දෙවන ස්ථානයට තියුණු සටනක් ලබාදුන් රෙඩ්බුල් ධාවක සර්ජියෝ පෙරෙස් ප්‍රසාද ලකුණු 305 ක් ද සමඟින් තෙවන ස්ථානය දිනා ගත්තා.

වර්ස්ටාපන් 2022 ලෝක ශූරතාව ජයග්‍රහණය කළා – www.skysports.com

කණ්ඩායම් ශූරතාව යටතේ ඉතාම සුවපහසු ගමනක නිරත වූ රෙඩ්බුල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 759 ක් ලබා දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණා. දෙවන ස්ථානයට පත් වූ ෆෙරාරි කණ්ඩායම ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 554 ක් පමණ යි. වසර 8 ක් පුරාවට කණ්ඩායම් ශූරතාව ජයග්‍රහණය කර සිටි මර්සිඩීස් ආධිපත්‍යය ද පසුගිය වසරේ බිඳ වැටීම විශේෂත්වයක්.

2023 වර්ෂය ආරම්භය

නව වසරක නව බලාපොරොත්තු ද සමගින් කණ්ඩායම් 10 ක රියදුරන් 20 දෙනෙක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව වෙනුවෙන් මෙවර තරග බිමට අවතීර්ණ වුණා. නව මෝටර් රථ නිෂ්පාදනය කරමින් පෙර වසරට වඩා වැඩි තරගයක් ලබා දිමේ අරමුණ සෑම කණ්ඩායමක් සතුව ම තිබූ බව ප්‍රකාශ කිරීම නිවැරදි යි. 2022 දී ධාවනයේ යෙදුණු ඇතැම් ධාවකයන්ට තමන්ගේ අසුන් අහිමි වී තිබුණා.

2022 වසරේ මැක්ලරන් සමඟ ධාවනයේ නිරත වූ ඩැනියෙල් රිකාඩෝ, හාස් සමඟින් ධාවනයේ නිරත වූ මික් ශූමාකර්, විලියම්ස් සමඟ ධාවනයේ නිරත වූ නිකලස් ලටීෆි යන ධාවකයන්ට තම ප්‍රධාන අසුන් අහිමි වුණා. ඇස්ටන් මාර්ටින් කණ්ඩායම සමඟ ධාවනයේ නිරත වූ සෙබස්තියන් වෙටල් ෆෝමියුලා වන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියා.

ඩැනියෙල් රිකාඩෝට මැක්ලරන් අසුන අහිමි වුණා – www.dailystar.com

නික් ඩි ව්‍රීස්, නිකෝ හල්කන්බර්ග්, ඔස්කාර් පියැස්ට්‍රි සහ ලොගාන් සාජන්ට් යන ධාවකයන් 2022 ඉවත් වූ අය වෙනුවට ධාවනයේ නිරත වනවා. මේ ආකාරයෙන් සමන්විත වූ කණ්ඩායම් 10 ක් බහරේනයේ දී පසුගිය මාර්තු මස 05 වනදා තරග බිමට පිවිසියා.

බහරේන අදියර

2023 ෆෝමියුලා වන් ලෝක ශූරතාව ආරම්භ කරමින් බහරේන අදියර ප්‍රථමයෙන් ම ආරම්භ වුණා. එහි සුදුසුකම් ලැබීමේ වටයේ දී නැවත වතාවක් සුපිරි දස්කම් දැක්වූ රෙඩ්බුල් ධාවකයන් යුගළය තරග ආරම්භක රේඛාවේ පළමු ස්ථාන ද්විත්වය ම තහවුරු කර ගත්තා. එහි ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළ මැක්ස් වර්ස්ටාපන් වාර්තා කළ කාලය විනාඩි 1:29:708 ක්.

ඒ අනුව මැක්ස් වර්ස්ටාපන් ඉදිරියෙන් සිටිමින් බහරේන අදියර ආරම්භ වුණා. ඔහු තරගය පුරාවට ම තම ආධිපත්‍යය බිඳ හෙළීමට කිසිදු ධාවකයකුට අවස්ථාව ලබා දුන්නේ නෑ. වර්ස්ටාපන් පළමු ස්ථානය දිනා ගනිද්දී ඔහුගේ කණ්ඩායම් සගයා වූ සර්ජියෝ පෙරෙස් දෙවන ස්ථානය දිනා ගත්තා. පෙරළිකාර ධාවනයක නිරත වූ ඇස්ටන් මාර්ටින් ධාවක ෆර්නැන්ඩෝ ඇලොන්සෝට තෙවන ස්ථානය හිමි වුණා.

වර්ස්ටාපන් බහරේන අදියර ජයග්‍රහණය කළා – www.skysports.com

බහරේන අදියරේ ප්‍රථම ස්ථාන 05

  1. මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල්)
  2. සර්ජියෝ පෙරෙස් (රෙඩ්බුල්)
  3. ෆර්නැන්ඩෝ ඇලොන්සෝ (ඇස්ටන් මාර්ටින්)
  4. කාලෝස් සයින්ස් (ෆෙරාරි)
  5. ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්)

සෞදි අරාබි අදියර

මැදපෙරදිගින් ආරම්භ වූ ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ දෙවන අදියරත් මැදපෙරදිග ම ක්‍රියාත්මක වුණා. සෞදි අරාබියේ ජෙඩා ධාවන පථයේ දී සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ වූයේ 2023 මාර්තු 18 වනදා යි. එන්ජිමේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සුදුසුකම් ලැබීමේ දෙවන කොටසෙන් ම ඉවත් වීමට මැක්ස් වර්ස්ටාපන්ට සිදු වුණා. මේ හේතුවෙන් ඔහු තරගය ආරම්භ කළේ 15 වන ධාවකයා වශයෙන්. වේගවත් ම කාලය වාර්තා කළ සර්ජියෝ පෙරෙස් පළමු ස්ථානයේ තරගය ආරම්භ කළා.

එලෙස ආරම්භ වූ තරගයේ ආරම්භයේ සිට ම 15 වන ස්ථානයේ සිට ඉදිරියට පැමිණීමට මැක්ස් වර්ස්ටාපන් කටයුතු කළා. ඔහු විශිෂ්ට ධාවනයක නිරත වෙද්දී තම සගයාට නොදෙවෙනි ධාවනයක නිරත වීමට සර්ජියෝ පෙරෙස් සමත් වුණා. මේ හේතුවෙන් සියල්ලන් පසු කළත් පෙරෙස් පසු කිරීමට වර්ස්ටාපන් සමත් වූයේ නෑ. ජයග්‍රහණය සර්ජියෝ පෙරෙස්ට හිමි වෙද්දී වර්ස්ටාපන් දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. නැවතත් තෙවන ස්ථානය ෆර්නැන්ඩෝ ඇලොන්සෝ දිනා ගත්තා.

සෞදි අදියර ජයග්‍රහණය කළ සර්ජියෝ පෙරෙස් – www.ctvnews.com

සෞදි අරාබි අදියරේ මුල් ස්ථාන 05

  1. සර්ජියෝ පෙරෙස් (රෙඩ්බුල්)
  2. මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල්)
  3. ෆර්නැන්ඩෝ ඇලොන්සෝ (ඇස්ටන් මාර්ටින්)
  4. ජෝර්ජ් රසල් (මර්සිඩීස්)
  5. ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්)

ඕස්ට්‍රේලියා අදියර

2023 ෆෝමියුලා වන ලෝක ශූරතාවේ තෙවන අදියර වෙනුවෙන් ධාවකයන් ඕස්ට්‍රේලියාවට පැමිණියා. මෙවර මෝටර් රථයේ අඩුපාඩු අකාමකා දැමූ මැක්ස් වර්ස්ටාපන් කාල ගණන වටය අති සාර්ථක ව නිමා කළා. ඒ විනාඩි 1:16:732 ක කාලයක් වාර්තා කර පළමු ස්ථානය දිනා ගනිමින්. කලකට පසු දස්කම් දැක්වූ මර්සිඩීස් ධාවක දෙපළ දෙවන සහ තෙවන ස්ථාන දිනාගෙන ධාවන පථයේ පෙරමුණට පැමිණියා. අනතුරක් හේතුවෙන් සර්ජියෝ පෙරෙස් කාල ගණන වටය නිමා නොකළ අතර ඔහු 20 වන ස්ථානයේ සිට තරගය ආරම්භ කළා.

අප්‍රේල් මස 02 වනදා පැවති ඕස්ට්‍රේලියා අදියරේ අවස්ථා කිහිපයකදී ම අනතුරු සිදු වුණා. මේ හේතුවෙන් රතු කොඩි ඔසවා තරගය කිහිප වතාවක් ම නවතා නැවත ආරම්භ කිරීමට පවා සිදු වුණා. එහි දී ගත් යම් යම් තීරණ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් අප්‍රසාදය පළ කරන අයුරු ද දක්නට ලැබීම විශේෂත්වයක්. නැවත වතාවක් මැක්ස් වර්ස්ටාපන් ජයග්‍රහණය ලබා ගනිද්දී දෙවන ස්ථානය ලුවිස් හැමිල්ටන්ට සහ තෙවන ස්ථානය ෆර්නැන්ඩෝ ඇලොන්සෝට හිමි වුණා.

ෆර්නැන්ඩෝ ඇලොන්සෝ පැවති අදියර තුනේදී ම තෙවන ස්ථානය දිනා ගත්තා – www.f1.com

ඕස්ට්‍රේලියා අදියරේ මුල් ස්ථාන 05

  1. මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල්)
  2. ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්)
  3. ෆර්නැන්ඩෝ ඇලොන්සෝ (ඇස්ටන් මාර්ටින්)
  4. ලාන්ස් ස්ට්‍රෝල් (ඇස්ටන් මාර්ටින්)
  5. සර්ජියෝ පෙරෙස් (රෙඩ්බුල්)

සුවිශේෂී සිදුවීම්

දැනට පැවති අදියර ත්‍රිත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පෙනී යන ප්‍රධාන කරුණ නම් 2022 වර්ෂයේ රැක ගත් තම ආධිපත්‍යය රෙඩ්බුල් කණ්ඩායම එලෙස ම 2023 වසරටත් රැගෙන විත් තිබෙන බව යි. ඔවුන්ගේ ධාවකයන් දෙපළ වන මැක්ස් වර්ස්ටාපන් සහ සර්ජියෝ පෙරෙස් යන දෙදෙනා ම ඉතාම හොඳ රිද්මයකින් ධාවනයේ නිරත වනවා.

ඇස්ටන් මාර්ටින් කණ්ඩායමේ වර්ධනය සම්බන්ධයෙන් බොහෝ ෆෝමියුලා වන් ප්‍රේක්ෂකයන් මෙන් ම විචාරකයන් ද තම අවධානය යොමු කරන ආකාරය දකින්නට ලැබුණා. මේ වසරේ ලෝක ශූරතාවේ වඩාත් පුදුමාකාර දස්කම් දක්වන කණ්ඩායම බවට ඔවුන් පත්ව තිබෙනවා. ඔවුන්ගේ මෝටර් රථය රෙඩ්බුල් රථයේ ම කොපියක් බවට කෙරෙන චෝදනා ද දැකගන්නට පුළුවන්.

මෙවර ඇස්ටන් මාර්ටින් විශිෂ්ට දස්කම් දක්වනවා – www.motorsports.com

බලාපොරොත්තු නොවූ ආකාරයට ෆෙරාරි සහ මැක්ලරන් යන කණ්‍ඩායම් අසාර්ථක වුණා. පසුගිය වසරේ මෙන් ම මේ වසරේ ද ෆෙරාරි මෝටර් රථයේ විවිධ දෝෂ පවතින බව නිරීක්ෂණය කළ හැකි යි. කෙසේ වුවත් තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන මර්සිඩීස් රිද්මයට පැමිණෙන ආකාරයක් ඕස්ට්‍රේලියා අදියරේ දී දකින්නට ලැබුණා. ඔවුන් ඉදිරි අදියරවල යම් වෙනසක් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනීමට හැකි කණ්ඩායමක්.

අදියර 03 ක් අවසානයේ ධාවකයන්ගේ මුල් ස්ථාන 10

  1. මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල්) – 69
  2. සර්ජියෝ පෙරෙස් (රෙඩ්බුල්) – 54
  3. ෆර්නැන්ඩෝ ඇලොන්සෝ (ඇස්ටන් මාර්ටින්) – 45
  4. ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) – 38
  5. කාලෝස් සයින්ස් (ෆෙරාරි) – 20
  6. ලාන්ස් ස්ට්‍රෝල් (ඇස්ටන් මාර්ටින්) – 20
  7. ජෝර්ජ් රසල් (මර්සිඩීස්) – 18
  8. ලැන්ඩෝ නොරිස් (මැක්ලරන්) – 8
  9. නිකෝ හල්කන්බර්ග් (හාස්) – 6
  10. ශෝල් ලෙක්රක් (ෆෙරාරි) – 6
මැක්ස් වර්ස්ටාපන් – www.foxnews.com

අදියර 03 ක් අවසානයේ කණ්ඩායම් සටහන

  1. රෙඩ්බුල් – 123
  2. ඇස්ටන් මාර්ටින් – 65
  3. මර්සිඩීස් – 56
  4. ෆෙරාරි – 26
  5. මැක්ලරන් – 12
  6. ඇල්පීන් – 08
  7. හාස් – 07
  8. ඇල්ෆා රොමේයෝ – 06
  9. ඇල්ෆාටවුරි – 01
  10. විලියම්ස් – 01

*ක්‍රීඩකයන් ගේ සහ කණ්ඩායම්වල ඉදිරියෙන් ඇත්තේ ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු බව සලකන්න

කවරයේ ඡායාරූපය - 2023 ඕස්ට්‍රේලියා අදියරේ අවස්ථාවක් - www.sportingnews.com
මූලාශ්‍ර -
www.f1.com
www.skysport.com
www.motorsport.com

Related Articles