Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බොඳ වුණු සතියක්

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ පසුගිය සතියේ පැවති තරග 2ක දී ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වුණා. එහි දී ශ්‍රී ලංකාව ප්‍රබල ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් හමුවේ පිළිවෙළින් කඩුලු 7ක සහ ලකුණු 65ක පරාජයන් ලැබුවා.

එසේ ලැබූ පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට තබා තිබුණු බලාපොරොත්තු යම් තාක් දුරකට බොඳ වුණා.

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් – gettyimages.com

ස්ටොයිනිස්ගේ ප්‍රචණ්ඩකාරී පිතිහරඹයෙන් උරුම වුණු පරාජය

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගය පර්ත් හි දී පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා පන්දුවට මුලින් ම පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර අයුරින් සකසා තිබුණු තණතීරුවක සීරුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 13.2ක් අවසන් වෙද්දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 97ක් ලබා සිටියා.

ඒ මොහොතේ තරගයට අවතීර්ණ වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 120/6 බවට පත් වුණා. තරගයේ වැඩි වාසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි ව තිබුණු ඒ මොහොතේ පිටියේ එකතු වුණු චරිත් අසලංක සහ චාමික කරුණාරත්න පන්දු 15කින් ලකුණු 37ක වටිනා සබඳතාවක් ගොඩ නැඟුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම 157/6 ලෙසින් නිමාව දුටුවා.

දක්ෂ ලෙස පන්දුවට පහරදුන් අසලංක - gettyimages.com

ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ රිසි සේ ලකුණු ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එනිසා ඉනිමේ මුල් පන්දුවාර 6 අවසන් වෙද්දී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 33/1 දිස් වුණා. ඒ අතරතුර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක් වීම නිසා පිටියෙන් ඉවත් වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වුණු මරු පහරක් බඳු වුණා. එවැනි අසීරු තත්ත්වයක් යටතේ පවා ශ්‍රී ලංකා පන්දු යවන්නන් සටන අත් නොහැරීම හේතුවෙන් පන්දුවාර 12.2 අවසන් වෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු තත්ත්වය 89/3 බවට පත් ව තිබුණා.

ඒ මොහොත වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 46කින් ලකුණු 69ක් අවශ්‍ය ව තිබුණා. තරගය දෙපිලට ම විවෘත ව පැවති එම අවස්ථාවේ දී ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වුණු මාකස් ස්ටොයිනිස් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට එළව එළවා පහර දුන්නා.

එහි දී ඔහු වනිඳු හසරංග හමුවේ පන්දු 5කින් ලකුණු 18ක් ද, මහීෂ් තීක්ෂණ හමුවේ පන්දු 5කින් ලකුණු 19ක් ද ලබා ගත්තා. එලෙස සුපිරි පිතිහරඹයක නිරත වුණු ස්ටොයිනිස් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් පන්දු 18කදී නොදැවී ලකුණු 59ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ස්ටොයිනිස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව- 157/6 (20), (නිස්සංක- 40, අසලංක- 38*, ධනංජය- 26, මැක්ස්වෙල්- 5/1, ස්ටාක්- 23/1)
ඕස්ට්‍රේලියාව- 158/3 (16.3), (ස්ටොයිනිස්- 59*, ෆින්ච්- 31*, මැක්ස්වෙල්- 23, ධනංජය- 18/1)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
තරගයේ වීරයා- මාකස් ස්ටොයිනිස්

ග්ලේන් පිලිප්ස්ගේ විශිෂ්ට ශතකය හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වුණු ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ ඊළඟ තරගයේ දී නවසීලන්තය සමඟින් උරෙනුර ගැටුණා. සිඩ්නි පිටියේ දී පසුගිය සෙනසුරාදා පැවති එම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පන්දුවට මුලින් ම පහර දීමට තීරණය කළා.

ඔහුගේ එම තීරණයට හොඳ පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්තය කණ්ඩායමේ මුල් කඩුලු තුන ම ලකුණු 15ක් ඇතුළත දවා ගත්තා. ඒ මොහොතේ පිටියේ එක් වුණු ග්ලේන් පිලිප්ස් සහ ඩාර්ලි මිචෙල්, කඩා වටුණු නවසීලන්ත ඉනිම යළි ගොඩනැඟීම ආරම්භ කළා. එහි දී නවසීලන්ත ලකුණු පුවරුවේ ලකුණු 30ක් සටහන් වී තිබිය දී ග්ලේන් පිලිප්ස් ලබා දුන් පහසු උඩපන්දුවට පැතුම් නිස්සංක අතින් ගිලිහී ගියා.

කඩුල්ලක් දවාගැනීම සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ - gettyimages.com

එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ව පහර දුන් පිලිප්ස් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 64කින් ලකුණු 104ක් ලබා ගත්තා. එහි දී පිලිප්ස් සහ මිචෙල් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 84ක් එකතු කිරීම කැපී පෙනුණු සිදුවීමක් වුණා.

එසේ පිලිප්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු විශිෂ්ට ලකුණු 104ක ඉනිම නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තා. එහි දී නවසීලන්ත පිතිකරුවන් ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 113ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පිලිප්ස් ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

ඉන් අනතුරු ව ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට නවසීලන්ත වේගපන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 24ක් ඇතුළත බිඳ වැටුණා. ඉනිම ආරම්භයේ දී සිදු වුණු එම දැවැන්ත කඩාවැටීමෙන් පසුව යළි නැඟී සිටීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වුණේ නැහැ.

එනිසා සියලු ම ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.2ක දී ලකුණු 102කට දැවී ගියා. එහි දී ශ්‍රී ලංකා ඉනිම සුණුවිසුණු කළ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිද්දී, මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝඩි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
නවසීලන්තය- 167/7 (20), (පිලිප්ස්- 104, මිචෙල්- 22, රාජිත- 23/2, හසරංග- 22/1)
ශ්‍රී ලංකාව- 102/10 (19.2), (දසුන්- 35, භානුක- 34, බෝල්ට්- 13/4, සැන්ට්නර්- 21/2, සෝඩි- 21/2)
නවසීලන්තයට ලකුණු 65ක ජයක්
තරගයේ වීරයා- ග්ලේන් පිලිප්ස්

සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම් ලබාගත් පෙරළිකාර ජයග්‍රහණ

සුපිරි කණ්ඩායම් 12 තරග වටය යටතේ පසුගිය සතියේ පැවති තරගවල දී පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. එහි දී සිම්බාබ්වේ කණ්ඩායම එම ජයග්‍රහණය වාර්තා කළේ ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව යි. පර්ත් හිදී පසුගිය බ්‍රහස්පතින්දා පැවති එම තරගයේ දී ලකුණු 130ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 129ක් පමණ යි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් හිමි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

සිම්බාබ්වේ ක්‍රීඩකයන් ජයග්‍රහණයේ සතුට සමරමින් - gettyimages.com

කෙටි ලකුණු පුවරුව

සිම්බාබ්වේ- 130/8 (20), (විලියම්ස්- 31, එවන්ස්- 19, අර්වින්- 19, වසීම්- 24/4, ෂඩාබ්- 23/4, රවුෆ්- 12/1)
පාකිස්තානය- 129/8 (20), (මසූඩ්- 44, නවාස්- 22, රාසා- 25/3, එවන්ස්- 25/2, ජොන්ග්වේ- 10/1)
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 1ක ජයක්
තරගයේ වීරයා- සිකන්දර් රාසා

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දී අයර්ලන්තය පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම හමුවේ යි. මෙල්බර්න් ක්‍රීඩා පිටියේ පැවති එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් අයර්ලන්තය පන්දුවාර 19.2ක දී සියලු දෙනා ම දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 14.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 105ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ මොහොතේ තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වුණු නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව අයර්ලන්තයට ලකුණු 5ක ජයක් හිමි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

අයර්ලන්ත ක්‍රීඩකයන් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

අයර්ලන්තය- 157/10 (19.2), (බැල්බර්නි- 62, ටකර්- 34, ලිවිංග්ස්ටෝන්- 17/3, වුඩ්- 34/3, කරන්- 31/2)
එංගලන්තය- 105/5 (14.3), (මලාන්- 35, අලී- 24*, ලිට්ල්- 16/2, ඩොක්‍රල්- 5/1, හෑන්ඩ්- 17/1)
අයර්ලන්තයට ලකුණු 5ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)
තරගයේ වීරයා- ඇන්ඩි බැල්බර්නි

නවසීලන්තය පළමු කාණ්ඩයේ පෙරමුණට

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ පළමු කාණ්ඩයේ තරග 9ක් මේ වන විට පවත්වා අවසන්. එයින් තරග 3ක් වර්ෂාව නිසා එක් පන්දුවක්වත් නොයවා අත් හැර දැමීම කනගාටුදායක සිදුවීමක් වුණා. එහි දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම එම අවාසනාවන්ත ඉරණමට දෙවරක් ගොදුරු වුණා.

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ පළමු කාණ්ඩයේ තරගවල දී වැඩි දස්කම් දැක්වූ නවසීලන්තය තරග 3කට සහභාගි වී ප්‍රසාද ලකුණු 5ක් ලබා පළමු ස්ථානයේ රැඳී සිටිනවා. එහි දී නවසීලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව හමුවේ දැවැන්ත ජයග්‍රහණ වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. මේ පළමු කාණ්ඩය යටතේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල යි.

1). ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය- නවසීලන්තයට ලකුණු 89ක ජයක්
2). එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය- එංගලන්තයට කඩුලු 5ක ජයක්
3). ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය- ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්
4). ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව- ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
5). එංගලන්තය සහ අයර්ලන්තය- අයර්ලන්තයට ලකුණු 5ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)
6). නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය- ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා
7). ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය- ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා
8). එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව- ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා
9). නවසීලන්තය සහ ශ්‍රී ලංකාව- නවසීලන්තයට ලකුණු 65ක ජයක්

නවසීලන්ත කණ්ඩායම - gettyimages.com

පළමු කාණ්ඩයේ එක් එක් කණ්ඩායම ලබා ගෙන තිබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය සහ ක්‍රීඩා කර තිබෙන තරග ප්‍රමාණයයි මේ.
1). නවසීලන්තය- ලකුණු 5 (තරග- 3)
2). එංගලන්තය- ලකුණු 3 (තරග- 3)
3). අයර්ලන්තය- ලකුණු 3 (තරග- 3)
4). ඕස්ට්‍රේලියාව- ලකුණු 3 (තරග- 3)
5). ශ්‍රී ලංකාව- ලකුණු 2 (තරග- 3)
6). ඇෆ්ගනිස්තානය- ලකුණු 2 (තරග- 3)

ඉන්දියාව පරාජය කළ දකුණු අප්‍රිකාව දෙවන කාණ්ඩයේ පෙරමුණට

සුපිරි කණ්ඩායම් 12 වටයේ දෙවන කාණ්ඩයේ සිටින ප්‍රබල කණ්ඩායම් වන්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යි. ඒ අතුරින් පාකිස්තානය ඔවුන් සහභාගි වුණු මුල් තරග දෙකේ දී පිළිවෙළින් ඉන්දියාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් හමුවේ පරාජය ලැබුවා. එනිසා පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබෙන්නේ අඩු අවස්ථාවක්.

එවැනි තත්ත්වයක් යටතේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ දිනයේ පැවති තරගය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව දෙවන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා. මේ මෙතෙක් දෙවන කාණ්ඩය යටතේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල යි.
1). ඉන්දියාව සහ පාකිස්තානය- ඉන්දියාවට කඩුලු 4ක ජයක්
2). බංග්ලාදේශය සහ නෙදර්ලන්තය- බංග්ලාදේශයට ලකුණු 9ක ජයක්
3). දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ- ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා
4). දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය- දකුණු අප්‍රිකාවට ලකුණු 104ක ජයක්
5). ඉන්දියාව සහ නෙදර්ලන්තය- ඉන්දියාවට ලකුණු 56ක ජයක්
6). සිම්බාබ්වේ සහ පාකිස්තානය- සිම්බාබ්වේට ලකුණු 1ක ජයක්
7). බංග්ලාදේශය සහ සිම්බාබ්වේ- බංග්ලාදේශයට ලකුණු 3ක ජයක්
8). පාකිස්තානය සහ නෙදර්ලන්තය- පාකිස්තානයට කඩුලු 6ක ජයක්
9). දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව- දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

දකුණු අප්‍රිකා කණ්ඩායම - gettyimages.com

දෙවන කාණ්ඩයේ එක් එක් කණ්ඩායම ලබා ගෙන තිබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය සහ ක්‍රීඩා කර තිබෙන තරග ප්‍රමාණය පහතින් දැක්වෙනවා.
1). දකුණු අප්‍රිකාව- ලකුණු 5 (තරග- 3)
2). ඉන්දියාව- ලකුණු 4 (තරග- 3)
3). බංග්ලාදේශය- ලකුණු 4 (තරග- 3)
4). සිම්බාබ්වේ- ලකුණු 3 (තරග- 3)
5). පාකිස්තානය- ලකුණු 2 (තරග- 3)
6). නෙදර්ලන්තය- ලකුණු 0 (තරග- 3)

අවසන් පූර්ව වටයට යාමට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාව

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යාම සඳහා ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි තරග 2ක අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. ශ්‍රී ලංකාව එම තරග 2ක ජයග්‍රහණය කළ විට ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 6 දක්වා ඉහළ යනවා. එවැනි තත්ත්වයක් යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ ඉදිරි තරගවලින් 1ක් පරාජයට පත් වුණොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යාම සඳහා අවස්ථාවක් තිබෙනවා.

ඒ වාගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් තරගයකට වර්ෂාව නිසා විසඳුමක් රහිතව අවසන් වී ඉතිරි තරගය ඔවුන් ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 6 සීමාවේ නතර වෙනවා. එවිට දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය සඳහා යාමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඊට අමතරව නවසීලන්තය ඔවුන්ගේ ඉදිරි තරග 2ක පරාජයට පත් වුණොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. එනිසා ඉදිරි සතිය 20/20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ වඩාත් තීරණාත්මක සතිය බවට පත්වනු ඇති.


කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
howstat.com
t20worldcup.com

Related Articles