Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණු හැටි

1981 වසරේ ජූලි 21 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයක් බවට පත් වුණා. එදින ටෙස්ට් වරම් හිමිකර ගත් 8 වැනි රට බවට පත් වුණු ශ්‍රී ලංකාව එම අවස්ථාව උදා කර ගත්තේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. 1975 වසරේ සිටම ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා සටන් කළ ශ්‍රී ලංකාවට එහි දී විශාල සහායක් ලබාදුන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය යන අසල්වැසි රටවල් දෙක යි. ඔවුන් දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ලබාදුන් ශක්තිය නිසා ධෛර්යමත් වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ටෙස්ට් වරම් ලබාගැනීම වෙනුවෙන් කළ සටන වර්තමාන පරපුර දැනගත යුතුම යි. එසේ නම්, මේ ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණු ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

1975 ICC සමුළුවේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීමට යෝජනාවක් 

1974 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා සංචාරය කළා. එම සංචාරය යටතේ ඔවුන් නිල නොවන ටෙස්ට් තරග 2කට සහභාගි වුණා. එහි දී ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී පැවති නිල නොවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන විට කරච්චි පිටියේ දී පැවති තරගය පාකිස්ථානුවන් ජයගත්තේ ලකුණු 17කිනි. එම තරගාවලිය අවසන් වී වසරකින් පමණ පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල සමුළුව පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර යි. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විශාල පැහැදීමක් ඇති කරගෙන සිටි පාකිස්ථානයෙන් බිහි වුණු පළමු ටෙස්ට් නායකයා වුණු අබ්දුල් කාදර්, ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එලෙස අබ්දුල් කාදර් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය ලබාදීම සඳහා 1974 පාකිස්ථානු නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් විශාල බලපෑමක් කළා. එදා කාදර් විසින් ඉදිරිපත් කළ යෝජනාව ස්ථීර කරනු ලැබුවේ ඉන්දියාව විසිනුයි. 

අබ්දුල් හෆීස් කාදර් (gettyimages)

කාදර් ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වෙයි 

ඉන්පසුව කාදර් ඉදිරිපත් කළ යෝජනාව සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහි දී ඉන්දියාව සහ පාකිස්ථානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන විට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. ඒ අනුව ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද 4-2ක් ලෙසින් පරාජය වුණා. එහි දී ඉහත රටවල් 4ම යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු වුණේ; එම අවදිය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්ව තිබුණු යටිතල පහසුකම් සහ මූල්‍යමය පහසුකම් අවම මට්ටමක පැවතීම යි. එදා අබ්දුල් කාදර්ගේ යෝජනාව පරාජයට පත් වුණු නිසා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා තවත් කාලයක් බලා සිටීමට සිදුවුණා.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම වෙනුවෙන් ප්‍රබල සටනක 

1975 වසරේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීමට තිබුණු අවස්ථාව අහිමි වීමෙන් අනතුරුව පැවති තරගාවලිවල දී ඔවුන් ඉහල දස්කම් දැක්වීමට සමත් වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් අතුරින් 1976 ශ්‍රී ලංකා-පාකිස්ථානු ක්‍රිකට් තරගාවලිය අමතක කරන්නට බැහැ. එම තරගාවලිය යටතේ පැවති එක්දින තරග 2ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් තරගමාලාව 1-1 ලෙසින් සම කරගත්තේ ඔවුන් ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා සුදුස්සන් බව ලොවටම පෙන්වමින්. එම තරගාවලියෙන් වසරකට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා. එහි දී ඔවුන් සමග පැවති නිල නොවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, මාර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 1-1ක් ලෙස අවසන් කරගැනීමට සමත් වුණා. 

කොදෙව්වන්ට එරෙහිව සාර්ථක තරගාවලියක් 

1979 වසරේ මුල භාගයේ දී බටහිර ඉන්දීය කොදෙව් දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ප්‍රබල පිතිකරුවෙකු වුණු ඇල්වින් කලිචරන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු කොදෙව් කණ්ඩායමට ලැරී ගෝමස්, මැල්කම් මාෂල්, වැන්බර්න් හෝල්ඩර් සහ සිල්වෙස්ටර් ක්ලාක් යන ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත් වුණා. එම සංචාරය යටතේ පැවති ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වන විට එක්දින තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ කොදෙව් කණ්ඩායම යි. ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස එක්දින තරගාවලිය පරාජය වුණත්, තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති තරගයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හමුවේ කොදෙව්වන් පරාජයට පත් වුණා. මොරටුව ද සොයිසා පිටියේ පැවති මුල්ම තරගය වුණු එම තරගයේ දී සභාපතිවරයාගේ පිලට පන්දුවාර 35ක් තුළ ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එහි දී සභාපතිවරයාගේ කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 43කට දැවී තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දුලිප් මෙන්ඩිස් නොදැවී ලකුණු 78ක් ලබාගත්තා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින්. එලෙස කොදෙව්වන්ට එරෙහිව දැක්වූ දස්කම් නිසාම ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීම පිළිබඳව තබා තිබුණු බලාපොරොත්තුව තවත් වැඩිකර ගැනීමට හැකි වුණා.

දුලිප්ගේ ඉනිම පිළිබඳව එවකට පුවත්පත්වල සඳහන් වුණු අයුරු (sri Lanka’s path to victory at world cup 1996)

1979 ලෝක කුසලාන තරගාවලියේ දී ඉහළ දස්කම් 

1979 වසරේ පැවති ICC කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තා. එම තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 47කින් ජයගෙන විශාල පෙරළියක් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, ඔවුන් ටෙස්ට් වරම් ලබාගැනීමට සුදුසු කණ්ඩායමක් බව නැවතත් ඔප්පු කළා. පහත දැක්වෙන්නේ එදා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කළ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ශ්‍රී ලංකාව- 238/6 (60), (සුනිල් වෙත්තමුණි- 67, දුලිප්- 64, රෝයි- 50, අමර්නාත්- 40/3)

ඉන්දියාව- 191/10 (54.3), (වෙන්ග්සාර්කර්- 36, සෝමචන්ද්‍ර ද සිල්වා- 29/3, ඕපාත- 31/3)

ශ්‍රී ලංකාවට ලකුණු 47ක ජයක්. 

තරගයේ වීරයා- දුලිප් මෙන්ඩිස් 

ශ්‍රී ලංකාව ICC කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකාවට නැවතත් ටෙස්ට් වරම් නොලැබී යයි 

1980 වසරේ පැවති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සමුළුවේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීම පිළිබඳව යෝජනාව යළිත් ඉන්දියාව සහ පාකිස්ථානය විසින් ඉදිරිපත් කළා. එම සමුළුව සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිසල් සේනාරත්න, එම අවදියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලබා දී තිබුණු යටිතල පහසුකම් පිළිබඳව කතා කළා. එසේම එවකට රජය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලබාදුන් සහයෝගය ගැනත් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව යෝජනාව සම්මත කරගැනීම සඳහා පැවැත්වුණු ඡන්ද විමසීමේ දී පාකිස්ථානය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් යෝජනාවට  සහාය ව ඡන්දය ලබාදෙන විට ඉතිරි රටවල් යෝජනාවට විරුද්ධ වුණා. එවකට තිබුණු නීතිය අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත කරගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භකයන් වුණු ඕස්ට්‍රේලියාවේ හෝ එංගලන්තයේ සහාය අවශ්‍ය වුණා. එම නිසා නැවතත් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා තිබුණු අවස්ථාව අහිමි වී ගියා. නමුත් එම සමුළුව සඳහා සහභාගි වුණු එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු නියෝජිතයින් ශ්‍රී ලංකාවට යම් අභියෝගයක් ලබාදුන්නා. ඒ 1981 වසරේ දී ශ්‍රී ලංකාව එම රටවල් 2ට එරෙහිව සහභාගි වන තරගාවලිවල දී දස්කම් දැක්වීමට සමත් වුණොත්, ටෙස්ට් වරම් ලබාගැනීමට සහාය දක්වන බව යි.

1981 ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම් 

1981 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ මොරටුව ද සොයිසා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 45 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 218ක් ලබාගත්තේ හේමන්ත දේවප්‍රිය ලබාගත් වේගවත් ලකුණු 78 නිසා යි. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, පන්දුවාර 38ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම වැඩි ලකුණු වේගයක් රඳවා ගෙන සිටි නිසා ලකුණු 1ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වුණා. එම තරගයෙන් පසුව SSC පිටියේ පැවති දෙවන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 41.3ක් තුළ ලකුණු 183කට දැවීගියේ ලලිත් කළුපෙරුම ලකුණු 35කට දවාගත් කඩුලු 4 නිසා යි. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක වර්ණපුර ලබාගත් අගනා ලකුණු 106 නිසා ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබාගත්තේ පන්දුවාර 40.1 තුළ දී යි.  

බන්දුල වර්ණපුර (gettyimages)

එම තරගාවලිය යටතේ පැවති අවසන් එක්දින තරගයේ දී ලකුණු 243ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබාගත්තේ ඔවුන් තරගකාරී කණ්ඩායමක් බව ලොවටම පෙන්වමින්. එලෙස එක්දින තරගාවලිය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිල නොවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්තේ ඕස්ට්‍රේලියානුවන්ට වඩා ඉදිරියෙන් සිටිමින්. පහත දැක්වෙන්නේ එම නිල නොවන ටෙස්ට් තරගයේ ලකුණු පුවරුව යි.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 124/10, (වුඩ්- 28, අජිත් ද සිල්වා- 36/6, කළුපෙරුම- 35/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 177/10, (රෝයි- 64, මඩුගල්ල- 25, බියර්ඩ්- 69/5, හොග්- 14/4)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 178/10, (ඩයිසන්- 68, කළුපෙරුම- 74/5, අජිත් ද සිල්වා- 64/3)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

අජිත් ද සිල්වා (gettyimages)

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවෙයි 

1981 ශ්‍රී ලංකා සංචාරයේ දී ඕස්ට්‍රේලියානු කළමනාකරු ලෙසින් ෆ්රෙඩ් බෙනට් කටයුතු කළා. සංචාරය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ඉහළ දස්කම් නිසාම එම වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත ICC සමුළුවේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීමට සහාය වන බවට ඔහු පොරොන්දු වුණා. 

 ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමට සුදුස්සන් වුණු බව දැක්වෙන පුවත්පත් සටහනක් (sri Lanka’s path to victory at world cup 1996)

එලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීමට ආසන්නව සිටි අවස්ථාවක ගාමිණී දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ලැදියාවක් දැක්වූ ඔහු, 1981 වසරේ ජූලි 20 වැනි දා පැවති ICC සමුළුව අමතමින් ඉතාමත් වටිනා කතාවක් කළා. අවසානයේ දී වැඩි සාමාජිකයන් පිරිසකගේ කැමැත්තෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීම සම්මත වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් හිමි වුණු 8 වැනි රට ලෙසින් ඉතිහාසයට එකතු වුණා. එලෙස ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මංගල ටෙස්ට් තරගය 1982 වසරේ දී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළා. එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජය වුණත්, ඔවුන්ට ටෙස්ට් වරම් ලබාදීම ඉතාමත් සුදුසු බව විචාරක මතය වුණා. 

කවරයේ ඡායාරූපය- 1998 ශ්‍රී ලංකා-එංගලන්ත ඕවල් ටෙස්ට් තරගයේ දසුනක් (gettyimages)

Related Articles