Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 34 වැනි තරගය මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි. මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටක් වන ඉන්දියාවට මෙම තරගය ඉතාමත් වැදගත් එකක්. එසේම ඉන්දීය කණ්ඩායම හමුවේ 1992 වසරෙන් පසුව ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා නොමැති කොදෙව්වන් මෙවර සටනට පිවිසෙන්නේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. එම නිසාම ඉතාමත් උද්වේගකර සටනක් බලාපොරොත්තු වන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියා-කොදෙව් ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 8 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ 5ක් ලබාගන්නා විට කොදෙව්වන්ට ජයග්‍රහණය කිරීමට ලැබුණේ  අවස්ථා 3ක දී පමණ යි. 

1979 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක තරග කළ අවස්ථාවේ කොදෙව් කණ්ඩායමට පහසු ජයක් උරුම වුණේ ගෝර්ඩන් ග්‍රිනිජ් ලබාගත් ශතකය නිසා යි.

ඉන්දියාව – 190/10 (53.1)

බටහිර ඉන්දීය කොදෙව් – 194/1 (51.3)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

1979 තරගාවලියේ ඉන්දියා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

1983 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක අවස්ථාවන් 3ක දී තරග වැදුණා. ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් එක් තරගාවලියක දී තෙවරක් තරග වැදුණු එකම අවස්ථාව එය යි. එහිදී මූලික වටයේ තරගවල දී කණ්ඩායම් 2ම තරගය බැගින් ජයගත්තා. ඉන් දෙවන තරගයේ දී කොදෙව්වන් වෙනුවෙන් විවියන් රිචඩ්ස් ලකුණු 119ක් ලබාගැනීම විශේෂ සිදුවීමක්. ඉන්පසුව මෙම කණ්ඩායම් දෙක අතර පැවති ලෝක කුසලාන අවසන් තරගයේ දී ජයග්‍රහණය හිමිවුණේ ඉන්දියාවට යි.

මූලික වටයේ තරග 

ඉන්දියාව – 262/8 (60)

බටහිර ඉන්දීය කොදෙව් – 228/10 (54.1)

ඉන්දියාවට ලකුණු  28ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් – 282/9 (60)

ඉන්දියාව – 216/10 (53.1)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 66ක ජයක් 

අවසන් තරගය 

ඉන්දියාව – 183/10 (54.4)

බටහිර ඉන්දීය කොදෙව් – 140/10 (52)

ඉන්දියාවට ලකුණු  43ක ජයක්

1983 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව්වන් ඉන්දීය කණ්ඩායම පරාජය කළේ ඇන්ඩර්සන් කමින්ස් ලකුණු 33කට දවාගත් කඩුලු 4හි සහයෙන් 

ඉන්දියාව – 197/10 (49.4)

බටහිර ඉන්දීය කොදෙව් – 195/5 (40.2)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 5ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

1992 තරගාවලියේ ඉන්දියා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් මෙම කණ්ඩායම් දෙක 1996 ලෝක කුසලාන තරගාවලියේ දී හමුවුණු අවස්ථාවේ කොදෙව්වන්ට පරාජය උරුම වුණේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව් – 173/10 (50)

ඉන්දියාව – 174/5 (39.4)

ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

1996 තරගාවලියේ ඉන්දියා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී ජයග්‍රහණය හිමිවුණේ ඉන්දීය කණ්ඩායමට යි. එහිදී යුව්රාජ් සිං ලකුණු 113ක් ලබාගෙන ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන විට රවී රාම්පෝල් ලකුණු 51කට කඩුලු 5ක් දවාගනිමින් කොදෙව්වන් වෙනුවෙන් දස්කම් දැක්වුවා.

ඉන්දියාව – 268/10 (49.1)

බටහිර ඉන්දීය කොදෙව් – 188/10 (43)

ඉන්දියාවට ලකුණු  80ක ජයක්

යුව්රාජ් සිංගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2015 ලෝක කුසලාන තරගාවලියේ දී හමුවුණු අවස්ථාවේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ ඔවුන්ගේ පන්දු යවන්නන් දැක්වූ දස්කම් හේතුවෙන්.

බටහිර ඉන්දීය කොදෙව් – 182/10 (44.2)

ඉන්දියාව – 185/6 (39.1)

ඉන්දියාවට කඩුලු 4ක ජයක් 

2015 තරගාවලියේ ඉන්දියා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය පිළිබඳව දත්තයන් 

මෙම තරගාවලිය යටතේ අවසන් වරට මෙම පිටියේ පැවති තරග 3 දීම මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 290 සීමාව ඉක්මවා ගියා. එසේම එංගලන්ත නායක ඔයින් මෝගන් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම හමුවේ හයේ පහර 17ක් සමගින් ලකුණු 148ක් ලබාගත්තේ මෙම පිටියේ දී යි. එම නිසාම බොහෝ විට මෙම තරගය සඳහා සකසන තණතීරුවත් පිතිකරුවන්ට යෝග්‍ය එකක් වනු ඇති.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 8 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන කොදෙව්-ඉන්දියා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග හයෙන් 5ක් ජයග්‍රහණය කළේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. බොහෝවිට පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

මෙම ක්‍රීඩා පිටිය මෙම කණ්ඩායම් දෙකටම එතරම් සුභදායී එකක් නොවේ. ඉන්දියාව 1979 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුණේ එම පිටියේදී යි. නමුත් ඔවුන් 1983 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව් තරගය සහ එංගලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළේ මෙම පිටියේ දී යි. මෙම තරගාවලිය යටතේ පැවති ඉන්දු-පාකිස්ථාන තරගය මෙම පිටියේ දී පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය හිමිවුණේ ඉන්දියාවට යි.  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ජයග්‍රහණයක් වාර්තා කළේ 1984 වසරේ දී යි. එම තරගයේ දී විවියන් රිචඩ්ස් නොදැවී ලකුණු 189ක් ලබාගනිමින් එම අවදියේ එක්දින ඉනිමක පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළා. බටහිර ඉන්දීය කොදෙව්වන් 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තීරණාත්මක තරගයක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු 110කට දැවීගියේ මෙහිදී යි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති ඉන්දු-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන කොදෙව්-ඉන්දියා තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක අතර අවසන් වරට 2018 වසරේ දී පැවති එක්දින තරගාවලිය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ ඉන්දියාව යි. මෙම තරගාවලිය තුළ මේ දක්වා කණ්ඩායම් දෙක දක්වා ඇති දක්ෂතා අනුවත් ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය කණ්ඩායම යි. එම නිසාම මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් ඇත්තේ ඉන්දීය කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles