Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ රනින් බැබළුණු සුපිරි තරු 5ක්

වසර 125ක් පැරණි ඔලිම්පික් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී දක්ෂ ක්‍රීඩක – ක්‍රීඩිකාවන් රැසකගේ නම්  අපගේ මතකයට නැගෙනවා. ඒ අතුරින් වැඩි දෙනකු ගැන අදටත් කතාබහට ලක්වන්නේ ඔවුන් ඔලිම්පික් බිමේ දී පෑ සුපිරි හපන්කම් නිසා යි. මේ දිනවල ටෝකියෝ ඔලිම්පික් උළෙලේ උණුසුම ලෝකය පුරාම පැතිර යමින් පවතින නිසා ඔලිම්පික් බිම වර්ණවත් කළ සුපිරි තරු ගැන බොහෝ දෙනකු තොරතුරු සොයනවා. Roar සිංහල පාඨකයන් ද ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බව අපි හොඳින්ම දන්නවා. මෙම ලිපියෙන් ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් සුපිරි තරු පහ පිළිබඳ තොරතුරු ඔබ වෙත එනිසා ගෙන එනවා. 

5) කාල් ලුවිස් (අමෙරිකාව )- රන් පදක්කම් 9යි  

ඔලිම්පික් තරග ඉතිහාසය තුළ මලල ක්‍රීඩාවේ ආධිපත්‍යය හැමදාමත් පැවතුණේ අමෙරිකානුවන් සතුව යි. එලෙස විවිධ යුගවල දී ඔලිම්පික් පිටිය වර්ණවත් කළ අමෙරිකා මලල ක්‍රීඩකයන් අතුරින් කාල් ලුවිස්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. 1984-1996 කාල සමය තුළ පැවති ඔලිම්පික් උළෙල 4ක් නියෝජනය කළ ලුවිස්, එහි දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණේ තම රටට විශාල ගෞරවයක් හිමිකර දෙමින්. 

ලුවිස් ඔලිම්පික් තරගාවලිවල දී මීටර් 100, මීටර් 200, මීටර් 100×4 සහාය සහ දුර පැනීම යන ඉසව් යටතේ තරග වැදී තිබෙනවා. ඔහු අඛණ්ඩව ඔලිම්පික් තරගාවලි 4ක දී තරග වැදුණේ දුර පැනීමේ ඉසව්ව සඳහා පමණයි. මිටර් 100 සහ මීටර් 200 ඉසව් සඳහා 1988 ඔලිම්පික් තරගාවලියෙන් පසු සහභාගි නොවුණු ලුවිස්, මීටර් 100×4 සහාය ඉසව්ව ඔලිම්පික් තරගාවලි 3ක් නියෝජනය කර තිබෙනවා.

කාල් ලුවිස් 1984 ඔලිම්පික් තරගාවලියේ දී ලබාගත් රන් පදක්කම් සමගින්
කාල් ලුවිස් 1984 ඔලිම්පික් තරගාවලියේ දී ලබාගත් රන් පදක්කම් සමගින් – gettyimages

ඒ අයුරින් ඔලිම්පික් තරගාවලි 4කදී අමෙරිකාව නියෝජනය කළ කාල් ලුවිස්, රන් පදක්කම් 9ක් සහ එක් රිදී පදක්කම් දිනාගැනීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ ඔහු ඔලිම්පික් රන් පදක්කම් 9 දිනාගත් ආකාරය පිළිබඳ යි.

*1984 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100- තත්පර 9.99

මීටර් 200- තත්පර 19.80 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 100 සහාය- තත්පර 37.83 (ලෝක වාර්තාවක්)

දුර පැනීම- – මීටර් 8.54

*1988 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100- තත්පර 9.92 (ලෝක වාර්තාවක්)

දුර පැනීම- මීටර් 8.72 

*1992 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100 සහාය- තත්පර 37.40 (ලෝක වාර්තාවක්)

දුර පැනීම- මීටර් 8.67

*1996 ඔලිම්පික් තරගාවලිය

දුර පැනීම- මීටර් 8.50

සිය ඔලිම්පික් දිවිය තුළ ලුවිස් පදක්කම් 10ක් ලබාගත්තේ රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කමක් සමඟින්. එහි දී ලුවිස් දුර පැනීමෙන් රන් පදක්කම් 4ක් ලබා ගන්නා විට මීටර් 100 සහ මීටර් 100×4 සහාය ඉසව්වලිනුත් රන් පදක්කම් දෙක බැගින් ලබා ගත්තා. ඊට අමතරව මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් ලුවිස්, ඔලිම්පික් ඉතිහාසයේ පාවෝ නුර්මිට පසුව වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් මලල ක්‍රීඩකයා බවට පත් වුණා.

4) මාක් ස්පිට්ස් (අමෙරිකාව)- රන් පදක්කම් 9යි 

මාක් ස්පිට්ස් යන නම ඇසුණු සැණින්ම අපට මතක් වෙන්නේ 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය යි. ඒ ඔහු පිහිනුම් ඉසව්වලින් පෑ සුපිරි දස්කම් නිසා යි. එම ඔලිම්පික් තරගාවලියට පෙර පැවති 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලිය සඳහා ද මාක් ස්පිට්ස් සහභාගි වුණා. එවර ඔහුට ඒකල පිහිනුම් ඉසව්වලින් හිමි වුණේ රිදී පදක්කම්ක් සහ ලෝකඩ පදක්කමක් පමණ යි. නමුත් කණ්ඩායම් පිහිනුම් ඉසව්වලින් ඔහුට රන් පදක්කම් දෙකක් හිමිවුණා. 

ස්පිට්ස් මියුනිච් ඔලිම්පික් තරගාවලියේ දී දිනාගත් රන් පදක්කම් සමගින්
ස්පිට්ස් මියුනිච් ඔලිම්පික් තරගාවලියේ දී දිනාගත් රන් පදක්කම් සමගින් (gettyimages)

ඉන් වසර 4කට පසුව පැවති 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය සඳහා ස්පිට්ස් ඉදිරිපත් වුණේ  අත්දැකීම් බහුල පිහිනුම් ක්‍රීඩකයකු ලෙසින්. එදා ඔලිම්පික් බිමේ දී සිය අත්දැකීම් මනාව භාවිත කළ ස්පිට්ස් සහභාගි වුණු ඉසව් හතෙන්ම ලෝක වාර්තා පිහිටුවමින් රන් පදක්කම් දිනා ගත්තා. එය එම අවධිය වන විට යම් ක්‍රීඩකයකු තනි ඔලිම්පික් උළෙලක දී දිනාගත් වැඩිම රන් පදක්කක් ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. පහත දක්වා තිබෙන්නේ ස්පිට්ස් සිය ඔලිම්පික් දිවිය තුළ රන් පදක්කම් 9 දිනාගත් ආකාරය යි.

*1968 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100 නිදහස් ආර සහාය- විනාඩි 3:31.7

මීටර් 200 නිදහස් ආර සහාය- විනාඩි 7:52.3

*1972 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100 නිදහස් ආර- තත්පර 51.22 (ලෝක වාර්තාවක්)

මීටර් 100 සමනල ආර- තත්පර 54.27 (ලෝක වාර්තාවක්)

මීටර් 200 නිදහස් ආර- විනාඩි 1:52.78 (ලෝක වාර්තාවක්)

මීටර් 200 සමනල ආර- විනාඩි 2:00.70 (ලෝක වාර්තාවක්)

මීටර් 100 නිදහස් ආර සහාය- විනාඩි 3:26.42 (ලෝක වාර්තාවක්)

මීටර් 200 නිදහස් ආර සහාය- විනාඩි 7:35.78 (ලෝක වාර්තාවක්)

මීටර් 100 මෙඩ්ලි සහාය- විනාඩි 3:48.16 (ලෝක වාර්තාවක්)

3) පාවෝ නුර්මි (ෆින්ලන්තය)- රන් පදක්කම් 9යි 

1920-1928 කාල සමය තුළ ඔලිම්පික් තරග බිමේ රැඳී සිටි පාවෝ නුර්මි දක්ෂ දිගු දුර ධාවකයෙක්. අද වන විට දිගු දුර ධාවන ඉසව්වල ආධිපත්‍යය අප්‍රිකා රටවල්වලට හිමි ව තිබුණත් එදා දිගු දුර ධාවන ඉසව්වල දී ආධිපත්‍ය පැවතුණේ ෆින්ලන්ත දිගු දුර ධාවකයන් සතුව යි. එකල ෆින්ලන්තයට ඔලිම්පික් ජයග්‍රහණ රැසක් හිමිකරදුන් නුර්මි මීටර් 1500, මීටර් 5000, මීටර් 10000, මීටර් 3000 බාධක දිවීම, රට හරහා දිවීම ඒකල සහ රට හරහා දිවීම කණ්ඩායම් යන තරග ඉසව් සඳහා සහභාගි වුණා.

පාවෝ නුර්මි 1924 ඔලිම්පික් තරගාවලියේ දී
පාවෝ නුර්මි 1924 ඔලිම්පික් තරගාවලියේ දී – gettyimages

එම තරග ඉසව්වලින් ඔහු රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 3ක් දිනා ගත්තා. පහත දක්වා තිබෙන්නේ නුර්මි ඔලිම්පික් රන් පදක්කම් නවය  දිනාගත් තරග ඉසව් පිළිබඳ යි.

*1920 ඔලිම්පික් තරගාවලිය

මීටර් 10000- විනාඩි 31:45.8

රට හරහා දිවීම (ඒකල)- විනාඩි 27:15.0

රට හරහා දිවීම කණ්ඩායම් 

*1924 ඔලිම්පික් තරගාවලිය

මීටර් 1500- විනාඩි 3:53.6 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 5000- විනාඩි 14:31.2 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 3000 කණ්ඩායම් තරගය 

රට හරහා දිවීම (ඒකල)- විනාඩි 32:54.8

රට හරහා දිවීම කණ්ඩායම් 

*1928 ඔලිම්පික් තරගාවලිය

මීටර් 10000- විනාඩි 30:18.8 (ඔලිම්පික් වාර්තාවක්)

2) ලැරිසා ලැටිනිනා (සෝවියට් රුසියාව)- රන් පදක්කම් 9යි 

ඔලිම්පික් තරගාවලිය සඳහා ඇතුළත්ව තිබෙන ක්‍රීඩා අතුරින් ජිම්නාස්ටික් ක්‍රීඩාව කාගේත් අවධානයට ලක්වන ක්‍රීඩාවක්. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ දී පිරිමින් සඳහා නිර්දේශ කර තිබෙන ඒකල ඉසව් වන්නේ පැනීම්, පැති අශ්වයා, තිරස් පෝල, සමාන්තර දණ්ඩ, භූමි ව්‍යායාම, සහ වළලු යන ඉසව් හය යි. කාන්තාවන් සඳහා නිර්දේශ කර තිබෙන ඒකල ඉසව් වන්නේ භූමි ව්‍යායාම, පැනීම්, අසමතුලිත පෝල සහ සමාන්තර දණ්ඩ යන ඉසව් හතර යි. ඊට අමතරව සියලු ඉරියව් ඒකල සහ කණ්ඩායම් ඉසව් ද තරගාවලිය සඳහා ඇතුළත් වනවා. 

ලැටිනිනා 1964 ඔලිම්පික් තරගාවලියේ දී
ලැටිනිනා 1964 ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

ඒ අයුරින් පැවති ඔලිම්පික් ජිම්නාස්ටික් තරගවල දී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගැනීමට සමත් වුණේ ලැරිසා ලැටිනිනා නම් සෝවියට් රුසියානු ක්‍රීඩිකාව යි. 1956-1964 කාල සමය තුළ ඔලිම්පික් තරගාවලි 3ක් නියෝජනය කළ ලැරිසා රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගැනීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ මෙම දක්ෂ ජිම්නාස්ටික් ශූරිය ලබාගත් රන් පදක්කම් 9 පිළිබඳ යි. 

*1956 ඔලිම්පික්  තරගාවලිය 

පැනීම්- ලකුණු 18.83

භූමි ව්‍යායාම- ලකුණු 18.73

සියලු ඉරියව් (ඒකල)- ලකුණු 74.93

සියලු ඉරියව් (කණ්ඩායම්)- ලකුණු 448.80

*1960 ඔලිම්පික්  තරගාවලිය 

භූමි ව්‍යායාම- ලකුණු 19.58

සියලු ඉරියව් (ඒකල)- ලකුණු 77.03

සියලු ඉරියව් (කණ්ඩායම්)- ලකුණු 382.32

*1964 ඔලිම්පික්  තරගාවලිය 

භූමි ව්‍යායාම- ලකුණු 19.59

සියලු ඉරියව් (කණ්ඩායම්)- ලකුණු 380.89

1) මයිකල් පෙල්ප්ස් (අමෙරිකාව)- රන් පදක්කම් 23යි 

ඔලිම්පික් ඉතිහාසය තුළ බිහිවුණු විශිෂ්ටත ම ක්‍රීඩකයා ලෙසින් සලකන මයිකල් පෙල්ප්ස් 2004-2016 කාල සමය තුළ පිහිනුම් ඉසව් යටතේ ඔලිම්පික් තරගවලට සහභාගි වුණා. එහි දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණු පෙල්ප්ස් රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට සමත් වුණා. එලෙස පෙල්ප්ස් තනිවම රන් පදක්කම් 23ක් දිනාගනිද්දී වසර 125ක ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 23කට වැඩියෙන් දිනාගෙන තිබෙන්නේ රටවල් 38ක් පමණ යි. 

පෙල්ප්ස් 2008 ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම් දිනාගත් අවස්ථා 8
පෙල්ප්ස් 2008 ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම් දිනාගත් අවස්ථා 8 (gettyimages)

ඒ අයුරින් ඔලිම්පික් බිම වර්ණවත් කළ මෙම සුපිරි පිහිනුම් ක්‍රීඩකයා ලෝක වාර්තා 7ක් සහ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 8ක් දිනාගත්තා. එය තනි ඔලිම්පික් තරගාවලියක දී  යම් ක්‍රීඩකයකු ලබාගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර  රැඳී පවතිනවා. එදා පෙල්ප්ස් අතින් බිඳ වැටුණේ ඊට වසර 36කට පෙර ඔහුගේම රටේ පිහිනුම් ශූරයකු වුණු මාක් ස්පිට්ස් රන් පදක්කම් 7ක් ලබාගෙන පිහිටුවා තිබුණු වාර්තාව යි. පහත දැක්වෙන්නේ පෙල්ප්ස් සිය රන් පදක්කම් 23 ලබාගත් ආකාරය පිළිබඳ යි. 

*2004 ඔලිම්පික් තරගාවලිය 

මීටර් 100 සමනල ආර- තත්පර 51.25 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 200 සමනල ආර- විනාඩි 1:54.04 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 200 නිදහස් ආර සහාය- විනාඩි 7:07.33 

මීටර් 100 මෙඩ්ලි සහාය- විනාඩි 3:30.68 (ලෝක වාර්තාවක්)

මීටර් 200 මෙඩ්ලි ඒකල- විනාඩි 1:57.04 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 400 මෙඩ්ලි ඒකල- විනාඩි 4:08.26 (ලෝක වාර්තාවක්)

*2008 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100 සමනල ආර- තත්පර 50.58 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 200 නිදහස් ආර- විනාඩි 1:42.96 (ලෝක වාර්තාවක්)

මීටර් 200 සමනල ආර- විනාඩි 1:52.03 (ලෝක වාර්තාවක්)

මීටර් 100 නිදහස් ආර සහාය- විනාඩි 3:08.24 (ලෝක වාර්තාවක්)

මීටර් 200 නිදහස් ආර සහාය- විනාඩි 6:58.56 (ලෝක වාර්තාවක්)

මීටර් 100 මෙඩ්ලි සහාය- විනාඩි 3:29.34 (ලෝක වාර්තාවක්)

මීටර් 200 මෙඩ්ලි ඒකල- විනාඩි 1:54.23 (ලෝක වාර්තාවක්)

මීටර් 400 මෙඩ්ලි ඒකල- විනාඩි 4:03.84 (ලෝක වාර්තාවක්)

*2012 ඔලිම්පික් තරගාවලිය

මීටර් 100 සමනල ආර- තත්පර 51.21 

මීටර් 200 නිදහස් ආර සහාය- විනාඩි 6:59.70 

මීටර් 100 මෙඩ්ලි සහාය- විනාඩි 3:29.35 

මීටර් 200 මෙඩ්ලි ඒකල- විනාඩි 1:54.27 

*2016 ඔලිම්පික් තරගාවලිය

මීටර් 200 සමනල ආර- විනාඩි 1:53.36 

මීටර් 100 නිදහස් ආර සහාය- විනාඩි 3:09.92

මීටර් 200 නිදහස් ආර සහාය- විනාඩි 7:00.66 

මීටර් 100 මෙඩ්ලි සහාය- විනාඩි 3:27.95 (ඔලිම්පික් වාර්තාවක්)

මීටර් 200 මෙඩ්ලි ඒකල- විනාඩි 1:54.66

කවරයේ ඡායාරූපය- පෙල්ප්ස් සිය ඔලිම්පික් දිවියේ දී දිනාගත් පදක්කම් සමඟ (Esquire) 

 මූලාශ්‍ර- olympic.com 

Related Articles