Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්සයි විස්ස කුසලානයේ ඉදිරි ජය පැරදුම් කෙසේ වෙයි ද?

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග ඊයේ (06) නිමාවට පත් වුණා. එම තරග ප්‍රතිඵලවලට අනුව නවසීලන්තය, ඉන්දියාව, එංගලන්තය සහ පාකිස්තානය යන කණ්ඩායම් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටය සඳහා එක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ 2ක් සමඟ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගෙන සුපිරි කණ්ඩායම් 12 තරග වටය අවසන් කළා. එහි දී ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යාමට අවස්ථාව අහිමි වුණත් 2024 දී පැවැත්වෙන ඊළඟ 20/20 ලෝක කුසලානයට සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව 2016 වසරෙන් පසුව 20/20 ලෝක කුසලානයක් සඳහා සෘජුව ම සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.

සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකා දස්කම්

ශ්‍රී ලංකාව මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ දී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණා. නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල් ත්‍රිත්වය එම කාණ්ඩයට ඇතුළත් වී සිටි නිසා එහි දැඩි තරගකාරී බවක් තිබුණා. පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු අනිකුත් කණ්ඩායම් ද්විත්වය වුණේ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය යි. එම කණ්ඩායම් දෙක ද තරගකාරී කණ්ඩායම් දෙකක් නිසා පළමු කාණ්ඩය තුළ පැවතියේ ප්‍රබල සටනක්. එවැනි වටපිටාවක ආරම්භ වුණු සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය හමුවේ කඩුලු 9ක පහසු ජයක් ලැබුවා. මේ එම තරගයේ ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.
අයර්ලන්තය- 128/8 (20)
ශ්‍රී ලංකාව- 133/1 (15)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත තරගය ජයග්‍රහණය කළ අවස්ථාව – gettyimages.com

අයර්ලන්තය තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ඉහළ මානසික තත්ත්වයකට පැමිණි ශ්‍රී ලංකාව ඊළඟට තරග වැදුණේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ යි. පර්ත් හි දී පැවති එම තරගයේ පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා. එය පර්ත් වැනි තණතීරුවක තරගයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක්.

ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසි හිමි ව තිබුණු මොහොතක වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක් වුණා. එනිසා ඔහුගේ පන්දුවාර 3ක් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා. පර්ත් වැනි වේග තණතීරුවක ක්‍රීඩා කරද්දී වේගපන්දු යවන්නකුගේ සේවය අහිමි වීම දැඩි අවාසියක්. එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ පහසුවෙන් ලකුණු ලබා ගෙන තරගය ජයග්‍රහණය කළා. මේ එම තරගයේ ප්‍රතිඵලය යි.
ශ්‍රී ලංකාව- 157/6 (20)
ඕස්ට්‍රේලියාව- 158/3 (16.3)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණු ශ්‍රී ලංකාව ඊළඟට තරග වැදුණේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමඟ යි. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකාවට එම තරගයේ ජයග්‍රහණය අවශ්‍ය වුණා. ශ්‍රී ලංකාවට එදා සිට ම වාසිදායක වුණු සිඩ්නි පිටියේ පැවති එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3ක් ලකුණු 15ක් ඇතුළත දැවී ගියා.

කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ – gettyimages.com

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමි ව තිබුණු ඒ මොහොතේ ග්ලේන් පිලිප්ස් ලබා දුන් පහසු උඩ පන්දුවක් පැතුම් නිස්සංක අතින් ගිලිහී ගියා. එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් පිලිප්ස් පන්දු 64කින් ලකුණු 104ක් ලබා ගත්තා. එනිසා නවසීලන්ත ඉනිම 167/7 ලෙස නිමාව දුටුවා. පැතුම්ගේ එම අත්වැරදීම හේතුවෙන් පිලිප්ස් ලබා ගත් ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 65ක පරාජයක් උරුම වුණා. මේ එම තරගයේ ප්‍රතිඵලය යි.
නවසීලන්තය- 167/7 (20)
ශ්‍රී ලංකාව- 102/10 (19.2)
නවසීලන්තයට ලකුණු 65ක ජයක්

පිට පිට ම තරග 2ක් පරාජය වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ තරගයේ දී උරෙනුර ගැටුණේ ඇෆ්ගනිස්තානය සමඟ යි. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකාවට එම තරගයේ ජයග්‍රහණය අවශ්‍ය ම වුණා. එවැනි වටපිටාවක පැවති තරගයේ දී පන්දුවට මුලින් පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 144ක් පමණ යි.

එහි දී වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 3ක් දවා ගෙන දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 42කින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා. එනිසා ශ්‍රී ලංකාවට පහසු ජයක් උරුම වුණා. මේ එම තරගයේ ප්‍රතිඵලය සටහන් වුණු ආකාරය යි.

ඇෆ්ගනිස්තාන තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

ඇෆ්ගනිස්තානය- 144/8 (20)
ශ්‍රී ලංකාව- 148/4 (18.3)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ දී ශ්‍රී ලංකාව අවසන් වරට තරග වැදුණේ එංගලන්තය සමඟ යි. එම තරගය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි වී තිබුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසන් වෙද්දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 116ක් ලබා ගෙන සිටියා.

එම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල අයුරින් පන්දුවට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් ඔවුන්ට අවසන් පන්දු 30 ඇතුළත කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 25ක් පමණ යි. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන් ඉනිමේ 20 වන පන්දුවාරයේ දී කඩුලු 4ක ජයක් වාර්තා කළා. මේ එම තරගයේ ප්‍රතිඵලය සටහන් වුණු ආකාරය යි.
ශ්‍රී ලංකාව- 141/8 (20)
එංගලන්තය- 144/6 (19.4)
එංගලන්තයට කඩුලු 4ක ජයක්

පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී පන්දුවෙන් ඉහළ ම දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නා වුණේ වනිඳු හසරංග යි. ඔහු තරග 8කදී කඩුලු 15ක් දවා ගැනීමට සමත් වුණා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 8කට දවාගත් කඩුලු 3යි.

කඩුලු 15ක් බිඳ දැමූ වනිඳු මේ වන විට තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්ව සිටිනවා. වනිඳුට අමතර ව මහීෂ් තීක්ෂණ තරග 8කදී කඩුලු 9ක් දවා ගෙන පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

වනිඳු පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ඉනිම් 8කදී ලකුණු 223ක් රැස් කළා. එහි දී ඔහු වාර්තා කළ වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුණේ නෙදර්ලන්තය හමුවේ පන්දු 44කින් ලබාගත් ලකුණු 79 යි.

කුසල්ට අමතර ව දක්ෂ ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ඉනිම් 7කදී ලකුණු 214ක් ලබා ගත්තා.

කුසල් පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම අහිමි වුණේ ඇයි?

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ම ක්‍රීඩකයෙක් අහිමි වුණා. ඒ වමත් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංක යි. ශ්‍රී ලංකාව සතුව සිටින ප්‍රධානත ම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ද ආබාධයකට ලක් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වුණා.

ඔවුන් දෙදෙනාට ම හොඳ දෝලනයක් සහිත ව පැයට කිලෝමීටර් 145කට වඩා වේගයෙන් පන්දු යැවීමේ හැකියාව තිබෙනවා. තරගාවලිය ආරම්භයේ දී ම ඔවුන් දෙදෙනාගේ සේවය අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිමැසිය නොහැකි පාඩුවක් වුණා.

දුෂ්මන්ත චමීර – gettyimages.com

ප්‍රමෝද් මදුෂාන් සහ බිනුර ප්‍රනාන්දු යන වේගපන්දු යවන්නන් දෙදෙනා ද ආබාධවලට ඉන් පසුව ලක් වුණා. එනිසා අප සතු ව සිටි ප්‍රධානත ම වේගපන්දු යවන්නන් සිව්දෙනකුට තරගාවලියේ දී සිය දායකත්වය නිසි පරිදි ලබාදීමට හැකි වුණේ නැහැ. ඕස්ට්‍රේලියාව වැනි රටක ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරද්දී දක්ෂ වේගපන්දු යවන්නන් නොමැති ව තරග ජයග්‍රහණය කිරීමට අපහසු බව තරගාවලිය පුරා හොඳින් ම දැක ගන්නට ලැබුණා.

තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය හමුවේ ක්‍රීඩා කළ තරග තුන යි. එම තරග ත්‍රිත්වයේ දී ම එක්තරා අවස්ථාවක තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ව තිබුණා. ඒ අවස්ථා තුනේ දී ම ලත් වාසිය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. තීරණාත්මක අවස්ථාවල උඩපන්දු අත හැරීම ද මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට දැඩි බලපෑමක් සිදු කළා.

පළමු කාණ්ඩයෙන් නවසීලන්තය සහ එංගලන්තය අවසන් පූර්ව වටයට

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ වඩාත් තරගකාරී කාණ්ඩය බවට පත් වුණේ පළමු කාණ්ඩය යි. එම කාණ්ඩය යටතේ තරග වැදුණු නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් තුන ම ජයග්‍රහණ තුන බැගින් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 7 සීමාවට පැමිණියා.

එහි දී ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවාගත් නවසීලන්තය සහ එංගලන්තය අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුස්සන් වෙද්දී පසුගිය 20/20 ලෝක ශූරයන් මෙන් ම තරගාවලියේ සත්කාරක රට වුණු ඕස්ට්‍රේලියාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. මේ සුපිරි කණ්ඩායම් 12 තරග වටය අවසන් වෙද්දී පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන දැක් වුණු ආකාරය යි.

1). නවසීලන්තය- ලකුණු 7 (දල ලකුණු ලබාගැනීමේ වේගය 2.113)
2). එංගලන්තය- ලකුණු 7 (දල ලකුණු ලබාගැනීමේ වේගය 0.473)
3). ඕස්ට්‍රේලියාව- ලකුණු 7 (දල ලකුණු ලබාගැනීමේ වේගය -0.173)
4). ශ්‍රි ලංකාව- ලකුණු 4 (දල ලකුණු ලබාගැනීමේ වේගය -0.422)
5). අයර්ලන්තය- ලකුණු 3 (දල ලකුණු ලබාගැනීමේ වේගය -1.615)
6). ඇෆ්ගනිස්තානය- ලකුණු 2 (දල ලකුණු ලබාගැනීමේ වේගය -0.571)

නවසීලන්ත කණ්ඩායම- gettyimages.com

දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වටයට

සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ප්‍රබල තරගයක් පැවතුණේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් අතර යි. පාකිස්තානය අනපේක්ෂිත අයුරින් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වුණු නිසා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා.

එවැනි වටපිටාවක ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ පරාජයට පත් වුණා. එනිසා ඉන්දියාවට සහ පාකිස්තානයට අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ අවස්ථාව හිමි වුණා. එහි දී ආසියානු රටවල් 2කට 2014 T20 ලෝක කුසලානයෙන් පසුව අවසන් පූර්ව වටයට පිවිසීම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ සුපිරි කණ්ඩායම් 12 තරග වටය අවසන් වෙද්දී දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන දැක් වුණු ආකාරය යි.

1). ඉන්දියාව- ලකුණු 8 (දල ලකුණු ලබාගැනීමේ වේගය 1.319)
2). පාකිස්තානය- ලකුණු 6 (දල ලකුණු ලබාගැනීමේ වේගය 1.028)
3). දකුණු අප්‍රිකාව- ලකුණු 5 (දල ලකුණු ලබාගැනීමේ වේගය 0.874)
4). නෙදර්ලන්තය- ලකුණු 4 (දල ලකුණු ලබාගැනීමේ වේගය -0.849)
5). බංග්ලාදේශය- ලකුණු 4 (දල ලකුණු ලබාගැනීමේ වේගය -1.176)
6). සිම්බාබ්වේ- ලකුණු 3 (දල ලකුණු ලබාගැනීමේ වේගය -1.138)

ඉන්දීය කණ්ඩායම – gettyimages.com

අවසන් පූර්ව වටයේ ආරම්භය එළඹෙන 10 වැනි දා

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එහි දී පළමු අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය සහ පාකිස්තානය තරග වදින්නේ සිඩ්නි පිටියේ දී යි. එම කණ්ඩායම් ද්විත්වය මීට පෙර 20/20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී එකිනෙකා හමු ව තිබෙනවා. ඒ 2007 වසරේ දී යි. එම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කළේ පාකිස්තාන කණ්ඩායම යි.

දෙවන අවසන් පූර්ව තරගයේ දී හමුවන්නේ ඉන්දියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙක යි. එම තරගය ඇඩිලේඩ් හි දී පැවැත්වීමට නියමිත යි. මෙම කණ්ඩායම් ද්විත්වය මීට පෙර 20/20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී තරග කර නොතිබීම විශේෂත්වයක්. එම අවසන් පූර්ව තරගවලින් ජයගන්නා කණ්ඩායම් දෙක මෙල්බර්න් හි දී එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇති.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා පිල මෙවර 20/20 ලෝක කුසලානයේ දී - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
t20worldcup.com
cricbuzz.com

Related Articles