Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 32 වැනි තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර යි. ක්‍රිකට් පිටියේ සිටින සාම්ප්‍රදායික සතුරන් දෙදෙනෙකු මුණ ගැසෙන මෙම තරගය තරගාවලියේ තීරණාත්මක තරගයක් බවට පත්වී තිබෙන්නේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයත් සමග යි. එම පරාජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා එංගලන්තයට ඉතිරි තරග 3හි ජයග්‍රහණය වැදගත් නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවත්වෙන තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අවශ්‍ය ම එකක්.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-එංගලන්ත ගැටුම්

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 7ක දී එකිනෙකා ගැටී තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානුවන් තරග 5ක් ජයග්‍රහණය කරන විට එංගලන්තය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 2ක් පමණ යි.

1975 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය තරග වැදුණා. එහිදී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වුණු ගැරී ගිල්මෝර් ලකුණු 14කට ලබාගත් කඩුලු 6 නිසා එංගලන්ත ඉනිම ලකුණු 93කට සීමාවුණා. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 39කට දැවීගොස් තිබුණු අවස්ථාවේ ගිල්මෝර් නොදැවී ලකුණු 28ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එංගලන්තය – 93/10 (36.2)

ඕස්ට්‍රේලියාව – 94/6 (28.4)

ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක් 

ගිල්මෝර් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයේ මුණ ගැසුනා. එහිදී එංගලන්තය පහසු ජයක් උරුමකර ගත්තේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසාර්ථක වීම නිසා යි.

ඕස්ට්‍රේලියාව – 159/9 (60)

එංගලන්තය – 160/4 (47.1)

එංගලන්තයට කඩුලු 6ක ජයක් 

1979 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1987 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී මෙම කණ්ඩායම් දෙක තරග කළා. එහිදී  පහසුවෙන් ජයග්‍රහණය කරා ගිය එංගලන්ත කණ්ඩායමට පරාජය උරුම වුණේ ගැටිං එල්ල කළ අනවශ්‍ය රිවස් ස්වීප් පහර වැරදී යාම හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව – 253/5 (50)

එංගලන්තය – 246/8 (50)

ඕස්ට්‍රේලියාවට ලකුණු  7ක ජයක් 

1987 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමිවුණා. එහිදී ඉයන් බොතම් ලකුණු 31කට කඩුලු 4ක් දවාගෙන පිත්තෙන් ලකුණු 53ක් ලබාගත්තා.

ඕස්ට්‍රේලියාව – 171/10 (49)

එංගලන්තය – 173/2 (40.5)

එංගලන්තයට කඩුලු 6ක ජයක් 

ඉයන් බොතම් ඕස්ට්‍රේලියාවට එරෙහිව දස්කම් දක්වමින් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු ජයක් ලබාගත්තේ මයිකල් බෙවන්ගේ දක්ෂ පිතිහරඹය නිසා යි.

එංගලන්තය – 204/8 (50)

ඕස්ට්‍රේලියාව – 208/8 (49.4)

ඕස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක් 

මයිකල් බෙවන්ගේ සුපිරි ඉනිමේ එක් අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක තරග කළා. එම තරගයේ දී කෙවින් පීටර්සන් එංගලන්තය වෙනුවෙන් ශතකයක් ලබාගත්තත් තරගයේ ජය හිමිවුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි.

එංගලන්තය – 247/10 (49.5)

ඕස්ට්‍රේලියාව – 248/3 (47.2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් 

2007 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එම තරගයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇරොන් ෆින්ච් ලබාගත් ලකුණු 135ක් ලබාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඊට අමතරව මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ස්ටීවන් ෆින් ලබාගත් කඩුලු ත්‍රිත්වයත් අමතක කරන්න බැහැ. 

ඕස්ට්‍රේලියාව – 342/9 (50)

එංගලන්තය – 231/10 (41.5)

ඕස්ට්‍රේලියාවට ලකුණු  111ක ජයක් 

2015 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 5 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 7ක්. එහිදී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 7 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 281ක්. 

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 7 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා එක්දින තරග හතෙන් 4ක දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග හතෙන් 5ක් ජයග්‍රහණය කර ඇත්තේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසා  පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ලෝඩ්ස්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

අවසන් වසර 5 තුළ එංගලන්තය ලෝඩ්ස් පිටියේ දී එක්දින තරග 6කට සහභාගි තිබෙනවා. එහිදී එංගලන්තයට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ තරග 3ක් පමණ යි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට ලෝඩ්ස් පිටියේ දී එක්දින තරගයක් සඳහා ක්‍රීඩාකළේ 2015 වසරේ දී යි. එහිදී එංගලන්තය, ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු 64ක පරාජයක් උරුම කරගත්තා.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ලෝඩ්ස් පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු එක්දින තරග 11න් 10ක ජය හිමිවුණේ එංගලන්තයට යි. නමුත් මෙම තරගාවලිය සඳහා එක්ව සිටින්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමක්. මෙම තරගය එංගලන්තයට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු නිසා වැඩි පීඩනයක් එල්ල වී ඇත්තේ එංගලන්ත කණ්ඩායම දෙසට යි. නමුත් ඔවුන් එම පීඩනය පාලනය කරගනිමින් මෙම තරගය ජයග්‍රහණය කරා යාමට උත්සහා කළත් ඕස්ට්‍රේලියානුවන් ලෙහෙසියෙන් එය කිරීමට ඉඩ නොදෙනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles