Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් තරගයක් ශතක දෙකකින් වර්ණවත් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ

ටෙස්ට් තරගයක ඉනිම් 2දී ම ශතක ලබාගැනීම යම්  පිතිකරුවෙකු තම ටෙස්ට් ක්‍රිකට් ජීවිතය තුළ ලබාගන්නා විශාල ජයග්‍රහණයක්. වසර 142ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ එම දස්කම අවස්ථාවන් 85කදී වාර්තා වී තිබෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකා පිතිකරුවන් එම දස්කම පෙන්වා තිබෙන්නේ අවස්ථාවන් 7ක දී පමණ යි. එසේ  නම් මෙම ලිපියෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් ටෙස්ට් තරගයක ඉනිම් 2 දීම ශතක ලබාගත් අවස්ථාවන් හත පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. 

දුලිප් මෙන්ඩිස් – 1982 වසරේ දී ඉන්දියාවට එරෙහිව 

1982 වසරේ දී ශ්‍රී ලංකාව මුල්මවරට ටෙස්ට් තරගයකට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා සංචාරය කළා. එහිදී කණ්ඩායම් දෙක අතර පැවති එකම ටෙස්ට් තරගය පැවැත්වුණේ මදුරාසියේ චෙපොක් ක්‍රීඩා පිටියේ දී යි (වර්තමානයේ දී මෙය චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් පිටිය ලෙසින් හඳුන්වනවා). එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මුල් කඩුලු 2ම ලකුණු 11කට දැවීගියා. එම අවස්ථාවේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ දුලිප් අගනා ලකුණු 105ක් ලබාගත්තා. එහිදී දුලිප් දිලිප් දෝෂිගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළයුතු කරුණක්. ඉන් පසුව ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ඇරඹුවේ ඉන්දියාවට වඩා ලකුණු 220ක් පිටුපසින් සිටිමින්. එහිදී ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබාසිටියේ පරාජය අභියසටම යමින්. නමුත් එම අවස්ථාවේ දී දුලිප් ලබාගත් අගනා ලකුණු 105 නිසා ශ්‍රී ලංකාවට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හැකිවුණා. එහිදී දුලිප් විසින් ඉනිම් 2 දීම ලකුණු 105 බැගින් ලබාගැනීමත් විරල දස්කමක් බවට පත්වුණා. එදා දුලිප් ඉන්දීය බිමේ දී ඉනිම් 2 දීම ශතක ලබාගත් දෙවන විදෙස් පිතිකරුවා බවට පත්වුණා. ඔහුට පෙර එම දස්කම් පෙන්වා තිබුණේ 1948 වසරේ ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ දී ලකුණු 162ක් සහ ලකුණු 101ක් ලබාගත් කොදෙව් පිතිකරු එවර්ටන් වීක්ස් පමණ යි. 

දුලිප් මෙන්ඩිස් (gettyimages)

අසංක ගුරුසිංහ – 1991 වසරේ දී නවසීලන්තයට එරෙහිව 

1991 වසරේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ හැමිල්ටන් නුවර සෙඩොන් පාක් පිටියේ දී යි. එය එම පිටියේ දී පැවැත්වුණු මංගල ටෙස්ට් තරගය ලෙසින් වාර්තා පොත් අතරට එක්වුණා. එදා නවසීලන්තය පළමු ඉනිමට ලබාගත් ලකුණු 296ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 253ක් පමණ යි. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු අසංක ගුරුසිංහ ලකුණු 119ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ලබාගනිමින්. ඉන් පසුව නවසීලන්ත පිතිකරුවන් දෙවන ඉනිමේ දී කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 374 නිසා ශ්‍රී ලංකාවට ලකුණු 418ක ඉලක්කයක් හඹායාමට සිදුවුණා. එහිදී නැවතත් ලකුණු අතරට පිවිසුණු ගුරුසිංහ ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 102ක් ලබාගත්තේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සවියක් වෙමින්. 

අසංක ගුරුසිංහ (gettyimages)

අරවින්ද ද සිල්වා – 1997 වසරේ දී පාකිස්ථානයට එරෙහිව 

1997 ශ්‍රී ලංකාව-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 144කට දැවීගියා. එම අවස්ථාවේ දී කඩාවැටෙමින් සිටි ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ අරවින්ද නොදැවී ලකුණු 138ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 331ක් දක්වා රැගෙනයමින්. එම ලකුණු 331කට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානු කණ්ඩායම සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 292ක් පමණ යි. ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 171ක් ලබාසිටිය දී අරවින්ද පිටියට පිවිසියා. එදා ඉතාමත් ප්‍රචණ්ඩ ඉනිමක් ක්‍රීඩාකළ අරවින්ද පන්දු 99කින් නොදැවී ලකුණු 103ක් ලබාගත්තේ පාකිස්ථානු පන්දු යවන්නන්ව තඹ දොයිතුවකට මායිම් නොකරමින්. එහිදී අරවින්ද ඉනිම් 2 දීම නොදැවී ශතක ලබාගත් එකම පිතිකරුවා ලෙසින් ලෝක ටෙස්ට් ඉතිහාසයේ වාර්තා අතරට එක්වුණා.

අරවින්ද ද සිල්වා (gettyimages)

අරවින්ද ද සිල්වා – 1997 වසරේ දී ඉන්දියාවට එරෙහිව 

1997 ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 332ක් ලබාගත්තා එහිදී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ අරවින්ද ද සිල්වා ලකුණු 146ක් ලබාගත්තා. පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දීත් යළි ලකුණු අතරට පිවිසි අරවින්ද අගනා ලකුණු 120ක් ලබාගැනීමට සමත්වුණේ හතරේ පහර 13ක් සමගින්. එහිදී අරවින්ද එකම වසරක එම දස්කම දෙවරක් දැක්වූ තෙවන පිතිකරුවා බවට පත්වුණා. කොදෙව් පිතිකරු ක්ලයිව් වෝල්කට් සහ ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් පිළිවෙලින් 1955 සහ 1978 වසරවල දී එම දස්කම දක්වා තිබුණා. 

අරවින්ද ඉන්දියාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (sportstar)

තිලකරත්න දිල්ෂාන් – 2009 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව 

2009 වසරේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොංහි දී ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 75කට දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු දිල්ෂාන් පන්දු 165කින් වේගවත් ලකුණු 162ක් ලබාගත්තේ හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමගින්. ඉන් පසුව ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී යළි ලකුණු අතරට පිවිසි දිල්ෂාන් අගනා ලකුණු 143ක් ලබාගත්තේ පන්දු 175කට මුහුණදෙමින්.

දිල්ෂාන් පළමු ඉනිමේ දී ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

කුමාර් සංගක්කාර – 2013 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව 

2013 වසරේ දී ගාලු පිටියේ පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 570ක් ලබාගන්නා විට ඉන් ලකුණු 142ක් වාර්තා වුණේ කුමාර් සංගක්කාරගේ පිත්තෙන්. පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දීත් ලකුණු අතරට පිවිසි සංගක්කාර ලකුණු 105ක් ලබාගත්තේ හතරේ පහර 10ක් එල්ල කරමින්.

සංගක්කාර පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages)

කුමාර් සංගක්කාර – 2014 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව 

2014 වසරේ දී යළිත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය චිතගොං හි පැවති ටෙස්ට් තරගයක දී උරෙනුර ගැටුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 587ක් ලබාගත්තා. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු සංගක්කාර හතරේ පහර 32ක් සහ හයේ පහර 8ක් සමගින් ලබාගත් ලකුණු 319 ඔහුගේ ටෙස්ට් හොඳම ඉනිම බවට පත්වුණා. එහිදී සංගක්කාර එල්ල කළ හයේ පහර 8 ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වුණා. Iඉන් අනතුරුව දෙවන ඉනිමේ දී යළි සුපුරුදු දස්කම් අතරට පැමිණි සංගක්කාර ලකුණු 105ක් ලබාගත්තේ සමස්ත තරගය පුරාවට ලකුණු 424ක් ලබාගනිමින්. එය සමස්ත ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවෙකුගේ පිත්තෙන් වාර්තා වී ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා අතර සටහන් වනවා.

සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබාගත් අවස්ථාව

කවරයේ ඡායාරූපය - අරවින්ද 1997 වසරේ දී ඉන්දියාවට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පන්දුවට පහරදෙමින්  (The Golden Era Of Sri Lankan Cricket)

Related Articles