Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේලේ නම් විශිෂ්ටයාගේ පාපන්දු ලෝක කුසලාන දස්කම්

1950 වසරේ ජූලි 16 වැනිදා රියෝ ද ජැනයිරෝ නුවර මරකානා පිටියට 199,854ක අති විශාල ජනකායක් එක් රැස් වුණේ බ්‍රසීලය මංගල පාපන්දු ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාව දැක බලා ගැනීම සඳහා යි. එදා බ්‍රසීලය සහ උරුගුවේ යන කණ්ඩායම් අතර පැවති තරගයේ පළමු භාගයේ දී කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. කණ්ඩායම් දෙකටම තීරණාත්මක වුණු තරගයේ දෙවන භාගය ආරම්භ වී විනාඩි 2ක් පමණ ගිය විට ප්‍රියාසා බ්‍රසීලය වෙනුවෙන් මුල්ම ගෝලය වාර්තා කළා. එම ගෝලය වාර්තා වීමෙන් පසුව බ්‍රසීලියානුවන්ගේ ඔල්වරසන් හඬින් මරකානා පිටිය දෙදුරුම් කෑවා. නමුත් ඉන් නොසැලුණු උරුගුවේ ක්‍රීඩක පෙපේ ෂියාෆිනෝ 66 වැනි විනාඩියේ දී ගෝලයක් වාර්තා කළ නිසා තරගයේ ලකුණු තත්ත්වය සම වුණා. එම ගෝලය වාර්තා කිරීමත් සමගම බ්‍රසීල ක්‍රීඩකයන් කලබල වුණු ආකාරය දක්නට ලැබුණා. ඉන් ප්‍රයෝජන ගත් උරුගුවේ ක්‍රීඩක අල්සිඩේස් ගිජ්ජා 79 වැනි විනාඩියේ දී තවත් ගෝලයක් වාර්තා කළා. 

ගිජ්ජා ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

උරුගුවේ කණ්ඩායම දෙවන ගෝලය වාර්තා කිරීමත් සමගම තරගය නැරඹීමට පැමිණ සිටි බ්‍රසීල ජාතික පාපන්දු ලෝලියෙකු කඳුළු සලන්නට වුණා. එම අවස්ථාවේ දී ඔහුගේ 9 හැවිරිදි පුත්‍රයා, කඳුළු සලන්නේ ඇයිදැ යි සිය පියාගෙන් විමසා සිටියා. එවිට පියා පැවසුවේ බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය අහිමි වෙමින් පවතින බව යි. පියා එසේ කීමෙන් පසුව එයට පිළිතුරු දුන් පුත්‍රයා පවසා සිටියේ,  “තාත්තේ දුක්වෙන්න එපා කවදහරි දවසක ඔය කුසලානය මං බ්‍රසීලයට අරන් දෙන්නම්” යනුවෙනි. එදා 9 හැවිරිදි වියේ පසුවුණු එඩිසන් ඇරෙන්ටිස් ඩූ නැසිමෙන්ටෝ නම් කුඩා දරුවා ඉන් වසර 8කට පසුව බ්‍රසීලයට මුල්ම වරට පාපන්දු ලෝක කුසලානයක් දිනාදුන්නේ සිය පියාට වුණු පොරොන්දුව ඉටුකරමින්. පසු කලෙක ජගත් පාපන්දු පිටියේ දී පේලේ යන නමින් හැඳින්වූ එම සුපිරි තරුව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී දැක්වූ දස්කම් පිළිබඳව මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරනවා.

මංගල ලෝක කුසලාන තරගාවලියේ දීම තරුවක් වෙයි 

1958 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගි වුණු බ්‍රසීල කණ්ඩායම 4 වැනි කාණ්ඩය යටතේ තරග කළා. මූලික වටයේ තරගවල දී බ්‍රසීලයට උරෙනුර ගැටීමට සිදුවුණේ සෝවියට් රුසියාව, එංගලන්තය, සහ ඔස්ට්‍රියාව යන සමග යි. එහි දී එංගලන්තය සමග තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් බ්‍රසීලය ඉතිරි තරග 2ම ජයග්‍රහණය කළා. එදා පේලේට ක්‍රීඩා කළේ සෝවියට් රුසියාවට එරෙහිව පැවති පළමු වටයේ අවසන් තරගය සඳහා පමණ යි. එම තරගයේ දී බ්‍රසීල ක්‍රීඩක වාවාට දෙවන ගෝලය ලබාගැනීම සඳහා පන්දුව යොමු කළේ පේලේ නම් යොවුන් ක්‍රීඩකයා යි.

පේලේ විසින් වාවාට පන්දුව යොමු කළ අවස්ථාව (gettyimages)

පළමු වටයේ දී සිය කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගත් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයේ දී වේල්සයට එරෙහිව තරග වැදුණා. වේල්ස් කණ්ඩායම ඉතාමත් ආරක්ෂාකාරී තරග රටාවක් පෙන්නුම් කළ කණ්ඩායමක් වුණු නිසා පළමු වටයේ තරගවල ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ගෝල 2ක් පමණ යි. එම නිසා බ්‍රසීල-වේල්ස් තරගයේ 65 වැනි විනාඩිය වන තුරුම කණ්ඩායම් 2ටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් 66 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු පේලේ බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. එය පේලේ විසින් පාපන්දු ලෝක කුසලාන තරගයක දී ලබාගත් මුල්ම ගෝලය ලෙසින් ඉතිහාසගත වුණා.

පේලේ ගෝලය වාර්තා කළ අවස්ථාව (gettyimages)

බ්‍රසීල කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී උරෙනුර ගැටීමට සිදුවුණේ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමග යි. ඒ වන විට තරගාවලිය තුළ ගෝල 8ක් ලබා සිටි ජස්ට් ෆොන්ටේන් බ්‍රසීලයට ප්‍රබල අභියෝගයක් වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පළමු භාගය අවසන් වන විට බ්‍රසීලය ගෝල 2-1ක් ලෙසින් ඉදිරියෙන් සිටියා.  ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ දී ක්‍රියාත්මක වුණු පේලේ 52, 64, සහ 75 විනාඩිවල දී ගෝල ලබාගනිමින් ත්‍රිත්ව ගෝලයක් සම්පූර්ණ කළා. එලෙස පේලේ දැක්වූ සුපිරි දස්කම් නිසාම බ්‍රසීලයට ගෝල 5-2ක පහසු ජයක් හිමි වුණා.

පේලේ හිසින් පහරදෙමින් ගෝලයක් ලබාගත් අවස්ථාව (gettyimages)

පේලේගේ සුපිරි දස්කම් නිසා අවසන් තරගයට සුදුසුකම් ලබාගත් බ්‍රසීල කණ්ඩායමට කුසලානය ලබාගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදුවුණේ සත්කාරක ස්වීඩන් කණ්ඩායම සමග යි. එම තරගයේ දී සුපුරුදු දස්කම් අතරට පිවිසුණු පේලේ නම් යොවුන් පාපන්දු තරුව 55 සහ 90 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රසීලය ගෝල 5-2ක ජයක් ලබාගනිමින් මුල්ම වරට පාපන්දු ලෝක කුසලානයක පහස විඳගත්තා. තරගාවලිය තුළ සුපිරි දස්කම් දැක්වූ පේලේ තරග 4ක් තුළ ගෝල 6ක් ලබාගෙන තරගාවලිය තුළ දෙවනියට වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණා.

පේලේ අවසන් තරගයේ දී (gettyimages)

දස්කම් දැක්වීමට නොහැකි වුණු තරගාවලි දෙකක් 

1962 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය චිලී දේශයේ දී පැවැත්වුණා. එම තරගාවලිය යටතේ මෙක්සිකෝ කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේ දී බ්‍රසීලය ලබාගත් ගෝල දෙකෙන් එකක් ලබාගත්තේ පේලේ නම් සුපිරි තරුව යි. සැගලෝ ලබාගත් ඉතිරි ගෝලය සඳහාත් පන්දුව යොමු කළේ මොහු යි. එලෙස පළමු තරගයේ දී දස්කම් දැක්වූ පේලේ චෙකොස්ලෝවැකියාව සමග පැවති දෙවන තරගයේ දී ආබාධයකට ලක් වුණා. එනිසා ඔහුට තරගාවලියේ ඉතිරි තරගවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් පේලේ නැති අඩුව සම්පූර්ණ කළ ගරින්චා, වාවා, සහ ඇමරිල්ඩෝ යන ක්‍රීඩකයන් ත්‍රිත්වය සිය රටට පිට පිටම දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය උරුමකර දුන්නා.

සැගලෝ සහ පේලේ ගෝලය සම්පූර්ණ කළ අවස්ථාව (gettyimages)

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ බල්ගේරියාවට එරෙහිව පැවති පළමු තරගයේ දී පේලේ ගෝලයක් වාර්තා කළා. නමුත් බල්ගේරියානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් විසින් එල්ල කළ අමානුෂික පා පහරවල් නිසා පේලේ ආබාධයකට හසු වුණා. එම නිසා ඔහුට යළි කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වුණේ නැහැ. එදා පේලේ නොමැතිව ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදු වුණා.

සිහින සැබෑ වුණු තරගාවලියක් 

1970 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වුණු බ්‍රසීල කණ්ඩායම එදා මෙදා තුර බිහිවුණු විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම ලෙසින් හඳුන්වනවා. එවර තරගාවලියේ 3 වැනි කාණ්ඩය යටතේ තරග කළ බ්‍රසීලය මූලික වටයේ තරග 3ම ජයග්‍රහණය කළා. එහි දී පේලේ විසින් රුමේනියාවට එරෙහිව ගෝල 2ක්ද චෙකොස්ලෝවැකියාවට එරෙහිව ගෝලයක් ද වාර්තා කළා. නමුත් පේරු සහ උරුගුවේ කණ්ඩායම්වලට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරගවල දී ඔහු කිසිදු ගෝලයක් වාර්තා කළේ නැහැ. එදා ක්‍රීඩාකළ බ්‍රසීල කණ්ඩායම තුළ දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටි නිසා ඔවුන් පහසුවෙන්ම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව අවසන් තරගයේ දී බ්‍රසීලය සමග උරෙනුර ගැටුණේ ප්‍රබල ඉතාලි කණ්ඩායම යි. එම තරගයේ 18 වැනි විනාඩියේ දී ගෝලයක් ලබාගත් පේලේ බ්‍රසීලයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා. එලෙස පේලේ ලබාදුන් සාර්ථක ආරම්භය ඔස්සේ සුපුරුදු රිද්මයට පැමිණි බ්‍රසීල ක්‍රීඩකයන් 4-1 ලෙස ගෝල ලබාගෙන තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව පේලේ සිය ලෝක කුසලාන දිවිය ජයග්‍රාහී ලෙස ආරම්භ කරමින් ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට සමත් වුණා. එම නිසා පේලේගේ නාමය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනවා.

1970 බ්‍රසීල පාපන්දු කණ්ඩායම (gettyimages)

Related Articles