
නෙදර්ලන්ත ජාතික රෙඩ්බුල් ධාවක මැක්ස් වර්ස්ටාපන් පිට පිට ම දෙවන වතාවටත් ෆෝමියුලා වන් ලෝක ශූරයා වීමට පසුගිය දා සමත් වුණා. ඒ මෙවර ශූරතාවේ පැවති 18 වන අදියර හෙවත් ජපාන අදියරේ ජයග්‍රහණය හිමි වීමත් සමඟ යි.

වර්ස්ටාපන් 2022 ලෝක ශූරතාව යටතේ තවත් අදියර 4ක් ඉතිරි ව තිබිය දී ම ලෝක ශූරතාව තහවුරු කර ගැනීම ද විශේෂත්වයක්. මෙම තරග වාරය තුළදී ඔහුගේ ආසන්නයට හෝ පැමිණීමට කිසිදු ධාවකයෙක් සමත් වුණේ නෑ. මේ නිසා මැක්ස් වර්ස්ටාපන් වර්තමානයේ සිටිනා හොඳ ම ෆෝමියුලා වන් ධාවකයා ලෙස ද සැලකෙනවා.
අසාර්ථක ආරම්භයක්!
2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාව ආරම්භ වූයේ බහරේන් අදියරෙනු යි. එම ආරම්භය වර්ස්ටාපන්ට සාර්ථක එකක් බවට පත් වූයේ නෑ. ඔහුගේ මෝටර් රථයේ ඇතිවූ දෝෂයක් නිසා 19 වන තැන දක්වා පසු බැසීමට ඔහුට සිදු වුණා. පළමු අදියරෙන් ම සාර්ථක වූ ෆෙරාරි කණ්ඩායමේ ශෝල් ලෙක්රෙක් එහිදී ජයග්‍රහණය හිමි කර ගත්තා.

නැවතත් තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙන වර්ස්ටාපන් මීළඟට පැවති සෞදි අරාබි අදියර ජයග්‍රහණය කළා. එම අදියරේ දී ශෝල් ලෙක්රෙක් දෙවන ස්ථානය දිනා ගැනීමට ද සමත් වුණා. ඕස්ට්‍රේලියාවේ පැවති තුන්වන අදියරේ දී මෝටර් රථයේ ඇතිවුණු දෝෂයක් නිසා තරගය නිම කිරීමට වර්ස්ටාපන්ට හැකියාව ලැබුණේ නෑ. මෙම අදියර ද ජයග්‍රහණය කළ ලෙක්රෙක් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ම පැමිණීමට සමත් වුණා.
අඩුපාඩු හදා ගනිමින් රෙඩ්බුල් සටනේ!
තමන්ගේ මෝටර් රථයේ පැවති අඩුපාඩු සියල්ල සකසා ගත් රෙඩ්බුල් කණ්ඩායම එමිලියා රොමානෝ ධාවන තරගයේ පෙරමුණට නැවතත් පැමිණියා. එම අදියර ජයග්‍රහණය කළ මැක්ස් වර්ස්ටාපන් ඉන් අනතුරු ව මයාමි අදියර සහ ස්පාඤ්ඤ අදියරත් ජයග්‍රහණය කළා. ඒ අනුව ඔහු පිට පිට ජය ගත් අදියර ගණන 3ක්.
එම ජයග්‍රහණ ඔහු ලබා ගනිද්දී ශෝල් ලෙක්රෙක් එමිලියා රොමානෝ අදියරේ 6 වන ස්ථානයට හා මයාමි අදියරේ දෙවන ස්ථානයට පත් වුණා. ඔහුට ස්පාඤ්ඤ අදියර නිමා කිරීමට හැකියාව ලැබුණේ නෑ. මේ නිසා අදියර 6ක් අවසන් වෙද්දී මැක්ස් වර්ස්ටාපන් හොඳින් ලෝක ශූර සටනට අභියෝග කරමින් සිටියා.

මීළඟට පැවති 7 වන අදියර වූ මොනාකෝ අදියරේ වර්ෂාවෙන් ඇති වූ බාධා මධ්‍යයේ වර්ස්ටාපන් ගේ කණ්ඩායම් සගයා වූ සර්ජියෝ පෙරෙස් ජයග්‍රහණය සටහන් කළා. එම අදියරේ වර්ස්ටාපන් තෙවන ස්ථානයට පත් වූ අතර ම ශෝල් ලෙක්රෙක්ට 4 වන ස්ථානය හිමි වුණා.
රෙඩ්බුල් සහ ෆෙරාරි ද්වන්ධ සටනක
අනෙක් කණ්ඩායම් සියල්ල ම අභිබවා යමින් කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් රෙඩ්බුල් සහ ෆෙරාරි යන කණ්ඩායම් ද්විත්වය සටන් වදිමින් සිටියා. රෙඩ්බුල් වෙනුවෙන් වැඩි ම බරක් කරට ගත් වර්ස්ටාපන් පිළිවෙළින් අසර්බයිජාන් සහ කැනඩා අදියර පහසුවෙන් ජයග්‍රහණය කළා.
තමන් ද කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් සටන් වදින බවට පෙන්වා දුන් ෆෙරාරි ධාවකයන් දෙදෙනා මීළඟ අදියර ද්විත්වයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. එහිදී බ්‍රිතාන්‍ය අදියර කාලෝස් සයින්ස් සහ ඔස්ට්‍රියා අදියර ශෝල් ලෙක්රෙක් ජයග්‍රහණය කළා. මේ නිසා කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් පැවති සටන ද තවත් තියුණු වුණා.

අදියර 11ක් අවසන් වෙද්දී එයින් 4 ක ජයග්‍රහණය ෆෙරාරි සහ අනෙක් අදියර 7 ජයග්‍රහණය රෙඩ්බුල් සතු වුණා. අනෙක් කණ්ඩායම් 8ට ම අවස්ථාවක් ලබා නොදෙමින් රෙඩ්බුල් සහ ෆෙරාරි යන කණ්ඩායම් දෙක 2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ තමන්ගේ අණසක පැතිරවීමට කටයුතු කළා.
වර්ස්ටාපන් වාර්තාගත ගමනක
එයින් පසුව ලෝක ශූරතාව තමන්ට ලබා ගැනීම සඳහා සුපිරි ගමනක් ආරම්භ කළ මැක්ස් වර්ස්ටාපන් ජයග්‍රහණ එක දිගට ලබා ගැනීමට සමත් වුණා. ප්‍රංශ අදියර, හංගේරියා අදියර, බෙල්ජියම් අදියර, නෙදර්ලන්ත අදියර සහ ඉතාලි අදියර වශයෙන් එක දිගට වර්ස්ටාපන් ජයග්‍රහණය කළ අදියර ගණන 5ක්.
මේ නිසා සමස්ත අදියර 16ක් අවසන් වෙද්දී ඔහු ලෝක ශූරතාවට වඩාත් ආසන්න වී සිටියා. ඔහුගේ ප්‍රතිවාදියා වූ ශෝල් ලෙක්රෙක්ට ෆෙරාරි කණ්ඩායමේ අඩුපාඩු නිසා සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නෑ. මේ හේතුවෙන් මීළඟ අදියරවල දී මැක්ස් වර්ස්ටාපන්ට අභියෝග කිරීමට නම් ශෝල් ලෙක්රෙක්ට ආශ්චර්යයක් ම පෑම අවශ්‍ය වුණා.

පෙර අදියර 16 අවසන් වෙද්දී වර්ස්ටාපන්ට ශූරතාව වෙනුවෙන් තවත් අදියර 6ක් ඉතිරි ව තිබුණා. ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට නම් ඔහුට මීළඟ අදියර 6 තුළ දිනා ගත යුතු ව තිබුණ අවම තෙවන ස්ථාන ගණනින් තුනක්. මේ නිසා වර්ස්ටාපන් ලෝක ශූරතාව ලබා ගනු ඇතැයි බොහෝ දෙනෙක් නිගමනය කොට තිබුණා.
සිංගප්පූරු සහ ජපාන අදියර
2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණ තවත් අදියරක් බවට සිංගප්පූරු අදියර පත් වුණා. නැවත වතාවක් තෙත සහිත ධාවන පථයක තමන් සාර්ථක වන බව පෙන්වා දුන් සර්ජියෝ පෙරෙස් සිංගප්පූරු අදියර ජයග්‍රහණය කළා. එම අදියරේ දී මැක්ස් වර්ස්ටාපන් 7 වන ස්ථානයට පත් වුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ විලසින්.

ඉන් පසු ව ආරම්භ වූ ජපාන අදියර මැක්ස් වර්ස්ටාපන් ජයග්‍රහණය කොට ශෝල් ලෙක්රෙක් දෙවන ස්ථානයට පහතින් තරගය නිම කිරීම ලෝක ශූරයා තීරණය කිරීමට ප්‍රමාණවත් වුණා. වර්ෂාවෙන් නැවත වතාවක් බාධා එල්ල වුවත් ජපාන අදියරේ ජයග්‍රහණය මැක්ස් වර්ස්ටාපන් තහවුරු කර ගත්තා. ශෝල් ලෙක්රෙක් මෙම අදියරේ තෙවන ස්ථානයට පත් වූයේ මැක්ස් වර්ස්ටාපන්ට පිට පිට ම ලැබුණු දෙවන ෆෝමියුලා වන් ලෝක ශූරතාව ද ලබා දෙමින්.
සමස්ත තරග සාරාංශය
ප්‍රසාද ලකුණු 366 ක් ද සමඟින් මේ වන විට මැක්ස් වර්ස්ටාපන් තවත් අදියර 4ක් ඉතිරි ව තිබියදී ම තම ශූරතාව තහවුරු කොට ගෙන තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ ද රෙඩ්බුල් ධාවක සර්ජියෝ පෙරෙස්. ඔහු ලබා ගෙන සිටිනා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 253ක්. දෙවන ස්ථානය දිනා ගැනීම සඳහා තියුණු සටනක් නිර්මාණය කොට තිබෙන ශෝල් ලෙක්රෙක් ප්‍රසාද ලකුණු 252ක් ලබාගෙන තෙවන තැනට පත් ව සිටිනවා.
ලකුණු 207 ක් ලැබූ මර්සිඩීස් ධාවක ජෝර්ජ් රසල් සහ ලකුණු 202 ක් ලබා සිටින ෆෙරාරි ධාවක කාලෝස් සයින්ස් පිළිවෙළින් සිව්වන සහ පස්වන ස්ථානය දිනා ගෙන තරග වදිනවා. හත් වරක් ෆෝමියුලා වන් ලෝක ශූරයා මෙන් ම පසුගිය වසරේ දෙවන ස්ථානය ද දිනා ගත් ලුවිස් හැමිල්ටන් ප්‍රසාද ලකුණු 180ක් ලබාගෙන හයවන තැනට පත් ව සිටීම ද විශේෂත්වයක්. 7 වන ස්ථානය ප්‍රසාද ලකුණු 101 ක් ලබාගෙන මැක්ලරන් ධාවක ලැන්ඩෝ නොරිස් ලබා ගෙන තිබෙනවා. ප්‍රසාද ලකුණු 100 ඉක්මවා තිබෙන්නේ මෙම ධාවකයන් 7 දෙනා පමණ යි.

සමස්ත ප්‍රසාද ලකුණු 619ක් ලැබූ රෙඩ්බුල් කණ්ඩායම් ශූරතාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබෙනවා. පිළිවෙළින් ලකුණු 454 ක් සහ 387 ක් ලබා සිටින ෆෙරාරි සහ මර්සිඩීස් කණ්ඩායම් දෙවන සහ තෙවන ස්ථානයට පත් වුණා. ලකුණු 143 ක් ලැබූ ඇල්පීන් සහ ලකුණු 130ක් ලැබූ මැක්ලරන් ප්‍රසාද ලකුණු 100 ඉක්මවා ගිය අනෙක් කණ්ඩායම් බවට පත් ව තිබෙනවා.