Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුරලි වෙනුවෙන් පෙරට ආ අභීත නායකයා

ක්‍රිකට් ලොවේ කිරුළ රුවන් මුරලිදරන් මුරලිදරන් //

සිරි ලක්දිව පිනට උපන් මුරලිදරන් මුරලිදරන් //

තණතිල්ලම කිති කනවා දඟ පන්දුව ඇඹරෙනවා

මුරලිදරන් නම ඇහුවම පිතිකරුවන් වෙව්ලනවා//

2004 දී මුත්තයියා මුරලිදරන් විසින් කට්නි වොල්ෂ්ගේ ටෙස්ට් කඩුලු 519ක ලෝක වාර්තාව බිඳ දැමීමෙන් පසු ඔහු වෙනුවෙන් නිර්මාණය වූ ඉහත ගීතය මීට වසර 14කට පමණ පෙර රූපවාහිනිය තුළ ජනප්‍රිය වුණා. ඉහත ගීතයේ මුරලිදරන් නම ඇහුවම පිතිකරුවන් වෙව්ලනවා යන ගීත ඛණ්ඩය, එදා අර්ජුන රණතුංග නම් නායකයා මුරලිට පන්දුව දමාගැසීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙරට නොපැමිණියේ නම් කිසිදිනෙක ලිවීමට හැකිවන්නේ නැහැ. එදා ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් යන ඕස්ට්‍රේලියානු විනිසුරුවන් දෙපළ මුරලිට පන්දුව දමාගැසීමේ චෝදනාව එල්ල කරන විට පිටිය තුළ දී මෙන්ම පිටියෙන් පිටත දී ද මුරලි වෙනුවෙන් පෙනී සිටි අර්ජුන, මුරලි නැමති වටිනා පන්දු යවන්නා ව ආරක්ෂා කරගන්නවා. එදා අර්ජුන, මුරලි වෙනුවෙන් පෙනී නොසිටියා නම් ඔහු අකාලයේ ක්‍රිකට් පිටියෙන් නික්ම යන්නට ඉඩ තිබුණා. එසේ නම් දැන් අපි මුරලිට, එදා ඕස්ට්‍රේලියානු බිමේ දී විඳින්නට වූ ගැහැට පිළිබඳ ව කතා කරමු.

මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීම අරඹයි

1992 වසරේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ දී ටෙස්ට් වරම් දිනාගත් මුරලි, 1993 වසරේ සිට ම ප්‍රතිවාදී කණ්ඩායම්වලට තර්ජනයක් වුණා. එලෙස 1993 වසරේ සිට ටෙස්ට් පිටියේ කඩුලු දඩයම ඇරඹූ මුරලිදරන්, 1993 වසරේ සිට 1995 වසර දක්වා පහත ආකාරයට ටෙස්ට් පිටියේ දස්කම් දක්වා තිබෙනවා.

1993 වසරේ අප්‍රිකානුවන්ට එරෙහිව ඉනිම්  5ක දී කඩුලු 16

1993 වසරේ කොදෙව්වන්ට එරෙහිව එක් ඉනිමක දී කඩුලු 4

1994 වසරේ ඉන්දීය පිලට එරෙහිව ඉනිම් 3ක දී කඩුලු 12

1995 වසරේ නවසීලන්ත පිලට එරෙහිව ඉනිම් 2ක දී කඩුලු 7

1995 වසරේ පකිස්තානු පිලට එරෙහිව ඉනිම් 5ක දී කඩුලු 15

මෙම කාල සීමාව තුළ ඉනිමක කඩුලු 5 බැඟින් අවස්ථා 5ක් මුරලිගේ නම ඉදිරියේ සටහන් වුණා. එදා ඔහුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට සිය මුල්ම විදෙස් ටෙස්ට් ජයග්‍රහණය නවසීලන්තයට එරෙහිව නේපියර් පිටියේ දී ලබාගැනීමට සහාය වූයේ දෙවන ඉනිමේ දී 64/5 ලෙස කඩුලු ලබා ගනිමින් එම කාල සමය වන විට ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමක පන්දු යැවීම වාර්තා කිරීම නිසා යි. මෙලෙස මුරලිදරන් ක්‍රමයෙන් සිය දස්කම් වර්ධනය කර ගනිමින් අභියෝගාත්මක පන්දු යවන්නෙකු බවට පත් විය. 1995 වසරේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට පෙර පකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා පිල, එහි දී පකිස්තානය 2-1 ලෙස ටෙස්ට් තරගාවලියේ දී පරාජය කළේ වසර 15කින් පකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ මුල්ම විදෙස් රට බවට පත්වෙමිනුයි. එම තරගාවලියේ දී ද ඉතා හොඳින් පන්දු යැවූ මුරලි, එම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ටෙස්ට් කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වූයේ රුමේෂ් රත්නායක තබා තිබූ කඩුලු 74ක වාර්තාව බිඳ දමමින්. එවැනි දස්කම් දක්වමින් ඕස්ට්‍රේලියානු සංචාරයට ගිය මුරලිට, එදා ඕස්ට්‍රේලියානු තුළ දී ගැහැට විඳීමට සිදු වූයේ ඔහු අනාගතයේ දී ඔවුන්ට තර්ජනයක් වන බව ඔවුන් දැන සිටි නිසා යි.

බොක්සිං දිනයේ දී ඩැරල් හෙයාගෙන් මුරලිට බොක්සිං පහරක්

1995 වසරේ දෙසැම්බර් 26 එනම්, බොක්සිං දිනයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරග මාලාවේ දෙවන තරගය ආරම්භ වුණා. මෙම තරගයට පෙර පර්ත් නුවර දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ඇඳුමේ ලාංඡනය පිළිබඳ ව ගැටලුව හා ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව පළුදු කරන බවට චෝදනා එල්ල කිරීම නිසා ඇති වූ ගැටලුව නිසා, මෙල්බර්න් නුවර දී ආරම්භ වූ ටෙස්ට් තරගයකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි වූයේ බිඳුණු මානසිකත්වයෙන්. එදා මෙල්බර්න් පිටියේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු පිලට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හොඳින් පන්දුවට පහරදෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 117ක් ලබා සිටි අවස්ථාවේ මුරලිදරන් විසින් මාක් වෝට යැවූ පන්දුව, නිපන්දුවක් බවට විනිසුරු හෙයාර් සටහන් කරනවා.

එම පන්දුවාරයෙන් පසු ව ද, පන්දුවාර කිහිපයක ම එලෙස සටහන් කළ හෙයාර් විනිසුරුවරයා අවස්ථා 7ක දී ම නිපන්දු සටහන් කිරීමත් සමග ම නායක රණතුංග හෙයාර් විනිසුරුවරයා සමග කතා කර ඉන්පසු ව, නායකත්වය තාවකාලික ව අරවින්දට ලබාදෙමින් පිටියන් ඉවත් වූයේ උපදෙස් ලබා ගැනීමට යි. ඉන් අනතුරුව මුරලි ව අනිත් අන්තයෙන් පන්දු යැවීමට නායක අර්ජුන තීරණය කරනවා. නමුත් තේ පානය අතරතුර ඩැරල් හෙයාර් ශ්‍රී ලංකා බලධාරීන්ට මුරලි කුමන අන්තයෙන් පන්දු යැව්වත් නිපන්දු සටහන් කරන බව කීමට තරම් අකාරුණික වී තිබුණා.

පර්ත් තරගයේ දී පන්දුව පළුදු කරන බවට චෝදනා එල්ලවූ අවස්ථාව (gettyimages)
ඩැරල් හෙයාර් විසින් මුරලි පන්දුව දමා ගසන බවට සටහන් කළ අවස්ථාව (gettyimages)

මුරලි පිළිබඳ ව අනිත් විනිසුරුගේ මතය

ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් සමග මෙම තරගය විනිශ්චය කළ අනිත් විනිසුරුවරයා වූයේ නවසීලන්ත ජාතික ස්ටීව් ඩන්. ඔහු මෙම ගැටලුව පැන නැඟුණු අවස්ථාවේ ඔහු අසල පන්දු රකිමින් සිටි චන්දික හතුරුසිංහගෙන් මුරලිගේ පන්දු යැවීම ගැන චන්දිකගේ මතය විමසනවා. එම අවදියේ මුරලි ක්‍රීඩා කළ ටැමිල් යූනියන් පිලේ නායකත්වය දැරූ චන්දික මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්වේ කිසිදු ගැටලුවක් නොමැති බවත්, කිසිදිනෙක එවැනි ගැටලුවක් ඔහුට පැමිණ නැති බවත් ප්‍රකාශ කරනවා. එහි දී චන්දික පැවසූ කාරණාවලට නවසීලන්ත විනිසුරු ස්ටීව් ඩන් පැහැදිලි ව ම එකඟ විය.

නායක අර්ජුන හා අනිත් ක්‍රීඩකයන් මුරලි ව තනි නොකළේ ය

හෙයාර් විසින් එල්ල කළ පන්දුව දමා ගැසීමේ චෝදනාවත් සමග ම අතිශය කලකිරීමට පත් මුරලි ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවා ප්‍රකාශ කළා. නමුත් එදා අර්ජුනගේ මතය වූයේ මුරලිගේ මානසිකත්වය ඉහළ නැංවීමට කණ්ඩායමක් ලෙස එක් වී උපරිම දෙය කළ යුතු ය යන්න යි. එදා පැහැදිලි ව ම මුරලිගේ ගමන නතර කිරීමට ඕස්ට්‍රේලියානුවන් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් ගෙන ගිය ද, නායක අර්ජුන ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල මුරලි ව තනි නොකිරීම ඔහුට ශක්තියක් වුණා.

නැවතත් මුරලිට කෙනෙහිලිකම්

1995/ 1996 බෙන්සන් සහ හෙජස් කුසලාන තරගාවලියේ 7 වන තරගය බ්‍රිස්බේන් හි දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවැත්වුණා. එම තරගය රොස් එමර්සන් නම් ඕස්ට්‍රේලියානු විනිසුරුවරයා විනිශ්චය කළ මුල්ම එක්දින තරගය වුණා. මෙම තරගයේ දී නැවතත් මුරලි පන්දු යවන අවස්ථාවේ රොස් එමර්සන් විනිසුරුවරයා විසින් නිපන්දු සටහන් කිරීමත් සමග ම මුරලි නැවතත් අසරණ වෙනවා. මේ අවස්ථාවේ මුරලි පාදඟ පන්දු යැවුව ද, ඒවා ද නිපන්දු ලෙස එමර්සන් විනිසුරුවරයා සටහන් කිරීම ක්‍රිකට් විචාරකයන්ගේ පවා අප්‍රසාදයට හේතු වුණා. සාමාන්‍යයෙන් පාදඟ පන්දුවක් දමා ගසන බවට සටහන් කිරීම අපහසු නිසා මෙය ඕස්ට්‍රේලියානුවන්ගේ සැලසුමක් බව පැහැදිලි ව පෙනී ගියා.

කොදෙව්වන්ගෙන්  ශ්‍රී ලංකා පිලට උපදෙසක්

එම අවාසනාවන්ත එක්දින තරගය අවසන් වී මෙම ප්‍රශ්නය පිළිබඳ ව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා කොදෙව් ක්‍රීඩකයන් කතා කරන්නට වුණා. එම අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඔබ කණ්ඩායම දැන් ක්‍රිකට් පිටියේ අභියෝගාත්මක කණ්ඩායමක් නිසා ඔබලාට ඕස්ට්‍රේලියානුවන් එසේ කෙනෙහිලිකම් කරන බව යි. එක් යුගයක කොදෙව් පිලත් එම කෙනෙහිලිකම්වලට ලක්වූ බව ප්‍රකාශ කළ කොදෙව්වන්, ඇතැම් අවස්ථාවල ඕස්ට්‍රේලියානුවන් සමග ක්‍රීඩා කිරීම පවා අප්‍රිය වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

එදා ශ්‍රී ලංකා පිලට ඕස්ට්‍රේලියාවේ දී සිදු වූ කෙනෙහිලිකම්වලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පිල 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන් පරාජය කර ලෝක ශූරයන් වුණා. යම් දිනෙක ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක ශේන් වෝන්ට හරහට සිටින ප්‍රබල ම බාධකය මුරලි බව දැන සිටි ඕස්ට්‍රේලියානුවන් මුරලි ව ක්‍රිකට් පිටියෙන් අතුගා දමන ක්‍රියාවලිය එතනින් අවසන් කළේ නැහැ.

ඕස්ට්‍රේලියානුවන් මුරලිට එරෙහිව කළ කෙනෙහිලිකම් නැවත 1998/ 1999 කාල්ටන් සහ යුනයිටඩ් තරගාවලියේ දී මතු වූ ආකාරය මීළඟ කොටසින් කතා කරමු.

 

කවරයේ ඡායාරූපය: මුරලිට එරෙහි වූ ඩැරල් හෙයාර් (gettyimages)

මූලාශ්‍රයයන්

දත්ත ලබාගැනීම -ESPNCricinfo

රොෂාන් මහානාමගේ වේදනාත්මක සමුගැනීම පොතේ 121 වැනි පිටුවේ අවසන් ඡේදයෙන් කෙටි උපුටා ගැනීමක් කර ඇත.

Related Articles