Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1993 ඉන්දු-ලංකා එක්දින තරගාවලිය පිළිබඳ මතකය

1993 වසරේ ජූලි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණියේ ටෙස්ට් සහ එක්දින තරග 3 බැගින් ඇතුළත්ව තිබුණු තරගාවලි දෙකකට සහභාගි වීම සඳහා යි. එම කාලයේ ලංකා කණ්ඩායම මව්බිමේ පැවති එක්දින තරගාවලිවල දී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, සහ නවසීලන්තය යන ප්‍රබල කණ්ඩායම් සමග පැවති එක්දින තරගාවලි ජයග්‍රහණය කරමින්. ඊට අමතරව ඔවුන් දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් සමග පැවති එක්දින තරගාවලි ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තා. එලෙස වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේ දී එක්දින තරගාවලියක් පරාජය නොවුණු නිසාම ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව ලාංකීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තබාගෙන සිටියා. එම නිසා ජූලි 25 වැනිදා ආරම්භ වුණු පළමු එක්දින තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් කොළඹ ආර් ප්‍රේමදාස පිටියට එක් රොක් වී සිටියා.

පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ලකුණු 1ක තියුණු ජයක් 

දිවා තරගයක් ලෙසින් ක්‍රියාත්මක වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. එදා ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි මනෝජ් ප්‍රභාකර් සහ නව්ජෝට් සිධූ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක අගනා සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස ඉන්දීය කණ්ඩායම ප්‍රබල ස්ථානයක සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රුවන් කල්පගේ ඉක්මනින්ම කඩුලු 2ක් ලබාගත් නිසා ඉන්දීය ලකුණු පුවරුව 92/2 ලෙසින් දිස් වුණා. එම කඩුලු 2 දැවීයාමෙන් අනතුරුව ඉන්දීය පිතිකරුවන් යම් කිසි පීඩනයකට හසුවන ආකාරය දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලය වුණේ ආරම්භක පිතිකරු ප්‍රභාකර් ලකුණු 39කට දැවීයාම යි. ගුරුසිංහ විසින් එම වටිනා කඩුල්ල දවාගත් මොහොත වන විට ඉන්දීය ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 97ක් පමණ යි.

රුවන් කල්පගේ (gettyimages)

නොසිතූ මොහොතක ඉක්මනින්ම කඩුලු 3ක් බිඳවැටීමෙන් අනතුරුව මොහොමඩ් අසාරුඩීන් සහ සචින් ටෙන්ඩුල්කාර් පිටියේ එකතු වුණා. එදා ඔවුන් දෙදෙනාට පැවතී තිබුණු වගකීම වුණේ හැකිතරම් වේලාවක් පිටියේ රැඳී සිටිමින් ඉන්දීය ඉනිම ගොඩනැගීම යි. නමුත් එයට ඉඩ ලබානොදුන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තවත් කඩුලු 2ක් ඉක්මනින්ම ලබාගත්තේ ඉන්දීය ලකුණු පුවරුව 148/5 බවට පත්කරමින්. එලෙස ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අසාරුඩීන් සහ කපිල් දේව් ලකුණු 52ක වේගවත් සබඳතාවයක් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම වටිනා සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 212ක් ලබාගත්තා. එහිදී ඉන්දියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නායක අසාරුඩීන් පන්දු 57කින් ලකුණු 53ක් ලබාගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කල්පගේ ලකුණු 42කට කඩුලු 3ක් දවාගත්තා.

මොහොමඩ් අසාරුඩීන් (gettyimages)

ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ මහානාම සහ හතුරුසිංහ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැගුවා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු අනිල් කුම්බ්ලේ පන්දු 2කින් කඩුලු 2ක් දවාගත්තේ ඉන්දීය කණ්ඩායමට යළි තරගයට අවතීර්ණ වීම සඳහා අවස්ථාව ලබාදෙමින්. ශ්‍රී ලංකාව අවදානම් අඩියකට වැටී සිටි මොහොතක සිය පිති ක්‍රියාත්මක කළ අරවින්ද සහ හතුරුසිංහ ලකුණු 115ක අගනා සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 161/2 බවට පත්කරමින්. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා පිතිකරු යුගලය දැඩි විශ්වාසයකින් පන්දුවට පහරදෙමින් සිටියා. ඒ වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු ලකුණු 52ක ලබාගැනීම සඳහා කඩුලු 8ක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබුණා. ශ්‍රී ලංකාව අත තිබුණු තරගය කණපිට හැරුණේ අරවින්ද ලකුණු 62කට දැවීයාමත් සමග යි.

අරවින්ද ද සිල්වා (gettyimages)

අරවින්දගේ කඩුල්ල දැවීයාමෙන් පසුව දිරිමත් වුණු ඉන්දීය පන්දු යවන්නන් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. ඔවුන් සැලසුම් සහගතව සිදුකළ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අන්ත අසරණ වුණා. එම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 173/5 ලෙසින් දිස් වුණා. එලෙස ඉන්දීය පන්දු යවන්නන් ප්‍රබල පීඩනයක් එල්ල කරමින් සිටි අවස්ථාවේ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සනත් ජයසූරිය පන්දු 17කින් ලකුණු 17ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ දැරුවා. නමුත් ජයසූරිය දැවීයාමත් සමග පරාජය කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේ දී සියලුම පිතිකරුවන් දැවී ලකුණු 211ක් ලබාගත්තේ ඉන්දියානුවන්ට ලකුණක ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 212/8 (50), (අසාරුඩීන්- 53, කල්පගේ- 42/3, රාමනායක- 50/2)

ශ්‍රී ලංකාව- 211/10 (49.2), (හතුරුසිංහ- 64, අරවින්ද- 52, කුම්බ්ලේ- 22/2, චවුහාන්- 41/2)

ඉන්දියාවට ලකුණු 1ක තියුණු ජයක් 

තරගයේ වීරයා- මොහොමඩ් අසාරුඩීන් 

දෙවන එක්දින තරගයෙන් ලංකාවට අනපේක්ෂිත ජයක් 

මෙම තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණා. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 82ක් ලබා සිටියේ ඉන්දීය පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින්. නමුත් එම තර්ජනය තුට්ටුවකට මායිම් නොකළ ඉන්දීය පන්දු යවන්නන් ලකුණු 27කට කඩුලු 3ක් දවාගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 109/4 බවට පත් වුණා. එලෙස ඉක්මනින්ම කඩුලු කිහිපයක් බිඳවැටීමෙන් පසුව කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩගැනීමට හැකිවුණේ නැහැ. නායක අර්ජුණ පමණක් සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් පන්දු 52කින් ලබාගත් ලකුණු 50 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 204ක් ලබාගත්තා.

අර්ජුණ රණතුංග (gettyimages)

රාත්‍රී කාලයේ දී ලකුණු 205ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 16ක් තුළ දැවීගියේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. නමුත් ඉන් පසුව පිටියේ එකතු වුණු අසාරුඩීන් සහ ප්‍රභාකර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. එලෙස ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 136ක සබඳතාවය නිසා ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 152ක් ලබා සිටියා. ඒ වන විට ප්‍රභාකර් සහ අසාරුඩීන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් සිටි ගමන නැවැත්වීම සඳහන් නායක රණතුංග යෙදූ සියලුම උපාය මාර්ගයන් අසාර්ථක වුණා. එම නිසා දස්කම් අතර සිටි ප්‍රමෝද්‍යව යළි පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවා.

මනෝජ් ප්‍රභාකර් (gettyimages)

එදා සිය නායකයාගේ බලාපොරොත්තු ඉටු කළ ප්‍රමෝද්‍ය ලකුණු 62ක් ලබා සිටි අසාරුඩීන්ගේ කඩුල්ල දවාගැනීමට සමත් වුණා. නමුත් ප්‍රභාකර් සහ ටෙන්ඩුල්කාර් එක්ව ඉන්දීය ලකුණු පුවරුව 175/3 දක්වා ඉහළ දැමුවා. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් විසින් ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් සිටියා. එදා සිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ මුරලිදරන් ඉන්දීය පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු ලබාගැනීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. ඉන්දීය පිතිකරුවන් දැඩි පීඩනයකට හසුවුණු නිසා 175/3 ලෙසින් දිස්වුණු ඉන්දීය ලකුණු පුවරුව පන්දුවාර කිහිපයක් ඇතුළත 180/7 බවට පත්වුණ. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් විසින් ඉන්දීය පිතිකරුවන්ට තරග අවසානය දක්වාම කිසිදු බුරුලක් ලබාදුන්නේ නැහැ. එම නිසා පන්දුවාර 49.2ක් අවසානයේ දී ඉන්දීය ඉනිම ලකුණු 196කට සීමාවුණේ ශ්‍රී ලංකාවට ලකුණු 8ක ජයක් හිමි වුණා. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 204/7 (50), (අර්ජුණ- 50, ප්‍රභාකර්- 33/2, චවුහාන්- 37/2)

ඉන්දියාව- 196/10 (49.2), (ප්‍රභාකර්- 86, අසාරුඩීන්- 62, ප්‍රමෝද්‍ය- 34/3, කල්පගේ- 22/2)

ශ්‍රී ලංකාවට ලකුණු 8ක ජයක්

තරගයේ වීරයා- අර්ජුණ රණතුංග 

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයග්‍රහණය කරයි 

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දිවා තරගයක් ලෙසින් පැවති තෙවන එක්දින තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 65ක් තුළ දැවීගියා. එම අවස්ථාවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් අසාරුඩීන් පන්දු 103කින් ලකුණු 85ක් ලබාගත්තා. එදා එක් අන්තයකින් කඩුලු බිඳ වැටුණු අවස්ථාවේ සිය අන්තය රැකගනිමින් නායක අසාරුඩීන් දියත් කළ සුපිරි ඉනිම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබාගත්තේ. එහිදී ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරත වුණු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලකුණු 54කට කඩුලු 3ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් චම්පක රාමනායක ලකුණු 42කට කඩුලු 2ක් දවාගත්තා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (gettyimages)

ලකුණු 228ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි මහානාම-හතුරුසිංහ යුගලයට පළමු කඩුල්ල වෙනුවෙන් එකතු කිරීමට ලැබුණේ ලකුණු 27ක් පමණ යි. නමුත් ඉන් පසුව මහානාම සහ ගුරුසිංහ අතර ගොඩනැගුණු ලකුණු 85ක වටිනා සබඳතාවයත්, මහානාම සහ අරවින්ද අතර ගොඩනැගුණු ලකුණු 66ක වේගවත්  සබඳතාවයත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 178/2 ලෙසින් දිස්වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කිරීමෙන් අනතුරුව අරවින්ද දැවීගියත් සීරුවෙන් පන්දුවට පහරදුන් මහානාම සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 213/3 දක්වා ඉහළ නංවනු ලැබුවා. 

රොෂාන් මහානාම (gettyimages)

ඒ මොහොත වන විට ලකුණු 92ක් ලබාගෙන ශතකය අභියස සිටි මහානාමට අවාසනාවන්ත අයුරින් පිටියෙන් ඉවත්වීමට සිදුවුණේ ආබාධ තත්ත්වයක් ඇතිවීම නිසා යි. එලෙස මහානාම පිටියෙන් ඉවත්විමෙන් පසුව ක්‍රියාත්මක වුණු ඉන්දීය පන්දු යවන්නන් ලකුණු 9ක් තුළ කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 222/6 බවට පත් කළා. නමුත් එම අවස්ථාවේ දී කල්පගේ සහ රාමනායක එකතු වී සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියේ පන්දුවාර 49.3ක් අවසානයේ දීයි. ඒ අනුව එක්දින තරගාවලියේ ජයග්‍රහණය 2-1ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණේ තරග 2-1ක් ලෙස යි. එය ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ලබාගත් මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා. එම නිසා එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය අපගේ එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනවාට සැකයක් නැහැ.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 227/9 (50), (අසාරුඩීන්- 85, ප්‍රමෝද්‍ය- 54/3, රාමනායක- 42/2)

ශ්‍රී ලංකාව- 231/6 (49.3), (මහානාම- 92*, ගුරුසිංහ- 43, ප්‍රභාකර්- 38/3)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- රොෂාන් මහානාම 

කවරයේ ඡායාරූපය- එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු මහානාම (gettyimages)

Related Articles