Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 26 වැනි තරගය නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව  සහ බංග්ලාදේශය අතර යි. බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් බංගලාදේශය කැංගරුවන්ට එරෙහිව සටන් බිමට පිවිසෙන්නේ ඉතාමත් යහපත් මානසිකත්වයකින්. එසේම මේ වන විට ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙන ඕස්ට්‍රේලියානුවන්ට එම ස්ථානයේ දිගටම රැඳී සිටීම සඳහා මෙම ජයග්‍රහණය වැදගත්. එම නිසාම කරට කර සටනක් බලාපොරොත්තු වන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ ගැටුම්

මෙම කණ්ඩායම් දෙක 1999 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන තරග 3ක දී තරග කර තිබෙනවා. ඉන් තරග 2ක් ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කරන විට, ඉතිරි තරගය වර්ෂාව නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා.

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය එක්දින ලෝක කුසලාන තරගාවලියක දී මුල්ම වරට හමුවුණේ 1999 තරගාවලියේ දී යි. එම තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ටොම් මූඩි තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් මූඩි පන්දු 29ක් තුළ නොදැවී ලකුණු 56ක් ලබාගත්තා. මූඩිට අමතරව ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 39කින් ලබාගත් ලකුණු ප්‍රමාණය 63ක්.

බංග්ලාදේශය – 178/7 (50)

ඕස්ට්‍රේලියාව – 181/3 (19.5)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මෙම කණ්ඩායම් දෙක නැවතත් ලෝක කුසලාන තරගාවලියක දී හමුවුණේ 2007 දී යි. එවර සුපිරි 8 වටය යටතේ මෙම කණ්ඩායම් සහභාගි වුණු තරගය පන්දුවාර 22කට සීමාවුණා. එම තරගයේ දීත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ගිල්ක්‍රිස්ට් පන්දු 44කින් නොදැවී ලකුණු 59ක් ලබාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

බංග්ලාදේශය – 104/6 (22)

ඕස්ට්‍රේලියාව – 106/0 (13.5)

ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

2003 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට 2015 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. නමුත් වර්ෂාව නිසා එම තරගයේ දී එකදු පන්දුවක් හෝ යැවීමට හැකිවුණේ නැහැ.

නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටිය පිළිබඳව දත්තයන්

2019 ලෝක කුසලාන තරගාවලිය තුළ මෙම පිටියේ පැවති එංගලන්ත-පාකිස්ථානු තරගයේ දී මෙන්ම ඕස්ට්‍රේලියා-කොදෙව් තරගයේ දීත් පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙණුනා. නමුත් තරගය ආරම්භ කරන අවස්ථාව වන විට අහස වළාකුළුවලින් බරව තිබුණොත් පන්දුවට පහරදෙන කණ්ඩායම යම් පීඩනයකට හසුවීමට ඉඩ තිබෙනවා. පසුගිය ඕස්ට්‍රේලියානු-කොදෙව් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම ඉරණමට ගොදුරු වුණු ආකාරය දක්නට ලැබුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග 2 දීම තරගය ජයග්‍රහණය කළේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම පිටියේ වාසිය තීරණාත්මක සාධකයක් වන්නේ නැහැ. නමුත් කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමට කාලගුණික තත්ත්වය අනුව යම් වාසියක් ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වසර 15 තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 9න් 8ක දීම කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් තණ තීරුවේ විශේෂ වෙනස්කමක් සිදු නොවුණොත් එලෙසම කාසියේ වාසිය දිනාගත් නායකයා කටයුතු කිරීමට ඇති ඉඩ වැඩියි.

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම පිටියේ දි අවසන් වරට දිවා එක්දින තරගයක් ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව යි. එම තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ජයග්‍රහණය කළා. නමුත් මෙම පිටිය ඕස්ට්‍රේලියානුවන්ට අවාසනාවන්ත පිටියක් වන්නේ ඔවුන් 1983 ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ හමුවේ පරාජය වීම නිසා යි. ඊට අමතරව එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ එක්දින තරගයක වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළේත් මෙම පිටියේ දීම යි. බංගලාදේශය මෙම පිටියේ දී කිසිදු දිවා එක්දින තරගයකට සහභාගි වී නැහැ. නමුත් ඔවුන් මෙම පිටියේ දී සහභාගි වුණු දිවා/රාත්‍රී එක්දින තරග 2ම පරාජයට පත්වුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-බංගලාදේශ තරගය පිළිබඳව

ඕස්ට්‍රේලියාව සහ බංගලිදේශය අතර පවත්වා ඇති එක්දින තරග ගණන 20ක්. ඉන් තරග 18ක් ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කරන විට බංගලාදේශය ජයග්‍රහණය කර තිබෙන්නේ එක් තරගයක් පමණ යි. අවසන් වරට මෙම කණ්ඩායම් දෙක අතර ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරගයක් පැවැත්වුණේ 2011 වසරේ දී යි. එම අවදියට වඩා එක්දින පිටිය තුළ තරගකාරී කණ්ඩායමක් බවට පත්ව සිටින බංගලාදේශ කණ්ඩායම සතුව අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් රැසක් සිටිනවා. එම නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ දී ඔවුන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles