Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැකා පිටියේ දී කැංගරුවන්ව තෙවරක් මට්ටු කළ කොදෙව්වා

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටා තිබෙන වැකා ක්‍රීඩා පිටිය 80 සහ 90 දශකවල දී වේග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක පිටියක් වුණා. එම කාල සමය තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව වැකා පිටියේ දී ක්‍රීඩා කළ සෑම තරගයක්ම ජයග්‍රහණය කළේ කොදෙව් කණ්ඩායම යි. එලෙස කොදෙව්වන්ට වැකා පිටිය ජය බිමක් වුණේ ඔවුන් සතුව සිටි සුපිරි වේග පන්දු බල ඇණිය නිසා යි. එහි දී කොදෙව් පිල නියෝජනය කළ කර්ට්ලි ඇම්බ්‍රෝස් නම් සුපිරි වේග පන්දු යවන්නා කැංගරුවන්ට හිසරදයක් වුණා. අවසන් වරට කොදෙව්වන් වැකා පිටියේ දී කැංගරුවන් පරාජය කළ ටෙස්ට් තරග 3 දී ම ඇම්බ්‍රෝස් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එසේ නම් මෙම ලිපිය ලියවෙන්නේ ඇම්බ්‍රෝස් නම් සුපිරි වේග පන්දු යවන්නා වැකා පිටියේ දී කැංගරුවන්ව මට්ටු කළ ආකාරය පිළිබඳව ඉදිරිපත් කිරීමට යි. 

1988 ඕස්ට්‍රේලියා-කොදෙව් වැකා ටෙස්ට් තරගය  

1988/1989 ෆ්රෑන්ක් වොරල් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ පර්ත් නුවර වැකා පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 449ක් ලබාගත්තේ විවියන් රිචඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 146 නිසා යි. ඉන්පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 138ක් ලබාගත්තේ කොදෙව් පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරමින්. නමුත් එම අවස්ථාවේ දී මාක් වැලේටා දුවද්දී දැවීයාමත් සමගම ක්‍රියාත්මක වුණු ඇම්බ්‍රෝස්, ප්‍රබල පිතිකරුවන් යුගලයක් වුණු බූන් සහ බෝඩර් දවාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 167/4 බවට පත් කරමින්. 

විවියන් රිචඩ්ස් (gettyimages)

එලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක් වුණු වුඩ් සහ ස්ටීව් වෝ, ලකුණු 200ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවේ ඕස්ට්‍රේලියානුවන් ප්‍රබල ස්ථානයකට රැගෙන යමින්. එදා කොදෙව්වන් වෙතින් තරගය ගිලිහී යමින් පැවතුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඇම්බ්‍රෝස්, ඉක්මනින්ම කඩුලු 3ක් දවාගනිමින් සිය ටෙස්ට් දිවියේ මුල්ම කඩුලු 5 වාර්තා කළා. ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් කඩුලු 8ක් දැවී ලකුණු 395ක් ලබාසිටිය දී ඉනිම අත්හිට වූයේ කොදෙව්වන්ට නැවත පන්දුවට පහරදීමේ වාරය ලබාදෙමින්.

කර්ට්ලි ඇම්බ්‍රෝස් (gettyimages)

පළමු ඉනිම අවසන් වන විට කැංගරුවන්ට වඩා ලකුණු 54ක් ඉදිරියෙන් සිටි කොදෙව්වන් දෙවන ඉනිමේ දී වේගයෙන් පන්දුවට පහර දුන්නා. එම නිසාම ඔවුන් පන්දුවාර 98ක් තුළ ලකුණු 349ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එහි දී කොදෙව්වන් වෙනුවෙන් හේන්ස් ශතකයක් ලබාගන්නා විට, කැංගරුවන් වෙනුවෙන් මර්ව් හියුස් ලකුණු 87කට කඩුලු 8ක් ලබාගත්තේ කඩුලු ත්‍රිත්වයක් ද සමගින්.

මර්ව් හියුස් (gettyimages)

තරගයේ අවසන් දිනයේ දී ලකුණු 404ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 140ක් තුළ දැවීගියා. නමුත් ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු හීලි සහ ඩොඩමේඩ්, 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එකතු කළේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 190/6 දක්වා ඉහළ නංවමින්. කොදෙව්වන්ට හිසරදයක් වුණු එම සබඳතාවය බිඳ දැමීමට නොහැකිව සිටි අවස්ථාවේ පන්දුව අතට ගත් ඇම්බ්‍රෝස්, ඉක්මනින්ම කඩුලු 3ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 234කට සීමා කළා. එහි දී තරගය පුරාවටම කඩුලු 8ක් දවාගනිමින් දස්කම් දැක්වූ ඇම්බ්‍රෝස්, කොදෙව්වන් ලබාගත් ලකුණු 169ක ජයග්‍රහණයේ නියමුවා වුණා. 

කෙටි ලකුණු පුවරුව 

කොදෙව් පළමු ඉනිම-  449/10, (රිචඩ්ස්- 146, ලොගී- 93, රිචඩ්සන්- 66, හියුස්- 130/5, ලෝසන්- 97/3)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 395/8, (වුඩ්- 111, ස්ටීව් වෝ- 91, බූන්- 80, ඇම්බ්‍රෝස්- 72/5, වොල්ෂ්- 58/1)

කොදෙව් දෙවන ඉනිම- 349/9, (හේන්ස්- 100, හූපර්- 64, රිචඩ්සන්- 48, හියුස්- 87/8, ඩොඩමේඩ්- 101/1)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 234/9*, (හීලි- 52, වුඩ්- 42, ඇම්බ්‍රෝස්- 66/3, මාෂල්- 50/2, පැටර්සන්- 58/2)

*ජෙෆ් ලෝසන් ආබාධයකට ලක්වීම නිසා පන්දුවට පහරදීමට පැමිණියේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 169ක ජයක් 

තරගයේ වීරයා- මර්ව් හියුස්    

1993 ඕස්ට්‍රේලියා-කොදෙව් වැකා ටෙස්ට් තරගය

1992/1993 ෆ්රෑන්ක් වොරල් ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ පර්ත් නුවර, වැකා පිටියේ දී යි. මෙම ටෙස්ට් තරගය ආරම්භ වන විට තරගාවලිය 1-1 ලෙසින් සම තත්ත්වයේ තිබුණු නිසා තරගාවලියේ ජයග්‍රාහකයා තේරීම සඳහා තීරණාත්මක සාධකය වුණේ පර්ත් ටෙස්ට් තරගය යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව සිය පළමු ඉනිම ආරම්භ කළ කැංගරුවන් කඩුලු 2ක් ලකුණු 85ක් ලබා සිටියේ තරගයේ වාසිය ලබාගැනීමට උත්සාහයක යෙදෙමින්. එම අවස්ථාවේ දී කොදෙව් නායක රිචඩ්සන්, ඔහු සතුව සිටි ප්‍රධානම අවිය වුණු ඇම්බ්‍රෝස්ව පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවා. එහි දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ත අසරණ කළ ඇම්බ්‍රෝස්, ලකුණු 25කට කඩුලු 7ක් දවාගත්තේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 119කට සීමා කරමින්. 

ඇම්බ්‍රෝස් පන්දු යවමින් (gettyimages) 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් පසුව සිය පළමු ආරම්භ කළ කොදෙව්වන් වෙනුවෙන් සිමන්ස් සහ අතර්ටන් ලබාගත් අර්ධ ශතක නිසා ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 322ක් ලබාගත්තා. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 203ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ කැංගරුවන්, ඉයන් බිෂොප්ගේ මනරම් වේග පන්දු යැවීම හමුවේ අසීරු අඩියකට වැටුණා. එහි දී බිෂොප් ලකුණු 40කට කඩුලු 6ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 178කට සීමා කරනු ලැබුවා. ඒ අනුව කොදෙව්වන් එම තරගය ඉනිමකින් සහ ලකුණු 25කින් ජයග්‍රහණය කරමින් ෆ්රෑන්ක් වොරල් කුසලානය දිනාගැනීමට සමත් වුණා.

 කොදෙව්වන් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (Espncricinfo)

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 119/10, (බූන්- 44, ඇම්බ්‍රෝස්- 25/7, බිෂොප්- 17/2)

කොදෙව් පළමු ඉනිම- 322/10, (සිමන්ස්- 80, අතර්ටන්- 77, හියුස්- 71/4, මැක්ඩර්මට්- 85/3)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 178/10, (බූන්- 52, මාටින්- 31, බිෂොප්- 40/6, ඇම්බ්‍රෝස්- 54/2)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 25ක ජයක්. 

තරගයේ වීරයා- කර්ට්ලි ඇම්බ්‍රෝස් 

1997 ඕස්ට්‍රේලියා-කොදෙව් වැකා ටෙස්ට් තරගය

1996/1997 ෆ්රෑන්ක් වොරල් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය වැකා පිටියේ දී ආරම්භ වන විට කැංගරුවන් ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටියා. එම නිසාම මෙම තරගයට කොදෙව්වන් අවතීර්ණ වුණේ සිය ගෞරවය රැකගැනීම වෙනුවෙන්. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා,  මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 49ක් තුළ දැවීගියා. නමුත් එම අවස්ථාවේ දී පිටියේ එක් වුණු මාක් වෝ සහ බෙවන්, ලකුණු 120ක සබඳතාවයක් ගොඩනැගුවේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 169/4 බවට පත් කරමින්. එලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගනිමින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඇම්බ්‍රෝස් ඉක්මනින්ම කඩුලු 3ක් ලබාගත්තා. ඔහු අවශ්‍ය ම අවස්ථාවක ලබාගත් එම කඩුලු තුන නිසා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 143කට සීමා වුණා. එහි දී කොදෙව්වන් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ඇම්බ්‍රෝස් ලකුණු 43කට කඩුලු 5ක් දවාගත්තා.

ඇම්බ්‍රෝස් කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 251ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ දී ලාරා ලකුණු 132කට දැවීයාමත් සමගම කොදෙව් ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. ඒ අනුව කොදෙව්වන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකි වුණේ ලකුණු 384ක් පමණයි. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මනරම් පන්දු යැවීමක නිරත වූ පෝල් රයිෆල් ලකුණු 73කට කඩුලු 5ක් දවාගනු ලැබුවා.

 ලාරාගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 141ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ කැංගරුවන්ගේ මුල් කඩුලු 2ම ලකුණු 17ක් තුළ දැවීගියේ ඇම්බ්‍රෝස්ගේ පන්දු හමුවේ යි. ඇම්බ්‍රෝස් ලබාදුන් එම සුපිරි ආරම්භයෙන් පන්නරය ලැබූ වොල්ෂ් සහ බිෂොප්, කැංගරුවන්ට එරෙහිව සිදුකළ සුපිරි පන්දු යැවීම නිසා ඔවුන්ට සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 194ක් පමණයි. එලෙස ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් පසුව ලකුණු 54ක පහසු ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගත්තා. එදා කොදෙව්වන් වැකා පිටියේ දී ලැබූ ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට ඕස්ට්‍රේලියානු බිමේ දී කිසිදු ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීමට හැකි වුණේ නැහැ. එම නිසාම 1997 වැකා ටෙස්ට් තරග ජයග්‍රහණය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණයක් වනවා. 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 243/10, (බෙවන්- 87*, මාක් වෝ- 79, ඇම්බ්‍රෝස්- 43/5, බිෂොප්- 54/3)

කොදෙව් පළමු ඉනිම- 384/10, (ලාරා- 132, සැමුවෙල්ස්- 76, හූපර්- 57, රයිෆල්- 73/5, වෝන්- 55/2)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 194/10, (හේඩ්න්- 47, වොල්ෂ්- 74/5, බිෂොප්- 44/2, ඇම්බ්‍රෝස්- 50/2)

කොදෙව් දෙවන ඉනිම- 57/0, (සැමුවෙල්ස්- 35*, කැම්බල්- 16*) 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- කර්ට්ලි ඇම්බ්‍රෝස් 

කවරයේ ඡායාරූපය- 1993 වැකා ටෙස්ට් තරගය අතරතුර (gettyimages)

Related Articles