Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසූහතේ පෑයූ රග්බි තරුව- ග්‍රාන්ට් ෆොක්ස්

මුල්ම රග්බි ලෝක කුසලාන තරගාවලිය 1987 වසරේ දී පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල්වල සත්කාරකත්වය ඇතිව යි. රටවල් 16ක් සහභාගි වුණු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ සත්කාරක නවසීලන්ත කණ්ඩායම සහ ප්‍රංශ කණ්ඩායම යි. එදා ප්‍රංශ කණ්ඩායම ලකුණු 29-9ක් ලෙස පරාජය කරමින් නවසීලන්තය ලබාගත් මංගල රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සුපිරි වීරයෙකු සිටියා. මෙම ලිපිය වෙන්වන්නේ ග්‍රාන්ට් ෆොක්ස් නම් එම සුපිරි ක්‍රීඩකයා 1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ සුපිරි දස්කම් පිළිබඳව මතකය අවදි කිරීමට යි.

මූලික වටයේ තරගවල දී ෆොක්ස්ගෙන් ඉහළ දස්කම්

3 වැනි කාණ්ඩය යටතේ තරග වැදුණු නවසීලන්ත කණ්ඩායමට පළමු වටයේ තරගවල දී ෆිජී, ඉතාලිය, සහ ආජන්ටිනාව යන රටවල් සමග ක්‍රීඩා කිරීමට සිදුවුණා. එහිදී නවසීලන්තය එම රටවල් 3ම පහසුවෙන් පරාජය කිරීමට ග්‍රාන්ට් ෆොක්ස් දැක්වූ සුපිරි දස්කම් විශාල සවියක් වුණා. 

ඉතාලියට එරෙහිව තරගය නවසීලන්තය පහසුවෙන් ජයගනියි 

මූලික වටයේ තරගවල දී නවසීලන්තය මුලින්ම තරග වැදුණේ ඉතාලිය සමග යි. තරග ආරම්භයේ සිටම ප්‍රබල තරග රටාවක නිරත වුණු නවසීලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ 70-6ක් ලෙසින්.එහිදී නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 70න් 22ක්ම ෆොක්ස් විසින් ලබාගත්තේ ප්‍රවර්තන 8ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කරගනිමින්.

නවසීලන්ත – ඉතාලි තරගයේ අවස්ථාවක් (gettyimages)

ෆිජී තරගයේ දී ෆොක්ස් නැවතත් දස්කම් අතරට 

ඉතාලි තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නවසීලන්තයට තරග වැදීමට සිදුවුණේ ෆිජී කණ්ඩායම සමග යි. එම තරගයත් නවසීලන්තය කිසිදු අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළේ 74-13 ලෙස ලකුණු ලබාගනිමින්. එහිදී නැවත වරක් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ෆොක්ස් ප්‍රවර්තන 10ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 26ක් ලබාගත්තා.

නවසීලන්ත – ෆිජී තරගයේ අවස්ථාවක් (gettyimages)

ආජන්ටිනා තරගයේ ජයග්‍රහණයේ නියමුවා වුණේත් ඔහුයි 

නවසීලන්ත කණ්ඩායම මූලික වටය යටතේ පැවති අවසන් තරගයේ දී තරග වැදුණේ  ආජන්ටිනා කණ්ඩායම සමග යි. එහිදී ග්‍රාන්ට් ෆොක්ස් දඬුවම් පහර 6ක් සහ ප්‍රවර්තන 2ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු 22 නිසා නවසීලන්තයට ලකුණු 46-15ක් ලෙස පහසු ජයක් උරුම වුණා.

නවසීලන්ත – ආජන්ටිනා  තරගයේ දී ෆොක්ස් තරග වදිමින්  (gettyimages) 

 නවසීලන්ත කණ්ඩායම මූලික වටයේ තරග වලදී ලබාගත් සමස්ත ලකුණු ප්‍රමාණය 190ක්. එම ලකුණු 190න් ග්‍රාන්ට් ෆොක්ස් ලබාගත් ලකුණු ප්‍රමාණය 70. ඒ අනුව මූලික වටයේ තරගවල දී කණ්ඩායම ලබාගත් සමස්ත ලකුණු වලින් 36.84% ප්‍රතිශතයක් ෆොක්ස් විසින් ලබාගැනීම සුවිශේෂී දස්කමක්.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ෆොක්ස් විසින් ස්කොට්ලන්තය මට්ටු කරයි 

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර යි. මෙම තරගය පැවති දිනය ග්‍රාන්ට් ෆොක්ස්ට ඉතාමත් සුවිශේෂී එකක් වුණේ ඔහුගේ 25 වැනි උපන්දිනය එදිනට යෙදී තිබීම යි. එදා නවසීලන්තය සමග තරග වැදුණු ස්කොට්ලන්ත කණ්ඩායම මූලික වටයේ තරග වලදී සිම්බාබ්වේ සහ රුමේනියාව පරාජය කරමින් ප්‍රබල ප්‍රංශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය 20-20 ලෙසින් අවසන් කළා. එලෙස ප්‍රබල දස්කම් දැක්වූ ස්කොට්ලන්තය හමුවේ නවසීලන්තය 30-3ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් ලබාගත්තේ ෆොක්ස් දඬුවම් පහර 6ක් සහ ප්‍රවර්තන 2ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු 22 නිසා යි.

ෆොක්ස් අර්ධ අවසන් පූර්ව තරගයේ තීරණාත්මක අවස්ථාවක  (gettyimages) 

 අවසන් පූර්ව තරගය නවසීලන්තය පහසුවෙන් ජයග්‍රහණය කරයි 

නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී වේල්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවුණා. මෙම තරගාවලිය තුළ ප්‍රබල දස්කම් දැක්වූ වේල්ස් කණ්ඩායම මූලික වටයේ තරගවල දී අයර්ලන්තය, කැනඩාව, සහ ටොංගා යන කණ්ඩායම් පරාජය කළා. ඉන් පසුව අර්ධ අවසන් පූර්ව තරගයේ දී වේල්ස් කණ්ඩායම අතින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය වුණේ 16-3ක් ලෙස යි. නමුත් අවසන් පූර්ව තරගය ආරම්භයේ සිටම වේල්ස් කණ්ඩායමට නවසීලන්තය හමුවේ දස්කම් දැක්වීමට නොහැකි වුණු නිසා අවසානයේ දී නවසීලන්තය 49-6ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළා. එහිදී නවසීලන්තය උත්සාහක දිනුම් 8ක් මඟින් ලකුණු 32ක් ලබාගත්තා (එම අවදියේ උත්සාහක දිනුමකට ලබාදුන් ලකුණු ප්‍රමාණය 4ක්). එලෙස ලබාගත් උත්සාහක දිනුම් 8න් 7ක ප්‍රවර්තන සාර්ථක කරගත් ෆොක්ස් දඬුවම් පහරක් ද මඟින් ලකුණු ලබාගත්තේ ලකුණු 17ක් තම පිලට එක් කරමින් 

නවසීලන්ත-වේල්ස් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages) 

නවසීලන්තය මංගල රග්බි ලෝක කුසලාන තරගාවලිය ජයගනියි

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී හමුවුණේ නවසීලන්ත කණ්ඩායම සහ ප්‍රංශ කණ්ඩායම යි. ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් සටනට එක්වුණා. එම නිසාම මෙම අවසන් තරගය උද්වේගකර එකක් වනු ඇතැ යි විචාරකයන් අනාවැකි පළ කළා. නමුත් මෙම තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩ්‍රොප් ගෝලයක් මගින් මුල්ම ලකුණු 3 ලබාදුන්නේ ග්‍රාන්ට් ෆොක්ස් විසින්. එලෙස ෆොක්ස්  සාර්ථක කරගත් ඩ්‍රොප් ගෝලය පළමු භාගය අවසන් වන විට 3-0ක් ලෙසින් නවසීලන්තය පෙරමුණේ තැබුවා. එලෙස පළමු භාගය ඉතාමත් හොඳින් අවසන් කළ නවසීලන්තය වෙනුවෙන් දෙවන භාගයේ දී ෆොක්ස් තවත් ලකුණු 12ක් එකතු කළේ දඬුවම් පහර 4ක් සාර්ථක කරගනිමින්. එදා සමස්ත තරගය පුරාවටම ග්‍රාන්ට් ෆොක්ස් ලබාගත් ලකුණු 17 නිසා නවසීලන්ත කණ්ඩායම මංගල රග්බි ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වුණේ ප්‍රංශ කණ්ඩායම 29-9ක් ලෙසින් පරාජය කරමින්.

ෆොක්ස් අවසන් තරගයේ තියුණු  අවස්ථාවක (gettyimages) 

 ෆොක්ස් විසින් තැබූ රග්බි ලෝක කුසලාන වාර්තාව 

1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළ දී ග්‍රාන්ට් ෆොක්ස් විසින් ලබාගත් සමස්ත ලකුණු ප්‍රමාණය 126ක්. එහිදී ෆොක්ස් විසින් ප්‍රවර්තන 30ක්, දඬුවම් පහර 21ක් සහ ඩ්‍රොප් ගෝලයක් මඟින් එම ලකුණු වාර්තා කළා. එය රග්බි ලෝක කුසලාන තරගාවලියක තනි ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර සටහන් වනවා. ඔහු මීට වසර 32කට පෙර එනම් 1987 වසරේ දී තැබූ වාර්තාව අදටත් කිසිවෙකුට බිඳ දැමීමට නොහැකි වීම පුදුමයට කරුණක්. ෆොක්ස් එදා තැබූ එම අසමසම වාර්තාව නිසාම රග්බි ලෝක කුසලාන ඉතිහාසය තුළ ඔහුගේ නාමය අමරණීය වනවා. 

කවරයේ ඡායාරූපය - ග්‍රාන්ට් ෆොක්ස් (Therugbymagazine.com)

Related Articles