Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිම ගැන විමසුමක්

Roar සිංහල කණ්ඩායම සෑම විටම ඔබ වෙත නවතම විශේෂාංග ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. ඔලිම්පික් තරගාවලිය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබෙන මේ මොහොතේ ක්‍රීඩා පිටියේ උණුසුම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එවැනි වටපිටාවක ක්‍රීඩාශීලී ඔබ වෙනුවෙන් අලුත් ආරක විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට Roar සිංහල අපි තීරණය කළා. ගෙවුණු සතිය තුළ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී දක්නට ලැබුණු විශේෂ සිදුවීම් අලලා සකස් කෙරුණු මෙම විශේෂාංගය අද සිට සෑම ඉරිදාවකම ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.

ආජන්ටිනාව වසර 28කට පසු කෝපා අමෙරිකා ශූරයන් වෙයි 

47 වැනි වතාවටත් පැවති 2021 කෝපා අමෙරිකා පාපන්දු ශූරතාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන්අ ද උදෑසන 5.30ට බ්‍රසීලයේ මරකානා ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. දකුණු අමෙරිකා කලාපයේ පාපන්දු ප්‍රබලයන් වන බ්‍රසීලය සහ ආජන්ටිනාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණා. තරග ආරම්භයේ සිටම බ්‍රසීලයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණු ආජන්ටිනා කණ්ඩායම 22 වැනි විනාඩියේ දී පළමු ගෝලය වාර්තා කළා. එහි දී බ්‍රසීල ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු අතින් සිදුවුණු අත්වැරැදීමකින් ප්‍රයෝජන ගත්  ආජන්ටිනා මැද පෙළ ප්‍රහාරක ක්‍රීඩක ඒන්ජල් ඩි මරියා සාර්ථකව පන්දුව දැලට එල්ල කළා. ඉන් පසු දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. 

ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සිය රටට දිනාදුන් පළමු ජාත්‍යන්තර කුසලානය – Twitter.com/brfootball

එහි ප්‍රතිඵලයක් වශයෙන් ආජන්ටිනා කණ්ඩායමට ගෝල 1-0 ලෙසින් තරගයේ ජයග්‍රහණය හිමි වුණා. ඒ අනුව ආජන්ටිනා කණ්ඩායම 1993 වසරෙන් පසුව කෝපා අමෙරිකා පාපන්දු ශූරතාව හිමිකරගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. කෝපා අමෙරිකා පාපන්දු ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව හිමිකර ගත් කණ්ඩායම් දෙකෙන් එකක් වීමේ වරම ද ආජන්ටිනාවට හිමිවුණා.

ලියොනල් මෙසී සමඟ කෝපා අමෙරිකා පාපන්දු ශූරතාව දිනාගත් ආජන්ටිනා කණ්ඩායම – Twitter.com/brfootball

මේ වන විට ආජන්ටිනාව සහ උරුගුවේ යන රටවල් 15 වතාව බැගින් කෝපා අමෙරිකා ශූරතාව දිනාගෙන තිබෙනවා. මෙය ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී දිනා ගත් සිය රටට දිනාදුන් පළමු ජාත්‍යන්තර කුසලානය ලෙසින් ද සටහන් වුණා. තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට හිමිවුණු සම්මාන පහත දක්වා තිබෙනවා.

1) දක්ෂතම ක්‍රීඩකයාට හිමි වන රන් පන්දුව- ලියොනල් මෙසී (ආජන්ටිනාව) සහ නේමාර් (බ්‍රසීලය)

2) වැඩිම ගෝල ලාභියාට හිමි වන රන් සපත්තුව- ලියොනල් මෙසී (ආජන්ටිනාව) 

3) හොඳම දැල් රකින්නාට හිමි වන රන් අත් වැසුම- එමිලියානෝ මාටිනෙස් (ආජන්ටිනාව)

4) අවසන් තරගයේ වීරයා- ඒන්ජල් ඩි මරියා (ආජන්ටිනාව)

5) විනයගරුකම කණ්ඩායම- බ්‍රසීලය 

ශූරතාවය දිනාගත් ආජන්ටිනා කණ්ඩායම
ශූරතාව දිනාගත් ආජන්ටිනා කණ්ඩායම – si.com

******

එංගලන්තය මුල්ම වරට යුරෝ කුසලාන අවසන් තරගයකට 

2020 යුරෝ කුසලාන තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12.30ට ආරම්භ වනවා. එම තරගය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ ඉතාලිය සහ එංගලන්තය යන කණ්ඩායම් දෙක යි. තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුණු ඉතාලිය මූලික වටයේ තරගවල දී වේල්ස්, ස්විට්සර්ලන්තය සහ තුර්කිය යන කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ වාර්තා කළා. ඉන් පසුව පිළිවෙලින් ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල් පරාජය කළ ඉතාලිය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

යුරෝ කුසලානය – Twitter.com

මූලික වටයේ දී D කාණ්ඩය යටතේ තරග කළ එංගලන්තය චෙක් ජනරජය සහ ක්‍රොයේෂියාව පරාජයට පත්කර ස්කොට්ලන්තය සමග තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්තා. ඉන් අනතුරුව පිළිවෙළින් ජර්මනිය, යුක්‍රේනය සහ ඩෙන්මාර්කය යන රටවල් පරාජය කළ එංගලන්තය ඉතිහාසයේ පළමු වතාවට යුරෝ කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගත්තා. 

එලෙස එංගලන්තය සිය පළමු යුරෝ කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබද්දී ඉතාලිය මීට පෙර අවස්ථා තුනක දී යුරෝ කුසලාන අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා. ඒ 1968, 2000 සහ 2012 යන වසරවල දී යි. එහි දී ඉතාලියට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ 1968 යුරෝ කුසලාන අවසන් තරගය පමණ යි. එංගලන්තය අද මධ්‍යම රාත්‍රියේ දී යුරෝ කුසලානය ජයග්‍රහණය කළොත් එය 1966 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව එංගලන්තය ලබාගත් ඉහළම පාපන්දු ජයග්‍රහණය ලෙසින් වාර්තා අතරට එක්වනු ඇති.

1968 යුරෝ කුසලානය දිනාගත් ඉතාලිය
1968 යුරෝ කුසලානය දිනාගත් ඉතාලිය -Wikimedia

******

යොවුන් එංගලන්ත කණ්ඩායමක් හමුවේ පාකිස්තානයට එක්දින තරගාවලි පරාජයක් 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ සංචාරය කරනවා. එම සංචාරය යටතේ පැවති තරග 3කින් සමන්විත වුණු එක්දින තරගාවලියේ මුල් තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එංගලන්තය යි. පසුගිය දිනවල ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලිය සඳහා සහභාගි වුණු එංගලන්ත කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් මේ දිනවල නිරෝධායනයේ යෙදෙනවා.

England v Pakistan
තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙකම ජයග්‍රහණය කළ එංගලන්තය – icc-cricket.com

එනිසා පාකිස්තාන එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් නවක එංගලන්ත කණ්ඩායමක් සහභාගි වුණා. එම නවකයන් පිරිස ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහිව සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එලෙස නිමාවට පත්වුණු තරග දෙකේ කෙටි ලකුණු පුවරු පහත දක්වා තිබෙනවා.

පළමු තරගය 

පාකිස්තානය- 141/10 (35.2), (ෆකාර් සමාන්- 47 සකීබ් මහ්මුඩ්- 42/4, ක්‍රේග් ඕවර්ටන්- 23/2)

එංගලන්තය- 142/1 (21.5), (ඩේවිඩ් මලාන්- 68*, සැක් ක්‍රෝලි- 58*, ෂහීන් අෆ්රීඩී- 22/1)

එංගලන්තයට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා- සකීබ් මහ්මුඩ් 

දෙවන තරගය 

එංගලන්තය- 247/10 (45.2), (පිල් සෝල්ට්- 60, ජේම්ස් වින්ස්- 56, හසන් අලී- 51/5)

පාකිස්තානය- 195/10 (41)- (සවුඩ් ෂකීල්- 56, ලුවිස් ග්‍රෙගරි- 44/3, සකීබ් මහ්මුඩ්- 21/2)

එංගලන්තයට ලකුණු 52ක ජයක්

තරගයේ වීරයා- ලුවිස් ග්‍රෙගරි 

පන්දුවෙන් දස්කම් දැක්වූ සකීබ් මහ්මුඩ්
පන්දුවෙන් දස්කම් දැක්වූ සකීබ් මහ්මුඩ්  – Cricinfo

******

මහමදුල්ලා සහ ටස්කිගෙන් විශිෂ්ට ලකුණු සබඳතාවක් 

බංග්ලාදේශ-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය ජූලි 7 වැනිදා හරාරේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 270ක් ඇතුළත බිඳ වැටුණා. ඉන් පසුව පිටියේ එක්වුණු මහමදුල්ලා රියාද් සහ ටස්කින් අහමඩ් 9 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 191ක සබඳතාවයක් ගොඩනැගුවා.

Image
පිටියේ එක්වුණු මහමදුල්ලා – twitter.com/naimulbd

එය ලෝක ටෙස්ට් ඉතිහාසයේ 9 වන කඩුල්ල සඳහා වාර්තා වුණු දෙවන හොඳම කඩුලු සබඳතාව ලෙසින් සටහන් වුණා. පහත දක්වා තිබෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 9 වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සබඳතා පහයි. 

1) මාක් බවුචර් සහ පැට් සිම්කොක්ස් (දකුණු අප්‍රිකාව)- 195 පාකිස්තානයට එරෙහිව 1998 දී 

2) මහමදුල්ලා රියාද් සහ ටස්කින් අහමඩ් (බංග්ලාදේශය)- 191 සිම්බාබ්වේට එරෙහිව 2021 දී 

3) අසීෆ් ඉක්බාල් සහ ඉන්ටිකාබ් අලාම් (පාකිස්තානය)- 190 එංගලන්තයට එරෙහිව 1967 දී 

4) මහමදුල්ලා රියාද් සහ අබුල් හසන් (බංග්ලාදේශය)- 184 කොදෙව්වන්ට එරෙහිව 2012 දී 

5) ජීන් පෝල් ඩුමිනි සහ ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)- 180 ඕස්ට්‍රේලියාවට එරෙහිව 2008 දී

මාක් බවුචර් සහ පැට් සිම්කොක්ස් (ICC)
මාක් බවුචර් සහ පැට් සිම්කොක්ස් – ICC

******

ඕස්ට්‍රේලියා – කොදෙව් 20/20 තරගාවලිය  | විම්බල්ඩන් ටෙනිස් පිරිමි කේවල අවසන් තරගය

මේ දිනවල කොදෙව් දේශයේ දී ඕස්ට්‍රේලියාව සහ කොදෙව්වන් අතර තරග 5කින් සමන්විත 20/20 තරගාවලියක් පැවැත්වෙනවා. එහි මුල් තරග 2ම ජයග්‍රහණය කළේ කොදෙව් කණ්ඩායම යි. එසේම මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගය අද සවස 6.30ට (ඉන්දියානු වේලාවෙන්) සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඉතාලියේ මටේයෝ බෙරෙටීනි අතර පැවැත්වෙනවා. ක්‍රීඩාවට ලැදි ඔබට එම අවසන් තරගයත් නරඹන්නට අවස්ථාව තිබෙනවා.

******

ඉන්දියානු තරගාවලියේ නායකත්වය දසුන් ශානකට 

පසුගිය දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරය කළා. එහි දී 20/20 තරග 3කට සහ එක්දින තරග 3කට සහභාගි වුණු අපේ කණ්ඩායමට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකිවුණේ නැහැ. එම අසාර්ථක එංගලන්ත සංචාරයෙන් පසුව මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජූලි 18 වනදා සිට ඉන්දියාවට එරෙහිව එක්දින සහ 20/20 තරගාවලි දෙකකට සහභාගි වීමට නියමිත යි. එම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පසුගිය දිනක නම් කළා. එහි නායකත්වය දසුන් ශානකට හිමිවෙද්දී උප නායකත්වයේ වගකීම ධනංජය ද සිල්වාට භාරව තිබෙනවා. නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව තිබෙන සංචිතය මෙසේයි.

දසුන් ශානක (නායක) , ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ළහිරු උදාර, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, බිනුර ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු 

දසුන් ශානක
දසුන් ශානක – Youtube

******

ඔලිම්පික් යන අවසන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා අවසන් සංචිතය පසුගිය ජූලි 5 වැනිදා නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිම ක්‍රීඩා ප්‍රමාණයකට සහභාගි වෙන්නේ මෙවර ඔලිම්පික් උළෙලේ දී වීම විශේෂත්වයක්. පහතින් දක්වා තිබෙන්නේ ටෝකියෝ යන අපේ කණ්ඩායම යි.

මැතිල්ඩා කාල්සන් (අශ්වාරෝහක තරග)

නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්)

යුපුන් අබේකෝන් (මලල ක්‍රීඩා)

මැතිව් අබේසිංහ (පිහිනුම්)

චාමර ධර්මවර්ධන (ජූඩෝ)

මිල්කා ගෙහානි (ජිම්නාස්ටික්)

ටෙහානි එගොඩවෙල (ඉලක්කයට වෙඩි තැබීම)

නිමාලි ලියනආරච්චි (මලල ක්‍රීඩා)  

අනිකා ගෆූර් (පිහිනුම්)

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව Roar සිංහල අප මීට පෙර ලිපියක් පළ කළා. ඒ ලිපිය මෙතනින් කියවන්න පුළුවන්.

ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායම
ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායම – Design credit: Roar Media/Jamie Alphonsus

******

ඉතිහාසයේ මුල්ම වතාවට අපේ ක්‍රීඩකයෙක් චෙස් ලෝක කුසලානයට 

2021 චෙස් ලෝක කුසලාන තරගාවලිය ජූලි 12 සිට අගෝස්තු 6 දක්වා රුසියාවේ සෝචි නගරයේ දී පැවැත්වීමට නියමිත යි. ඒ සඳහා සුදුසුකම් ලබාගත් වත්මන් ජාතික චෙස් ශූරයා වන රනිඳු දිල්ෂාන් ලියනගේ පසුගිය දිනක රුසියාව බලා පිටත්ව ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසින් රනිඳු ඉතිහාසගත වුණා.

රනිඳු ලියනගේ ජයග්‍රහණයක් ලබාගත් මොහොතක්
රනිඳු ලියනගේ ජයග්‍රහණයක් ලබාගත් මොහොතක් – Daily News

කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන රනිඳු තවමත් 18 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙක්. පසුගිය මාසයේ දී පැවති ආසියානු කලාපීය හයිබ්‍රිඩ් චෙස් තරගාවලියේ දී සුවිශේෂී දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් උරුම කර දුන්නා. ඒ අයුරින් දස්කම් අතර සිටින රනිඳු චෙස් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී ප්‍රබල රුසියානු චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්වරයකු වන ග්‍රිගොරි ඔපාරින් සමඟින් තරග වැදීමට නියමිත යි.

 

කවරයේ ඡායාරූපය- ලියොනල් මෙසී කෝපා ඇමරිකා කුසලානය සමඟ (Sporting News)

මූලාශ්‍ර:

goal.com

Cricinfo

 

Related Articles